අපේ ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට සමත් ලෙඩ රෝග ද තිබේ. එවැනි රෝගයන්ට ලක් වූ විට එවා පැතිර ගොස් ස්නායු පද්ධතිය දුර්වල වීම දක්වා ඒවා උත්සන්න නොවීමට වග බලා ගත යුතුයි. උණ, වලිප්පුව, අපස්මාරය, හිසට වන හානි, විසංඥතාව, මායා රෝගය, දියවැඩියාව සහ රුධිර පීඩනය ස්නායු පද්ධතියට බලපෑම් කිරීමට සමත් එවැනි රෝග අතර ප්‍රධානය. මේ විමසීම එම රෝග ගැනය.
ශරීර උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම අප හඳුනා ගන්නේ උණ වශයෙනුයි. එනම් ශරීරය නිපදවන උෂ්ණත්ව ප්‍රමාණය හා එයින් පිටවන උෂ්ණත්වයේ වෙනස වන ශරීරය තුළ පවත්නා උෂ්ණත්වය ඉහළ නැගීමයි. නිරෝගී වැඩිහිටියකුගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6 (986 F) ක් හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් (37 C) වන අතර එම උෂ්ණත්වය ඉහළ ගොස් ඇති විට එය උණ තත්ත්වයක් වශයෙන් හඳුනා ගනී.
උණ රෝග ලක්ෂණයක් ලෙස ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් මදුරුවන්, මීයන් වැනි සතුන් මඟින් බෝවන ලෙඩක් නිසා ද, වෛරස බැක්ටීරියා වැනි වෙනත් නොයෙකුත් ආකාරවලින් හැදෙන ලෙඩ නිසා ද උණ හටගත හැකියි. කෙසේ හටගත්ත ද උණ තත්ත්වය උත්සන්න වූ විටෙක ස්නායු පද්ධතියට දැඩි බලපෑම් ඇති වීමට ඉඩ ඇත. ඒ නිසා සාමාන්‍ය උණ තත්ත්වයක් ඇතිවී තිබුණත් ඉක්මනින් නිසි ප්‍රතිකාර කළ යුතු වේ.
සාමාන්‍ය උණ තත්ත්වයක් ඇති වී තිබෙන විටෙක රෝගියා හොඳින් පොරවා දොර ජනෙල් වසා කිසිදු ආහාරයක් කෑමට නොදී සිටීම සමහරැන්ගේ සිරිතයි. නමුත් එය කළ යුත්තක් නොවේ. උණ රෝගියකු සිටින විටෙක දොර ජනෙල් විවර කර පිරිසිදු වාතාශ්‍රය ලැබෙන නිසල පරිසරයක තබා රෝගියාට විවේකය දිය යුතු වේ.
සිසිල් ජලයෙන් බෙල්ලෙන් පහත ස්පොන්ජ් කිරීම, ඕඩිකොලොන් වැනි යමක් හිසේ ගැල්වීම, විජලනයට පත් වීමට ඉඩ ඇති බැවින් හැකිතාක් දියර ආහාර වර්ග දීම, වේදනා නාශකයන් මාත්‍රාව අනුව ලබා දීම, කොත්තමල්ලි වැනි පානයන් ලබා දීම, උණ අඩු නොවන්නේ නම් වහාම වෛද්‍යවරයකු හමු වීම සහ තමා රෝගියාට ලබා දුන් සියලු ඖෂධ සහ ආහාර පිළිබඳ වෛද්‍යවරයාට පැවසීම මෙහිදී කළ යුතුය.
අධික උණ සමඟ කුඩා ළමුන්ට ඇතිවන අපස්මාර වෙව්ලීම ළදරැ වලිප්පුවයි. මේ හැර බෝ වන රෝගයක් නිසා හෝ උගුරේ, කනේ සහ නාසයේ ආසාදනයක් නිසා හෝ අධික උණ නිසා ද වෙව්ලීම ඇතිවිය හැක. හදිසියේ ඇතිවන එවැනි වලිප්පුව පාලනය කළ හැකි නම් අන්තරාදායක තත්ත්වයක් ඇති නොවේ.
උණ, දහදිය දැමීම, රත් වූ හම, ඇඟිලි තදකර ගැනීම, පේශීන් තද වීම, දරදඬු වීම, හුස්ම අල්ලාගෙන සිටීම, ඇස් උඩ යාම හා වපර වීම, සිහිසුන් වීම ආදිය ළදරු වලිප්පුවේ රෝග ලක්ෂණයන්ය.
ළදරු වලිප්පුව ඇති වුණු විගස ළදරැවා වතුර භාජනයකට බැස්සවීම, තෙල් වැනි දෑ දරුවාගේ නාසයට දැමීම, දත් පූට්ටු වීම වැළැක්වීමට හැඳි වැනි දෑ දරුවාගේ කටට දැමීම ආදිය කිරීම අනතුරැදායකය.
ඒ වෙනුවට ඉහත රෝග ලක්ෂණයන් පෙන්වන විටෙක වහාම දරුවාව රෝහලකට ගෙන යාමට කටයුතු කළ යුතුයි. එහිදී,
ළදරුවාගේ ඇඳුම්/ අමතර ඇඳුම් ඉවත් කිරීම, සිසිල් වාතය ලැබීමට ඉඩ සැලැස්වීම, දරුවා දෙපැත්තෙන් කොට්ට වැනි මෘදු ආධාරක තැබීම, හිසේ සිට දෙපතුල දක්වා ඇල් මැරුණු ජලයෙන් ස්පොන්ජ් කිරීම, ශ්වසන මාර්ගය විවෘතව තැබීම, ඕඩිකොලොන් වැනි දෙයක් හිසේ ගැල්වීම, තොල්/ දිව සැපීම වැනි අනතුරැ පිළිබඳ සැලකිලිමත් වීම.
දරුවා ප්‍රකෘති තත්ත්වයට පත් වූ විටෙක වෛද්‍යවරයකු කරා ගෙන යාමෙන් දරුවාගේ ළදරු අපස්මාර තත්ත්වය අවම කරගