මාළුවා නහින්නේ කට නිසා යැයි කතාවක් තිබේ. මේ කතාව අද ලෝකයේ බොහෝ මිනිසුන් අරභයාද සත්‍ය වී හමාරය.
අප දන්නා ආකාරයට නම් මිනිස්සු කෑම ගන්නේ ජීවිතය රැක ගන්නටයි. නමුත් නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට නම් දැන් උදාවී ඇත්තේ කෑම නිසා මිනිසුන් මියයන සමයකි. තමන් දිනපතා පරිභෝජනයට ගන්නා ආහාර හේතුවෙන් ලොවපුරා මිලියන 11ක පිරිසක් අකාලයේ මියයන බව මේ අලුත්ම අධ්‍යයනය මගින් තහවුරු වී තිබේ. කොටින්ම දුම්පානයෙන් මියයන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් වැරුදි කෑම නිසා මියයන බව එය පෙන්වා දෙයි. ඒ අනුව සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේම මාරයා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර බව තහවුරු කර හමාරය. මේ කාලයේ වැඩි දෙනෙක් අඩු වයසින් නැතිනම්, අකාලයේ මියයාමට හේතු සොයා බලන්නට සිදුකළ පර්යේෂණයකදී මේ ඇඟ හිරිවැටෙන ඇත්ත හෙළිවී තිබේ. මේ කතාව සනාථකරන ඌනපූරණයක් ලංකාවෙන්ද එකතු වී තිබේ. ලංකාව තුළ දිනකට මියයන ප්‍රමාණයෙන් සියයට 83ක්ම මියයන්නේ වැරුදි කෑම නිසා හටගන්නා බෝ නොවන රෝගවලින් බවට වාර්තාවීම එම කාරණයයි. මේ සඳහා ප්‍රධාන හේතුකාරකය වන සාධකය නිසි පෝෂණීය මට්ටමක් රහිත බාල තිරිඟු පිටි බවට වෛද්‍යවරු පෙන්වා දී තිබේ.
ලොවපුරා මිලියන 11ක ජනතාව මරාදමන ප්‍රධාන හේතුව හැටියට ඉහත කී නව අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේද පාන්, සෝයා සෝස්, ලුණු මෙන්ම ඒවා අන්තර්ගත ආහාර වර්ග තම දෛනික ආහාර වේලට වැඩිපුර එක්කර ගැනීමයි. මෙලෙස අකාලයේ මියයන මිලියන 11 අතුරින් මිලියන 10ක පමණ මරණවලට හේතුව හදවත් රෝගය. අධික ලුණු භාවිතය ඉහළ රුධිර පීඩනයට හේතු වී හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලට මූලික විය හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ධාන්‍ය වර්ග, එළවළු, මුහුදු ශාක මෙන්ම සතුන්ගෙන් ලබාගන්නා ආහාර තම ප්‍රධාන වේලට අඩුවෙන් එක්කර ගැනීමද අකල් මරණ සංඛ්‍යාව ඉහළ යාමට මූලික හේතුවක් බව වෛද්‍යවරු පවසති.
ලොවපුරා සිදුව ඇති මරණ වසරක් පුරා අධ්‍යයනය කර මියගිය අය එදිනෙදා පරිභෝජනය කළ ආහාරවල ස්වභාවය අනුව ලැයිස්තු ගත කළවිට මේ මාරකයන් ගැන සැබෑව හොඳින්ම එළිදරව් වී තිබේ. එයට අනුව ලුණු අධික පරිභෝජනය නිසා මිලියන තුනක්ද, ධාන්‍ය අඩුවෙන් පරිභෝජනය හේතුකොට තවත් මිලියන තුනක්ද, පළතුරු අඩු පරිභෝජනය මගින් තවත් මිලියන දෙකක්ද මියගොස් ඇති බව එළිදරව් වී ඇත. ශරීර සෞඛ්‍යය ගැන සැලකීමේදී ආහාර වේලක අඩංගු ද්‍රව්‍ය නිසි ලෙස තෝරාගැනීම පිළිබඳ අවබෝධය කෙතරම් වැදගත්ද යන්න මේ මගින් නැවත වතාවක් තහවුරු වී ඇත.
