2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අපි නොදන්න උණ!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1211

“බලන්නකො අනේ මගේ මහත්තයට දැන් සති දෙකක් තිස්සේ උණ. එක එක පරීක්ෂණ කරනවා. තාම ලෙඩේ හොයාගන්න බැරි වුණානේ.” මෙය ඔබට අත්දැකීමක් වන්නට පුළුවනි. උණ සුලබ රෝග ලක්ෂණයක් වුවත් නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව දිගුකලක් උණෙන් පෙළීම වෛද්‍ය විද්‍යාව තුළ වැදගත් තැනක් හිමි කරගෙන තිබේ.

යම් පුද්ගලයෙකුගේ මුඛ උෂ්ණත්වය 37.60C හෝ ගුද මාර්ග උෂ්ණත්වය 380Cට වඩා වැඩි විට උණෙන් (fever) පෙලෙන බව සඳහන් කළහැකි වේ.
උණ ඇති වන්නේ කෙසේදැයි පළමුව විමසා බලමු.

ශරීරයට ඇතුළු වූ ක්‍ෂුද්‍ර ජීවීන්, ඔවුන්ගේ විෂ හා එමඟින් නිකුත් වන රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා ද සයිටෝකයිනේස් (Cytokines) වැනි සංඝටක රැධිරයට නිකුත් කිරීමට අපගේ සමහර දේහ සෛල ක්‍රියාකරන නිසාද උණ ඇතිවේ. මෙම සංඝටක අපගේ මොළයේ හයිපොතැලමස කෙරෙහි බලපාන අතර, එමඟින් ප්‍රෝස්ටග්ලැන්ඩින් (prostaglandine) නැමති හෝර්මෝනය නිකුත් කිරීමට ක්‍රියාකරයි. මෙමඟින් ශරීරයේ උෂ්ණත්වය පාලනය වෙනස් වෙයි. ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් උණ හටගනියි. 
සාමාන්‍යයෙන් හටගන්නා උණ ලක්ෂණය දින දෙක තුනක දී අඩුවී යයි. නමුත් මෙම උණ සමහර අවස්ථාවලදී අඛණ්ඩව පවතින අතර, සමහර විට දිනයේ විවිධ කාලවලදී උෂ්ණත්වය ඉහළ පහළ යෑම් පෙන්නුම් කරයි.

විටින් විට හෝ අඛණ්ඩව උණ රෝග ලක්ෂණය හේතුවක් සොයාගත නොහැකිව, සති තුනකට වඩා වැඩි කාලයක් පවතින විට එය හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ හෙවත් Pyrexia of unknown origin – PUO ලෙස හඳුන්වයි.
හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ PUO ආකාර කිහිපයකට වෙන්කර දැක්විය හැකිය. ඉන් පළවැනි කොටස ඉහත දැක්වූ අර්ථ දැක්වීමට අනුකූල වන රෝගීන්ය. දෙවන වර්ගය රෝහල් ගතවීමෙන් අනතුරැව උණ රෝගය වැළඳුණ, එහෙත් සති තුනකට වඩා උණ රෝගය පවතින රෝගීන්ය. රුධිර භක්ෂක සෛල ප්‍රමාණය ඉතා අඩු, එහෙත් උණ රෝගය දිගටම පවතින රෝගීන් තෙවන වර්ගයයි. ආසාධිත වීමෙන් උණෙන් සති තුනකට වඩා පෙළෙන නමුත් සිව්වැනි කාණ්ඩයට අයත්ය.
මේ ආකාරයට සති තුනකට වඩා උණ පවතින විට ඒ සඳහා බලපාන හේතු රැසක් පවතින බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකිරීම වැදගත්ය.
හේතුවක් නොදන්නා උණ කෙරෙහි බලපාන ප්‍රධාන හේතු සාධක:-

1. ආසාදිත රෝග 2. පිළිකා රෝග 3. ප්‍රතිදේහ/ ප්‍රතිශක්ති ප්‍රතික්‍රියා 4. ආසාත්මිකතා 5. වෙනත් විවිධ හේතු 6. රෝහල් සේවකයින්ගෙන් සිදුවන වැරදි හෝ රෝගියා සෞඛ්‍ය සේවකයින් මුලා කිරීම. 7. කිසිලෙසටවත් හේතුව අනාවරණය නොවන උණ ලෙස දැක්විය හැකිය.

