දියවැඩියාව ගැන කතාකරද්දී එකවරටම මතකයට එන ප්‍රධානම අවයවය අග්න්‍යාශයයි. මෙය අපේ ආහාර ජීර්ණ පද්ධතියට අනුබද්ධව පිහිටන ඉතා වැදගත් අවයවයකි. ආහාර ජීර්ණය, රුධිර සීනි මට්ටම යාමනය ඇතුළු කර්තව්‍යයන් කිහිපයකට අග්න්‍යාශය අත්‍යාවශ්‍ය සාධකයකි. මිනිස් අග්න්‍යාශය පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයකි මේ.
අග්න්‍යාශයික යුෂ
අග්න්‍යාශයේ ආහාර ජීර්ණය සඳහා වැදගත් වන එන්සයිම කිහිපයක්ම නිපදවෙනවා. ඒවා කාබොහයිඩ්රේට්, ප්‍රෝටීන සහ මේදය ජීර්ණය සිදුකරනවා. ආහාර ආමාශයට ඇතුළුවීමත් සමඟම අග්න්‍යාශය මඟින් උක්ත එන්සයිම අන්තර්ගත වන අග්න්‍යාශයික යුෂය නිකුත් වෙනවා. එක් දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුගේ අග්න්‍යාශය මඟින් කෝප්ප 6-8ක පමණ අග්න්‍යාශයික යුෂය නිපදවෙනවා. මේවා කුඩා අන්ත්‍රයේ මුල් කොටස කරා නිකුත් වෙනවා. එන්සයිමවලට අමතරව මෙහි ජලය, ලවණ හා සෝඩියම් බයිකාබනේට් අන්තර්ගතයි. සෝඩියම් බයිකාබනේට් මඟින් ආමාශයෙන් කුඩා අන්ත්‍රය කරා නිකුත් කෙරෙන ආහාර ගුලියේ ආම්ලිකභාවය උදාසීන කරනවා. එමනිසා ඉදිරි ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා.
අග්න්‍යාශය අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස
අග්න්‍යාශය අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියා කරනවා. ඒ රුධිර සීනි යාමනයට අදාළ එන්සයිම දෙකක් ස්‍රාවය කරමිනුයි. රුධිරයේ සාමාන්‍යයෙන් පැවතිය යුතු ප්‍රමාණයට වඩා සීනි මට්ටම ඉහළ ගියවිට එයින් ඉන්සියුලින් ස්‍රාවය වන අතර, එම හෝමෝනය මඟින් රුධිරයෙන් සීනි ඉවත්වීම කඩිනම් කොට සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වය කරා ගෙන එනවා. එමෙන්ම රුධිර සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට ග්ලූකෝන් ස්‍රාවය වී වහාම එය නැවත සාමාන්‍ය මට්ටම කරා ගෙන එනවා. තවත් විශේෂතම කාර්යයක් වන්නේ මේ යාමනය සිදුකිරීමෙහි ලා, රුධිර ග්ලූකෝස් මට්ටම හඳුනාගත හැකි ‘රසාංකුර’ වැනි සෛල අග්න්‍යාශයෙහි පිහිටා තිබීමයි. මේවායින් රුධිර ග්ලූකෝස් මට්ටම ‘රහ’ බැලිය හැකි අතර, අවස්ථානුකූලව ඉන්සියුලින් හෝ ග්ලූකෝන් ස්‍රාවය වීම ඉන් අනතුරුව සිදුවෙනවා.
අග්න්‍යාශයට එල්ල වන ප්‍රහාර
පළමු වර්ගයේ දියවැඩියාව යමෙකුට වැළඳෙන්නේ ඔහුගේ හෝ ඇයගේ අග්න්‍යාශය මඟින් ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමක් සිදු නොවන තත්ත්වයක් ඇති වූ විටයි. මෙයට හේතු කිහිපයක් බලපෑ හැකි අතර, ප්‍රධානතම හේතුවක් වන්නේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් වැරදීමකින් අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය වී ග්‍රන්ථිවලට පහර එල්ල කිරීමයි. මෙලෙස පහර එල්ල වූ විට ශරීරයට අවශ්‍ය තරම් ඉන්සියුලින් නිපදවීමේ හැකියාව අග්න්‍යාශයට නොමැති වන අතර, ප්‍රතිඵලය වන්නේ කෙමෙන් කෙමෙන් රුධිර සීනි මට්ටම ඉහළ යාමයි.
දෙවන වර්ගයේ දියවැඩියාවේදී මෙන් නොව පළමු වර්ගයේ දියවැඩියාව වැළඳුණු කල්හි යමෙකු හට නිතිපතාම පිටතින් එන්නත් මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉන්සියුලින් ලබාදිය යුතු වෙනවා.
අග්න්‍යාශයට තමන් විසින්ම ජීර්ණය විය හැකියි
‘පැන්ක්‍රියටයිටිස්’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වයේදී සිදුවන්නේ අග්න්‍යාශයේ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීමයි. මෙය සාමාන්‍යයෙන් බලවත් රෝගී තත්ත්වයක පෙර නිමිත්තක් වන අතර, තත්ත්වය වඩාත් දරැණු වූ විට මාරාන්තික විය හැකියි.
උක්ත රෝගී තත්ත්ව දී සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසා අග්න්‍යාශයෙන් නිපදවෙන එන්සයිම මඟින් අග්න්‍යාශයේ සෛල ජීර්ණය කිරීමට පටන් ගැනීමයි. මේ තත්ත්වය ඇතිවන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ යැයි හඳුනාගෙන තිබෙන්නේ දැඩි ඇල්කොහොල් භාවිතයයි. කෙසේ නමුත් මීට අමතරව පිත්තාශ ගල්, අග්න්‍යාශයේ කෙඳිති ඇතිවීම, රැධිරයේ අධික ලෙස කැල්සියම් හෝ මේදය පැවතීමත් මේ තත්ත්වය ඇතිවන්නට උරදෙන කාරණා වෙනවා.
බොහෝ අවස්ථාවන්හිදී අග්න්‍යාශයික ප්‍රදාහ තත්ත්වය මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු දින කිහිපයක් තුළ සුවවෙනවා. දිගින් දිගට ප්‍රතිකාර නොලැබුණහොත් හෝ ඊට අදාළ වන චර්යා රටාව වෙනස් නොවුණහොත් තත්ත්වය බරපතල වීමේ සම්භාවිතාව වැඩි වෙනවා.
දුම් පානය හා අග්න්‍යාශයික පිළිකා
අග්න්‍යාශයික පිළිකා වැළඳෙන්නට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම්පානයයි. දුම්පානය කරන්නන් හට අග්න්‍යාශයේ පිළිකාවක් වැළඳීමේ අවදානම, එසේ නොකරන පුද්ගලයින්ගේ මෙන් දෙගුණයක්. සාමාන්‍යයෙන් අග්න්‍යාශ පිළිකාවක් මුලින්ම වැළඳෙන්නේ එහි බාහිරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව ඇති ප්‍රණාලවලටයි. මෙය මූලික අවධියේදී හඳුනාගැනීම අපහසු වන අතර, ඉක්මනින්ම අග්න්‍යාශයේ අනෙක් කොටස්වලටද පැතිරී යනවා.
දුම්පානයට අමතරව අග්න්‍යාශයික පිළිකාවක් වැළඳීමේ අවදානම වැඩිකරන වෙනත් කරුණු කිහිපයක්ම තිබෙනවා. අග්න්‍යාශයික පිළිකා සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙකුහට මෙය වැළඳීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. අග්න්‍යාශයික ප්‍රදාහ තත්ත්වයන්, දියවැඩියාව, හා අධික ස්ථුලතාවත් අවදානම් සාධක වෙනවා. මෙවැනි පිළිකා තත්ත්වයන් ඉක්මණින් හඳුනා ගැනීමෙන් එය නිට්ටාවටම සුවකර ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවා.
-Web MD