හිටි ගමන් බිම ඇද වැටී මුළු ශරීරයම වෙවුලන සෙම දමන අය ඔබත් දැක ඇතිවාට සැක නෑ. කීයක් හරි හොයාගන්නට සමහර අය මේ විදියට රඟපෑවත්, ඇත්තට මෙය රෝගයක්. ඒ ගැන සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන්නේ මීමැස්මොරය හැටියටයි. වෛද්‍ය විද්‍යාවේදී අපස්මාරය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මොකක්ද මේ කියන අපස්මාරය නැතිනම් මීමැස්මොරය?
මේක අමුතු ලෙඩක් නෙමෙයි. ලජ්ජා වියයුතු ලෙඩක් නෙමෙයි. මෙහිදි සිදුවෙන්නේ මොළයේ සිට එන විද්‍යුත් පණිවුඩ බාධාවකට ලක්වෙලා වැරැදි අතකට යොමුවීම නිසා තමන්ගේ අවයවවල මාංශ පේශීන්වල ක්‍රියාකාරීත්වය නිසි පාලනයෙන් ගිලිහී යාමයි. මේ නිසා වැරැදි ස්ථාන කරා පණිවුඩ රැසක් යොමුවීමෙන් ශරීරයේ වෙව්ලීම හටගෙන සමබර නැතිව ඇද වැටීමයි.
සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ක්‍රියා පාලනයට සුවිශේෂී වූ විවිධ මධ්‍යස්ථාන මොළයේ වෙන වෙනම තිබෙනවා. මේ මධ්‍යස්ථාන මගින් නිකුත් වෙන සංඥාවන් කිසියම් නිශ්චිත මාර්ගයක ගිහින් ශරීරයේ අදාළ ස්ථානය කරා ගොස් අදාළ ක්‍රියාව ඉටු කරන්නට අවශ්‍ය අවයවය මෙහෙයවනවා. මේ සංඥා ගමන් කරන මාර්ග බාධකයකට ලක්වුණොත් ඒවා පිට පනිනවා. හරියට විදුලි පරිපථයක වයරයකින් විදුලිය කාන්දු වෙනවා වගේ. එතකොට අවට තියෙන වෙනත් පරිපථ ඔස්සේ පණිවුඩ දුවන්න ගන්නවා. එවිට ඒ ස්නායු පරිපථවලට අදාළ ශරීර කොටස් නිසි පාලනයකින් නිසි අවශ්‍යතාවයක් නැතිව ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට මේ විද්‍යුත් පණිවුඩ අපේ ආවේග පාලන මධ්‍යස්ථානවලටත් කඩා වදිනවා. උණුසුම, සිසිලස, වර්ණය, රසය දැනෙන සංවේදක මධ්‍යස්ථානවලටත් කඩා වදිනවා. ඉතින් ඒ ස්ථාන කැළඹිලා පරිසරයේ උණුසුම නැතත්, සීතල නැතත් තමන්ට උණුසුම සීතල ඇති බව දැනෙන්න ගන්නවා. සමහරුන්ට ශබ්ද ඇහෙනවා. පාට පේනවා. මේ තත්ත්වයේ බරපතළ අවස්ථාව තමා මීමැස්මොරය නැතිනම් අපස්මාරය කියන්නේ.
මිත්‍යාව:
මේ ගැන අපේ සමාජයේ ඇත්තේ වැරදි මතයක්. සමහර අයට අනුව නම් මේක පවුකාර ලෙඩක්. ආරෙට යන ලෙඩක්. භූත බලපෑමක්. කාලකණ්නි ලෙඩක්. නමුත් මේ ඔක්කොම මිත්‍යාවන් විතරයි. සාමාන්‍යයෙන් ඕනෑම මනුස්ස ශරීරයකට වැළඳෙන්න පුළුවන්. ඒ වගේම නවීන ඖෂධවලින් සුව කරන්න පුළුවන් තවත් එක් ලෙඩක් පමණයි.
මොළයේ සිට නිකුත්වන විද්‍යුත් සංඥා තරංග නිශ්චිත නොවන මාර්ග ඔස්සේ යාමෙන් ශරීරයේ සංවේදන හා පාලන කටයුතු ටික වේලාවකට අවුල් වීම තමයි මෙහිදී සිදුවී ඇත්තේ.
අපස්මාරය හැදෙන සමහරැන්ට අධික ශබ්දයක් ඇසීමෙන් පවා මේ තත්ත්වය ඇතිවෙනවා. බෙර නලා හඬ නිසා ඇතිවන අපස්මාර තත්ත්ව ගැන සමහරැ හිතන්නේ දේව භූත ආරූඪයක් ලැබිලා කියලයි. උණුසුම, සිසිලස, බය, සන්තාපය, සන්ත්‍රාසය වගේ ආවේගයන්ට සම්බන්ධ මොළයේ මධ්‍යස්ථානයක විද්‍යුත් තරංග එහෙ මෙහෙ වුණොත් ඒ වගේ වෙලාවක හිතට අමුතු බයක්, දුකක්, තනිකමක්, තැති ගැනීමක් ඇතිවෙන්න හැකියි. ඉන්පසුව අපස්මාරය හටගන්නටත් පුළුවනි. මට බයක් හිතෙනවා, හරිම දුකක් ඇතිවෙනවා. මොකක් හින්දාද කියලා දන්නේ නෑ. ඊට පස්සේ ඇදගෙනම වැටෙනවා. මොනව වුණාද කියලා මතක නෑ. ඒ වගේ තත්ත්වයන් ගැන රෝගීන් විස්තර කරන්නේ එහෙමයි.
සමහරුන්ට අපස්මාර කම්පනය ඇතිවන්නට පෙර අමුතු දර්ශන විවිධ වර්ණ ආදිය පෙනෙන බවත් කියනවා. තවත් අයට ඉඳහිට ඇඟේ අත් පාවල හෝ ශරීරයේ ඕනෑම තැනක හිරිගතියක් ඇතිවෙලා නිකම්ම නැතිවී යන අවස්ථා තියෙනවා. මේවා ඒ ඒ සංඥාවන්ට අදාළ මධ්‍යස්ථාන උත්තේජනය නිසා ඇතිවන සංවේදනාවන්.
අපස්මාරය ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි රෝගයක්. ජීවිතයේ කිසියම් අවස්ථාවකදී ඕනෑම කෙනෙකුට අපස්මාර තත්ත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. නමුත් සමහරැන්ට කවමදාකවත් එය ඇතිවෙන්නේ නෑ. විවිධ හේතු නිසා අපස්මාරය හටගන්නට හැකියි.
උසකින් වැටීම, තද පහරක් වැදීම වැනි හේතුවකින් හිසට අනතුරක් සිදුවීමෙන් පසු මෙවැනි තත්ත්වයක් හටගන්නට පුළුවනි. හදිසි අනතුරකින් හිසට සිදුවන හානියක් නිසා දීර්ඝ කාලීනව වරින් වර මෙය හැදෙන්නට පුළුවනි.
අධික ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය ගන්නා අයගේත් මොළයේ විද්‍යුත් සංඥා ක්‍රියාකාරීත්වය මත්පැන් නොගන්නා අවස්ථාවකදී වගේම මත්පැන් ගන්නා අවස්ථාවේදීත් වෙනස් වන්නට හැකියි. මත්ද්‍රව්‍ය නිසා වෙනස්ම මාදිලියේ පණිවුඩ පරිපථ සැකසෙන්න පුළුවනි. මත්පැන් නැතිවිටත් මේවා ක්‍රියාත්මක වෙනවිට අපස්මාරය හටගන්නට හැකියි. මත්පැන් නැතිවිට ඇඟ වෙව්ලීම, සිහිමද ගතිය, විවිධ පාට පෙනීම, ශබ්ද ඇසීම, අධික සීතල, උණුසුම දැනීම ගැන බොහෝ අය පැමිණිලි කරනවා.
