ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ඉතා වටිනා දේවල් ගැනයි. ඇත්තෙන්ම අපේ ඇස් දෙක තමා අපට ඇති වටිනාම අවයවය. නිසි පරිදි ආරක්ෂා නොකළොත් ජීවිතයම අඳුරු වී යනවා. ඉතින්, ඔබේ දෙනෙත් නිරෝගිව පවත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු වැදගත් සෞඛ්‍යමය උපදෙස් කිහිපයක් තමා මේ.
ඇස්වලට හානිදායි ලෙස ප්‍රධාන ලෙසම බලපාන්නේ දියවැඩියාව හා රුධිර පීඩනය කියන රෝගී තත්ත්වයි. මේ තත්ත්වයන් ප්‍රශස්ත ලෙස පාලනය කිරීම මගින් ඇසට සිදුවන බොහෝ හානීන් වළක්වා ගත හැකිය.
දියවැඩියාව සඳහා හේතුවන රුධිරයේ සීනි පාලනයට නිසි ලෙස ආහාර පාලනය සමඟ දිනපතා ව්‍යායාම කිරීම, දියවැඩියාව සඳහා නියම කරන ලද ඖෂධ භාවිතය සිදුකළ යුතුය.
එලෙස රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම මගින් ඇසේ සිදුවිය හැකි ඉතා දරුණු හා නැවත ගොඩනැගිය නොහැකි ලෙස වෙනස්කම් ඇතිවීම් වැළැක්වීම හා ප්‍රමාද කර ගැනීමට හැකියි. දියවැඩියාව සහිත රෝගීන් අවම වශයෙන් මාස 03 කට වරක්වත් රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්නේ ද, නැද්ද පිළිබඳව සොයාබලන HbA1c නැමති රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතා යෝග්‍ය වේ. මේ මගින් වෛද්‍යවරයාට මෙම රෝගියාට සිදු කළයුතු ප්‍රතිකාරවල වෙනස්කම් ගැන මනා අවබෝධයක් ලබාගත හැකි වේ. මෙම පරීක්ෂාවේ අගය සියයට 7 කට වඩා අඩුනම් එය ඉතා ඉතා යෝග්‍ය වේ. එයින් රුධිරයේ සීනි මට්ටම පාලනය වන බවට ඉඟියක් ලබාදෙන අතර එමගින් ඇස්වලට වන හානිය ගැන ද තක්සේරුවක් ලබාගත හැකි වේ.
රුධිර පීඩනය පාලනය කිරීම
දියවැඩියාව නිසා ඇසේ ඇතිවන වෙනස්කම්වල ශීඝ්‍රතාවය අඩු කිරීමට හා ඉන් වළක්වා ගැනීමට ශරීරයේ රුධිර පීඩනය පාලනය ඉවහල් වේ. මේ සඳහා වෙනත් රෝගී තත්ත්වයක් සඳහා හෝ පවුලේ වෙනත් අයෙකුට ප්‍රතිකාර ගැනීමට හෝ වෛද්‍යවරයෙක් හමුවන අවස්ථාවේදී ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කරගැනීම වැදගත්ය.
මේ සඳහා කෑමට ගන්නා ආහාරවල අඩංගු ලුණු ප්‍රමාණය අවම කිරීම, ශරීරයේ බර පාලනය කිරීම හා ව්‍යායාම කිරීම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැකිය. එසේ නොවන අවස්ථාවල රුධිර පීඩනය අඩු කිරීමට ඖෂධ නියම කරනු ලබන අතර දියවැඩියාව සහිත පුද්ගලයෙක් සිය රුධිර පීඩනය 130/80 mmHg හෝ ඊට අඩු මට්ටමෙන් පවත්වා ගැනීමෙන් ඇස්වලට වන හානිය අවම කරගත හැකිය.