දිගුකලක් උණ රෝග ලක්ෂණ ඇතිකරන ආසාදිත රෝග රුසක් පවතියි. උදර කුහරය තුළ පටකවල, අක්මාවේ හෝ ශ්‍රෝණිය ආශ්‍රිතව සැරව ගෙඩි පැවතීම මේ අතර ප්‍රධාන වෙයි. හෘදයේ අභ්‍යන්තර මාංශ පේශී ආසාදන මෙන්ම අස්ථි ආසාදනය හෙවත් ඔස්ටියෝමයලයිට්ස් ද මෙහිදී සැලකිය යුතුය.

මීට අමතරව විශේෂ රෝග කාරකයින් මගින් සෑදෙන රෝගද දිගුකලක් පවතින උණ රෝගයට වගකිය යුතුය. ක්ෂය රෝගය, ටයිෆොයිඩ් උණ, බෘසෙල්ලෝසිස් (Brucellosis), මී උණ, උපදංශය මින් ප්‍රධාන බැක්ටීරියා රෝගවේ. එප්ස්ටින් බාර් (EBV), ඉන්ෆෙක්ෂස් මොනෝනියුක්ලියෝසිස් (IMN), හෙපටයිටිස් හා HIV මේ ආකාරයට උණ ඇති කරන වෛරස වේ. තයිපස්, මැලේරියා, ඇමීබා රෝගය, කැන්ඩියා වැනි දිලීර රෝගත්, මේ ආකාරයට දිගුකල් පවතින උණ ඇතිකරයි.
පිළිකා රෝග අතරින් ලිම්පෝමා හෙවත් වසා ගැටති ආශ්‍රිත පිළිකා, ලියුකේමියාව, අක්මාව, අග්න්‍යාසය, වකුගඩු, ආශ්‍රිත පිළිකා ද මේ ලෙසටම දිගුකල් පවතින උණ රෝග ලක්ෂණය ඇතිකරයි.

රූමටොයිඩ් වැනි රෝග ද සමහර ඖෂධ ද, උණ රෝග ලක්ෂණයට හේතු වන අතර, තයිරොයිඩ් හෝර්මෝන මට්ටම ඉහළ යාම, අක්මා රෝග, මහාන්ත්‍රය ආශ්‍රිත ආසාදන ද මෙහිදී සැලකිල්ලට ගතයුතුය.

උණ මැනීමට භාවිත කරන උණ කටුව වැරදි ලෙස යොදාගැනීම, උණ කටුවේ දෝෂ මෙන්ම සමහර පුද්ගලයින් ශරීර උෂ්ණත්වය ඉහළ නංවන ද්‍රව්‍ය ශරීර ගතකර ගනිමින් සෞඛ්‍ය සේවකයින් මුලාකිරීම ද දිගුකලක් පවතින උණ රෝගයට හේතු වෙයි.
මේ අනුව හේතු නොදන්නා රෝගයෙන් පෙළෙන විට ඉහත කරුණු ගැන සිත්හි තබා පරීක්ෂණ පැවැත්වීම වැදගත් වෙයි. රෝගියාගේ රෝග නිධානය විමසා සිටීමත්, කායික පරීක්ෂණ පැවැත්වීමත්, විද්‍යාගාර පරීක්ෂණත්, උෂ්ණත්වය වෙනස්වන අන්දම උණ සටහනකින් නිරීක්ෂණය ක්‍රමානුකූලව සිදුකිරීම අනුව PUO කෙරෙහි වන හේතුව අනාවරණය කරගත හැකි වනු ඇත.

රුධිරය, මුත්‍රා, ශේලේෂ්මලය, මස්තිෂ්ක සුෂුම්නා තරලය, ඇට මිදුළු පරීක්ෂණ, විවිධ රෝග කාරකවලට විශේෂිත මස්තුමය පරීක්ෂණත් මෙහිදී උපකාරයට පැමිණෙයි.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව