වැඩිහිටි කාලයේ දි වැළැඳෙන දියවැඩියාව හෙවත් දෙවැනි මට්ටමේ දියවැඩියාව අමතකවීමේ රෝගයන්ට ඉහළින්ම බලපාන බව තහවුරු වී ඇත.
පර්ත් නුවර කර්ටින් සරසවියේ රැචෙල් හක්ස්ලි ඇතුළු පිරිසකගේ අධ්‍යනයකින් මේ බව සනාථවී තිබේ. මිලියන 2.3කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් මේ එළිදරව්ව සිදුකර ඇත.
දියවැඩියාව මගින් මොළයට රුධිරය සපයන නාල වලට හානි සිදුවීමත්, මොළයට රුධිරය සැපයීම අවහිර වීමත්, නහර පිපිරීමේ අවදානම ඉහළ දැමීමත් හේතුවෙන් මොළයේ කොටස්වල ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීමෙන් මෙම තත්ත්වය ඇතිවන බව එම අධ්‍යයනයෙන් හෙළිදරව් වී තිබේ.
සාමාන්‍යයෙන් අමතක වීමේ රෝගය බහුල ලෙස වාර්තාවන්නේ අල්ෂයිමර් රෝගය ලෙසටය. එයට හේතුව ස්නායු සෛල මියයාමත්, තවමත් හඳුනානොගත් හේතුවක් මත අසාමාන්‍ය ප්‍රෝටීනයක් ඒකරාශිවීමත්ය. නමුත්, දෙවැනි මට්ටමේ දිය වැඩියාව මගින් අල්ෂයිමර් තත්ත්වය හට නොගත්තත්, මොළයේ රුධිරනාල මූලික කොට හටගන්නා Vascular Dementia තත්ත්වය මතුකරනා බව මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙයි.
හක්ස්ලි ඇතුළු කණ්ඩායමේ අධ්‍යයනයට අනුව දිවැඩියාව සහිත කාන්තාවන් මේ තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත බව සනාථ වී ඇත. ජීවන චර්යා රටාවන් වෙනස්කර ගැනීමෙන් දියවැඩියාව පාලනය කර ගැනීමෙන් මේ තත්ත්වයෙන් අත්මිදිය හැකි බව වෛද්‍ය මතයයි. දෙවැනි මට්ටමේ දියවැඩියාව සහිත වීම එසේ නොමැති අවස්ථාවට වඩා 60 ක වැඩි ප්‍රවනතාවක් ඩිමෙන්ෂියාව ඇතිවීම කෙරේ පවතින බවයි මෙම අධ්‍යයනය මගින් සනාථ කර ඇත්තේ.
| PLOS ONE