2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

බිත්තරවල සුපිරි ගුණ

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3478

බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.     

ප්‍රෝටීන ආකරයක්      

අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථය වන්නේ ප්‍රෝටීන. බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටුවනවාය කියන එක. බිත්තරයක උසස් මට්ටමේ ප්‍රෝටීන ග්‍රෑම් 6ක් අඩංගුයි. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදු මදයේ. ඊට අමතරව බිත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නමැති සංඝටකයේ වර්ග 9ක්ම අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා බාහිරින් ලබා ගන්නම සිදුවනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහරයට එකතු කර ගැනීම. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන 9g ක් සහ කැලරි 70gක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්.

බිත්තර ආහාරයට ගන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටළුවක්. ඔබ කාර්‍යශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ. නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටළුවක් නැහැ. ගර්භනී මව්වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය ආසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ. කොලෙස්ටරෝල් අවදානම අඩු ආහාරයක් හැටියට බිත්තර හදා ගන්නට එය එළවළු සමඟ ස්ක්‍රැම්බල් කර ගන්න.

කහ මදේ කන්න කළින්,

බිත්තර කහමදයේ විටමින් ඒ, ඩී, කැල්සියම්, යකඩ, පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදය ග්‍රෑම් 5ක් අඩංගු වනවා. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහමදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහ පාටක් උසුලන්නේ.

රූපලාවන්‍යයටත් බිත්තර සාත්තුව

බිත්තරවල තිබෙන සංඝටක රෑපලාවන්‍යයේදී ඉතාම වැදගත්. එවැනි සත්කාර බොහොමයකට බිත්තර යොදාගන්නෙ ඒ නිසයි. හිසකෙස්, නිය වර්ධනයට සේම තරුණ පෙනුම රුක ගැනීමටත් බිත්තර සාරය කදිමයි. ඒ වගේම බිත්තරවල තිබෙන කෝලීන් නමැති සංඝටකය මතක ශක්තිය වැඩි කරන බවට පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.

තම්බනවද? බදිනවද? නිකම්ම බොනවද?

බිත්තර කියන්නෙ ඉතාම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහරයට ගැනීමත් එක සේ ගුණදායකයි. ඇතැමුන් බිත්තර අමුවෙන්ම ආහාරයට ගන්නවා. එහිදී වඩාත් පරිස්සම් විය යුතුයි. කුකුල් අසූචිවල ඇති සැල්මොනෙල්ලා නමැති විෂ බීජය බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවධානම තියෙනවා. මේ නිසා බිත්තර තැම්බීමෙන් හෝ බැදීමෙන් පසු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි.

කොයි බිත්තරෙත් අගුණයක් නෑ

සමහරුන්ගේ අදහසක් තියෙනවා ගම් බිත්තර ෆාම් බිත්තරවලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් බිත්තරවල පැහැය වැඩි වීමට හේතුව වන්නේ ඒ කිකිළියන් ආහාරයට ගන්නා ද්‍රව්‍යය නිසයි. ෆාම් කිකිළියන්ටත් අදාළ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාදෙන නිසා බිත්තරේ ගුණය පිළිබඳ ගැටළුවක් ඇතිවන්නෙ නැහැ.

- Nutritians News 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00