අධික සීනි මෙන්ම මාංශ පරිභෝජනය රෝග රුසකට හේතුව ලෙස මීට පෙර අවධානයට ලක්ව තිබූ කරුණුය. එම දුර්වල ආහාර රටාව මෙන්ම කෙඳි සහිත ආහාර, ධාන්‍ය වර්ග මෙන්ම එළවළු අඩුවෙන් පරිභෝජනය අකල් මරණ සඳහා වැඩියෙන් බලපාන බව දැන් මේ පර්යේෂණය කියයි. ශ්‍රී ලංකාව ද නිවැරදි ආහාර රටාවක් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ කලෙක සිටය. එම සංවිධානය කලින් සිදුකළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ අතුරින් 69% කට හේතුව බෝ නොවන රෝග බවට පෙන්වා දී තිබුණි.
අහිතකර ආහාර නිසා හටගන්නා ස්ථුලතාව, එම රෝග රැසකට මුල්වන බව පෙන්වා දෙන එම සංවිධානය දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු අකර්මන්‍ය වීම, පිළිකා සහ අධික රැධිර පීඩනය වැනි බෝ නොවන රෝග රට තුළ සීඝ්රයෙන් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබුණි.
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙහිදි හිතකර නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබුණි. මේ එයින් කිහිපයකි.
දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය කොපමණද?
වැඩුණු පුද්ගලයෙකු දිනකට ගතයුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් හෝ 6ක් බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද නිර්දේශ කර තිබේ.
වයස අනුව එම නිර්දේශයන් මෙසේ ය.
අවුරුදු 1 - 3 = ග්‍රෑම් 2, අවුරුදු 4 - 6 = ග්‍රෑම් 3, අවුරුදු 7 - 10 = ග්‍රෑම් 4/5, අවුරුදු 11ට වැඩි = ග්‍රෑම් 5/6
ආහාර කාණ්ඩ සහ වර්ණ:
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර කාණ්ඩ තුනක් යටතේ වර්ග කරනු ලැබ තිබේ. එම කාණ්ඩවලට නියමිත වර්ණ 3ක් හඳුන්වා දී ඇති අතර එම වර්ණ අනුව ආහාර කාණ්ඩ මෙසේය.
කොළ වර්ණය - නිතර ආහාරයට ගත යුතු ආහාර, කහ වර්ණය - පාලනයක් සහිතව ආහාරයට ගත යුතු ආහාර, රතු වර්ණය - කලාතුරකින් පමණක් ආහාරයට ගත යුතු ආහාර
මෙයට අනුව කහ වර්ණය නියෝජනය කරන්නේ පාලනයක් සහිතව ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩයයි. එම කාණ්ඩයට අයත් ආහාරවල සීනි, ලුණු සහ මේද යොදා ඇති හෙයින් එම ආහාර සතියකට දෙවරක් හෝ තෙවරක් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි.
මොනවද මේ මධ්‍යධරණි රටවල කෑම:
පිළිකාවන්, හෘද රෝග, ආඝාතය (ස්ට්‍රොක්), දියවැඩියාව ඇතුළු ලොවපුරා වේගයෙන් පැතිර යන බෝ නොවන රෝග රැසක් වැළඳීමේ අවදානම කපාහැරීම සඳහා ලොව සෑම රටක්ම නිරෝගී දිවියකට මග පාදන මධ්‍යධරණී රටවල ආහාර වේල හා නෝඩික් රටවල (උතුරු යුරෝපා රටවල් පහකින් සමන්විතය) ආහාර වේල ජනතාවට හුරු කිරීමට කටයුතු කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
මේ කියන මධ්‍යධරණී හා නෝඩික් රටවල ආහාර බෝ නොවන රෝගවලට හේතුවන මේදය කිරි ආහාර, රසකැවිලි, රතු හා සකස් කළ මස්වර්ග හා බිත්තර රහිත ආහාරය. ඒවා මාළු, එළවළු, පළතුරු, ධාන්‍ය ඇටවර්ග, මාළු, ඔලිව් තෙල් වැනි ශාකතෙල් වර්ග බහුල ආහාරය. ඒ ආහාර රටාව අපටද සමීපය. සුදුසුය. පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ මධ්‍යධරණී ආහාර වේල අනුභව කිරීමෙන් හෘදය වස්තුවේ නිරෝගී බව රැකෙන අතරම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරැවීම ප්‍රමාද කරන බවයි.
- සුගත්