ඒ වගේම දිගු කාලයක් නිදිවැරීම නිසා ඇතිවන අධික වෙහෙසත් අපස්මාරයට හේතුවක්. දින ගණනාවක් එකදිගට කුසගින්නේ සිටියොත් මේ තත්ත්වය ඇතිවෙනවා. ශරීරයේ සීනි අඩුවීම හෝ වැඩිවීම ඒ වගේම ලවණ ප්‍රමාණය අවශ්‍ය තරමට අඩු හෝ වැඩිවීමත් මෙයට හේතුවක්. තවත් සමහර ඛනිජවල අඩුවැඩි වීමත් මේ සඳහා බලපානවා. විශේෂයෙන්ම ශරීරය තුළ කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍යවල සාන්ද්‍රනයේ වෙනස මෙයට බලපානවා.
මතක තබාගත යුතු වැදගත්ම කාරණාව නම් ඕනෑම කෙනෙකුට මේ රෝගය කවදා හෝ අවස්ථාවක වැළඳිය හැකි බවයි. එයට පුද්ගල තරාතිරමක් නෑ. ලෝකයේ හොඳම කෙලිකාරයන් වුණු සුප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නළු නිළියන්, රජ සිටු දරුවන්, නීතිවේදීන්, විද්‍යාඥයින් මෙකී නොකී සුප්‍රසිද්ධ අයටත් මේ රෝගය හැදිලා තියෙනවා. හැදෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ලෙඩේ ලජ්ජා වෙන්න ඕනෑ ලෙඩක් නම් නෙමෙයි.
දැන් මේ රෝගය සඳහා ඉහළ මට්ටමේ අති සාර්ථක ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඉතින් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවෙලා ඔහු නියම කරන ඖෂධ ප්‍රමාණය නියමිත මාත්‍රාවට නියමිත වේලාවට, වෛද්‍යවරයා ඖෂධය ගැනීම නවත්වන්නට යැයි උපදෙස් දෙන තුරු ලබාගැනීමයි කළ යුතු. ලජ්ජා වෙන්න ඕනෑ මේ විදිහට ප්‍රතිකාර තියෙද්දිත් ඒවා ගන්නට ඉදිරිපත් නොවී පැකිලීම ගැනයි. බොහෝ වෙලාවට අපස්මාරයෙන් මිය යන්නේ බෙහෙත් නැවැත්වීම නිසා, හදිසියේ සිදුවන ඇද වැටීමෙන් පසු සිදුවන අනතුරැ හේතුවෙනුයි. මේ නිසා බෙහෙත් ගන්න එක ගැන අනෙක් අයට කියන්න ලජ්ජා විය යුතු නෑ. තමන්ට අපස්මාරය තියෙන බව හඟවන අත් පටියක් පැළඳීමත් වඩාත් නුවණට හුරුයි.
ඒ වගේම මේ ගැන තියෙන මිත්‍යා විශ්වාස ආදියත් ඔළුවෙන් අයින් කරගැනීම වැදගත්. පවුලේ අය, ළඟ ඥාතීන්, හිතවතුන් හැමෝගෙම උදවුවත් මේ වගේ අයට අවශ්‍යයි. මේ රෝගයෙන් බොහෝ විට මිය යන්නේ අවශ්‍ය ඖෂධය නිසි පරිදි ගැනීම අතපසු කිරීමෙන්. තමන් ලජ්ජාවට කොන්වීමට පත්වෙයි කියලා ඖෂධය නොගෙන සිටීමෙන්, නැතිනම් මේ රෝගය මහ වදයක් කියලා අදාළ ඖෂධ අධි මාත්‍රාවක් ලෙස ගන්නට පෙළඹෙන මානසික අවපීඩන තත්ත්වයකට පත්වීමෙන්, ඒ නිසා මේ අය හට රෝගයෙන් වැළකී ආරක්‍ෂාකාරීව සිටින්නට අවට සමාජයෙන් ලැබෙන අත හිත ඉතාමත් වැදගත්.
ලොකු කෙලිකාරයොත් මේ ලෙඩේ හැදුනොත් බිම වැටෙනවා. ඒ නිසා ලජ්ජාව පසෙක තබා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අමතක කරන්න එපා.
සුගත්