අප කුඩාකළ සිටම ශාරීරික ක්‍රියාකාරකම්වලට හුරුපුරුදු වීම අත්‍යවශ්‍ය කරුණකි. සෑම වයස් කාණ්ඩයකටම අයත් වූවන්හට නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් මෙහෙයක් ඉටුකරයි. ක‍්‍රීඩා, ව්‍යායාම, පමණක්ම නොවේ. එදිනෙදා ගෙදරදොරෙ වැඩකටයුතු ආදී කය වෙහෙසා සිදුකරන ඕනෑම ක්‍රියාකාරකමක් ශාරීරික ක්‍රියාකාරකමකි.
දිනපතා ශාරීරික ක්රියාකාරකම්වල යෙදීම, ජීවිත කාලය පුරාම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වා ගැනීමට උදව්වකි. සෑම නීරෝගී පුද්ගලයෙකුම දිනපතා ආහාර පාන මගින් ලබාගන්නා ශක්තිය ඔහු විසින් වැයකරන ශක්තිය සමඟ තුලනය විය යුතුය. නමුත් හිතුමතයේ ව්‍යායාම කිරීමෙන් පලක් නැත. තමන්ගේ ශරිරයට ගැලපෙන ව්‍යායාමය සහ එය කළ යුතු වේලාව පෝෂණ වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඇරඹීමයි වඩාත් සුදුසු. මේ ලිපි පෙළ අරමුණු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් මත සැකසූ පොදු ව්‍යායාම ගැනය.
ශාරීරික ක්‍රියාකාරකම්වල වාසි
දිනපතා ශාරීරික ක‍්‍රියාකාරකම්වල යෙදීමෙන් කායික හා මානසික වශයෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙකු බිහි වේ. ජීවිතයේ මුල් කාලයේ සිටම ක‍්‍රියාශීලීවීම නිසා වැඩිහිටි වියේදී සෑදෙන බොහොමයක් රෝග සහ ආබාධ වළක්වා ගැනීමට පුළුවන. ඒ නිසා නිසි ආහාර ගැනීම හා දිනපතා ශාරීරික ක්රියාකාරකම්වල යෙදීම මගින් ඔබේ බර තුලනය කරගන්න. අස්ථි, මාංශපේශි හා සන්ධිවල නීරෝගී පැවැත්මට ශාරීරික ක‍්‍රියාකාරකම් වල නිරත වීම අත්‍යවශ්‍ය වන අතර, ඒවායේ වර්ධනයට හා අළුත්වැඩියාවටද මෙය උපකාරී වෙයි.
ළමුන් හා වැඩිහිටියන් නිතර ශාරීරික ක්රියාකාරකම්වල යෙදීම නිසා පහත ප‍්‍රතිලාභ අත්වේ.
• බර පාලනය වේ. • රුධිර පීඩනය අඩුවේ. • මානසික යහපැවැත්මට උදව් වේ. • නිරෝගී හෘද සහ රුධිර සංසරණ පද්ධතියක් පවත්වාගැනීමට උපකාරී වේ. • ස්නායු මාංශපේශි අතර සහ සම්බන්ධතාවය (සම්බන්ධීකරණය සහ චලනය පාලනය කිරීම) හොඳින් පවත්වා ගැනීමට උදව් වේ. • අධ්‍යාපන හා අනෙකුත් කුසලතා වැඩි දියුණු වේ. • සේවා ස්ථානවල ඵලදායිතාව වර්ධනය වේ. • මානසික ආතතිය දුරු වේ. • බෝ නොවන රෝග වන හෘද රෝග, දියවැඩියාව, අස්ථි තුනී වීම (ඔස්ටියෝපොරෝසිස්) හා සන්ධි ආබාධ වළකාලයි.
ලොවපුරා වෙසෙන බොහෝ තරුණ ජන කොටස් අතර ශාරීරික ක‍්‍රියාකාරකම් වලට නැඹුරු වීමේ අඩු ප‍්‍රවණතාවයක් පවතී. මෙයට ප‍්‍රධාන හේතු වනුයේ ශාරීරික ක‍්‍රියාකාරකම් සහිත ක‍්‍රියාශීලි ජීවන රටාවේ සිට අවිවේකී අලස ජීවන රටාවකට හුරුවීම හා නිවසින් පිටතදී යෙදෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමත් නිවස තුළදී සිදුකරන ක‍්‍රියාකාරකම් සඳහා කය නොවෙහෙසීමත් යන ජීවන රටාවේ සිදු වූ වෙනස්කම්ය. එමනිසා බොහෝ වේලාවක් රූපවාහිනී නැරඹීම, පරිගණක ආශ්‍රිත ක‍්‍රියාකාරකම්වල යෙදීම වැනි කය නොවෙහෙසවා සිදුකරන කාර්යයන් සීමා කළ යුතුය. (ශාරීරික ක‍්‍රියාකාරකම් සඳහා වූ පිරමීඩය බලන්න) කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයින් වශයෙන් ක්‍රිඩාවල හා ශාරීරික ක්රියාකාරකම්වල යෙදීම අත්‍යවශ්‍ය වන අතර, සියළු දෙනාම අඩුම වශයෙන් තම නිවෙසේ කාර්යන් වන රෙදි සේදීම, ගේ දොර පිරිසිදු කිරීම, ගෙවතු වගාව වැනි ක‍්‍රියාකාරකම්වල යෙදීම වැදගත් වේ. අඩුම වශයෙන් දවසට විනාඩි 30 බැගින් සතියේ සෑම දිනකම ශාරීරික ක‍්‍රියාකාරකම් වල යෙදෙන්න. ශාරීරික ක‍්‍රියාකාරකම් බොහොමයක් ස්වායු ව්‍යායාම වීම සුදුසුය. (උදා- ඇවිදීම, දිවීම, අතපය පද්දවමින් ඇවිදීම හා ගේ දොර වැඩකටයුතු යනාදිය වේ) ශාරීරික ක‍්‍රියාකාරකමක් එකදිගටම කල නොහැකි නම්, කඩින් කඩ සිදු කිරීමට පුළුවන. උදා: විනාඩි 10 බැගින් තුන් වතාවක් ඇවිදීම හෝ බයිසිකල් පැදීම. වේගවත් තීව‍්‍ර ශාරීරික ක‍්‍රියාකාරකම් වල සතියකට දින 3ක් වත් යෙදීම මගින් මාංශපේශි හා අස්ථි ශක්තිමත් වේ. කණ්ඩායම් වශයෙන් සිදුකරන කී‍්‍රඩාවල යෙදීම වඩා සුදුසුය.
ශාරීරික ක‍්‍රියාකාරකමක් සඳහා යොදන කාලය හා එහි තීව‍්‍රතාවය පුද්ගලයාගේ ශාරීරික හා සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වේ. කෙනෙක් නිසොල්මනේ හිඳගෙන සිටීමේදි ශරීර බරෙන් එක් කිලෝග‍්‍රෑමයක් සඳහා පැයක් ඇතුළත අවශ්‍ය වන ශක්තිය එම්.ඊ.ටී. 1 අගය ලෙස දැක්වේ. මේ අගය ගණනය කර එයට සමපාත අයුරින් ව්‍යායාම තෝරා ගැනීම වඩාත් උචිතය.
- සෞඛ්‍ය පෝෂණ