පූර්ණ අක්ෂි පරීක්ෂාවක් සිදු කිරීම
වසරකට වරක් ඇස් පුර්ණ ලෙස පරික්ෂා කර ගතයුතුය. අක්ෂි පරීක්ෂාව අවස්ථාවේදී රෝගියාගේ ඇසට දමනු ලබන දියරමය ඖෂධයක් මගින් ඇසේ කනිනිකාව (Pupil) විස්තාරණය වී ඇස තුළ විස්තරය ඉතා පහසුවෙන් නිරීක්ෂණය කර ගත හැකි වේ. මේ සඳහා බොහෝ රෝහල්වල දක්නට ලබන ස්ලිට් ලෑම්ප් (Slit Lamp) නම් වූ අන්වීක්ෂීය උපකරණය මගින් හා ඇසේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා විවිධ වර්ගයේ කාච මගින් ඇසේ සිදුවිය හැකි හානි හා වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය. මේ නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වෙනයම් රෝගයක් නිසා ඇස අභ්‍යන්තරයට යම් හානියක් සිදුවන්නේ නම් එය කලින්ම හඳුනාගත හැකිය.
මීට අමතරව දියවැඩියාව වැළඳුණු ගර්භනී කාන්තාවන්ගේ ද, ගර්භනී තත්ත්වයක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ ද ඇස්වලට ඖෂධ දමා අභ්‍යන්තරය පරීක්ෂා කිරීම අනිවාර්ය වේ. මීට අමතරව ගර්භනී කාලය පුරාවටම අක්ෂි වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ඇස් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.
ඇසේ ඇතිවිය හැකි අවදානම් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීම
රෝගී ලක්ෂණයක් දැනුන විගස හෝ යම් රෝගී ලක්ෂණයක් නිරීක්ෂණය වූ විගස ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමුවීම ඉතා වටී. මන්ද මුල් අවස්ථාවේදීම යම් හානිකර සංඥාවන් සහ එයට හේතුව හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මගින් අවදානම් තත්ත්වයක් නම් එය වර්ධනය වීම වළක්වා ගත හැකිය.
ඔබට පහත සඳහන් රෝගී ලක්ෂණය හෝ සංඥාවක් දැනුණු සැණින් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්ය.
• ඇසේ හදිසියේ ඇතිවන බොඳවීමක්, මිහිදුම් ස්වභාවයක් හෝ එක දෙක වී නිරීක්ෂණය වීමක්. (Double Vision)
• ඇස ඇතුළෙන් විදුලි කෙටීමක් වැනි දර්ශනයක්, එළියක් වරින්වර නිරීක්ෂණය වීම හෝ ආලෝක ප්‍රභවයක් ලෙස බැලීමේදී ඒ වටා වළල්ලක් වැනි දෙයක් නිරීක්ෂණය වීම.
• ඇස තුළින් යම් සියුම් කැබලි පාවී යාමක්, අදුරු ද්‍රව්‍යයක් පාවී යාමක් නිරීක්ෂණය වීම.
• ඇසේ හදිස්සියේ ඇතිවන වේදනාවක්, අභ්‍යන්තරයේ තද ගතියක් හෝ දිගට පවත්නා තද රතු ගතියක් නිරීක්ෂණය වීම.
• ඈත කෙලින් දක්නට ලැබෙන වස්තු සහ පර්යන්තයේ ඇති වස්තුන් නිරීක්ෂණයේදී අපහසුතාවයක් ඇති වීම.
• හදිස්සියේ ඇසේ පෙනීම අඩු වීම හෝ හානි වීම.
දුම්පානය
දුම්පානය මගින් රුධිර නාලවලට හානි සිදුවන නිසා ඇස අභ්‍යන්තරයේ සියුම් රුධිර නාලිකාවලට වෙනස්කම් ඇති වේ. දියවැඩියාව සහිත රෝගීන් ගේ ඇසේ රුධිර නාලවල වෙනස්කම් සිදුවන නිසා දුම්පානය මගින් ඇසට සිදුවිය හැකි හානිය අධිකය. මේ නිසා වහාම දුම්පානය අත්හල යුතුය.
- සුගත්