2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සිරුර පුරා දුවන මාරාන්තික ලේ කැටිය

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 1913

ලේ කැටි ගැසීම කියන්නේ  අපේ සෞඛ්‍යට හිතකර දෙයක් බව ඇත්තයි. තුවාලයක් වූ විට රුධිර වහනය නවත්වා ගැනීමට තුවාල වූ ස්ථනයේ ලේ කැටිගැසීම අනිවාර්යයි. නමුත් සමහර අවස්ථාවලදී ශරීරයේ යම් යම් ස්ථානවල අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සිදු වෙන්න පුළුවනි. හෘදය හා මොළය ආශ්‍රිත රුධිර නාලයන්හි සිදුවන ලේ කැටි ගැසීම ගැන හැමෝම දැනුවත්. නමුත් ඒ හැර සිරුරේ වෙනත් තැන්වල විශේෂයෙන්ම මාංශපේශීවල ආසන්නයෙන් පිහිටි ඇතුළත ශිරාවල මෙලෙස ලේ කැටි ඇති වීය හැකියි. මෙලෙස සිරුර ඇතුළත ශිරා පද්ධතියේ ලේ කැටි ගැසීමක් වුවහොත් එය ඉතා වේදනාකාරී හා භයානක තත්ත්වයක් විය හැකි බවයි වෛද්‍ය මතය. 

මේ තත්ත්වය තවත් භයානක වන්නේ ලේ කැටිගැසුණු ස්ථානයෙන් එම කැටිය වෙන්වී පෙනහළු දක්වා ගමන් ගත්විටයි. පෙනහළු දක්වා ගමන් කර එතුළ හිරවන මෙම ලේ කැටිය පෙනහළුවේ කොටසක් අකර්මන්‍ය කොට අනෙක් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතු රුධිරාණුවලට ලේ සැපයුම අඩාල කරනවා. එය පෙනහළුවලට මෙන්ම අනෙක් අවයව සඳහා ද ඉතා අහිතකරයි. ඇත්තෙන්ම මෙය මාරාන්තික තත්ත්වයක්. බොහෝ පුද්ගලයන්ගේ මෙම අවස්ථාව කලින්ම හඳුනාගත හැකියි. ශරීරයේ ලේ කැටියක් ඇති බව හඳුනාගත් විගස ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ශරීරයේ කොතන හෝ ලේ කැටියක් ඇති බවට ඉඟි ලබා දෙන පූර්ව ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ  පිළිබද දේශය පාඨක ඔබේ අවධානය යොමු කරවීමයි මෙම  ලිපියේඅරමුණ.

කකුල් ඉදිමීම

කකුල් ඉදිමීම හා බාහු ඉදිමීම ශරීරයේ කිසියම්  ස්ථානයක  අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සිදුව ඇති බව දක්වන  ප්‍රධානම ලක්ෂණයකි. ලේ කැටිය මගින් පාදය සිට හදවත කරා ගමන් කරන රුධිර නාලිකා අවහිර කරන අතර එම ස්ථානයේ රුධිරය එක් රැස් වීම නිසා පාදය ඉදිමුමට ලක්වේ. ඔබ ඇවිදින විට පාදය දරදඬු ස්වභාවයක් ගනී. පාදය හා බත් කෙන්ඩා ප්‍රදේශය ඉතා අනම්‍යශීලී බවක් දැනෙයි. අධික ලෙස ඉදිමුණු බත් කෙන්ඩා සහ පාදයේ පැත්තක වේදනාව මූලික සාධක ලෙස දැක්විය හැකිය.

අපැහැදිලි කැස්ස

කෙටි හුස්ම ගැනීම, වේගවත් හද ගැස්ම, පපුවේ වේදනාව සමග  අස්වාභාවික ලෙස ඇතිවන කැස්ස සහ කැස්ස ඇතිවන විට සෙම සමග රුධිරය පිටවීම රුධිර කැටියක පෙරනිමිත්තක් විය හැකිය. එම නිසා මෙවැනි දෙයක් ඔබට දැනෙනවා නම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

පාදයේ සහ පාදයේ මාංශපේශී වල වේදනාව

මෙහිදී ලේ කැටිගැසීමේ වේදනාව පැමිණෙනුයේ ඉදිමුම හෝ ඒ අවට රතු පැහැ වීමත් සමගිනි. නමුත් විටෙක ඉදිමුම පමණක් හෝ රතුවීම පමණක් දැකිය හැකිය. නමුත් බොහෝවිට මෙම වේදනාව මාංශපේශීවල තදවීවක් හෝ ඇඹරීමක් ලෙස වරදවා වටහාගත හැකිය. එසේ වුවහොත් මෙය වඩාත් භයානක බවට පත්වේ. ඔබ ඔබේ දෙපා ඉහළ පහළ හසුරුවන විට අස්වාභාවික ලෙස ගැස්සී බිම වැදීමක් හෝ ඉදිරියට දිගු වීමක් සිදු වේ නම් සහ  අස්වාභාවික ලෙස පාදය උණුසුම් වීමක් සිදුවේනම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

සම රතුපැහැ ගැන්වීම

ශරීරයේ කොතැනක හෝ හදිසියේ හටගන්නා අස්වාභාවික රතුවීමක් පෙන්නුම් කරයි නම් සහ ඔබේ බාහු සහ පාද අසාමන්‍ය ලෙස උණුසුම් බවක් පෙන්නුම් කරයි නම් මෙය ලේ කැටිගැසීමේ ප්‍රධාන සාධකයකි.

පපුවේ වේදනාව

ඔබට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් එය හදවත් අමාරුවක් ලෙස සිතිය හැකිය. නමුත් මෙය පෙනහළුවල රුධිර නාලිකා වල ලේ කැටි ගැසීමක් නිසා සිදුවන වේදනාවක් විය හැකිය. මෙය PE (Pulmonary Embolism) ලෙස හඳුන්වයි. හදවත් වේදනාව සහ PE එකම ලක්ෂණ පෙන්නුම් කරන අතර PE තියුණු පිහි ඇනීමක් ලෙස දැනේ. ගැඹුරින් හුස්මගන්නා විට එය වඩාත් වේදනාකාරී විය හැකිය. හදවත් අමාරුව වේදනාකාරී වනු ලබන්නේ වම් අත උරහිස, බෙල්ල, හනු ආසන්නයේ වන අතර ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වලදීය. නමුත් PE සෑම ආශ්වාස ප්‍රශ්වාසයකදීම වේදනාකාරී ස්වරූපයක් ගනී.

කෙටි ආශ්වාස ප්‍රශ්වාසය හා හදවත් ගැස්ම

ලේ කැටිය ඔබගේ සිරුර තුළ ඔක්සිජන් සැපයුම අඩාල කරන අතර ඔක්සිජන් මදකම නිසා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමට හෘදය වේගවත්ව ක්‍රියාකිරීමට පටන් ගනී. එමනිසා කෙටි ආශ්වාස ප්‍රශ්වාස ඇති වීම සිදු වේ. මේ තත්ත්වය මත හදිසි වෙව්ලීමක් වුවත් සිදු වන්නට පුළුවන්. ක්ෂණික කලන්තය ඇති වේ. මෙය හදිසියේ වැළෙඳන රෝගී තත්ත්වයක් බැවින් උදව් ලබාගැනීම අත්‍යාවශ්‍යයි.

වෛද්‍ය චන්දන ධර්මරත්න 
කළුබෝවිල ශික්ෂණ රෝහල

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00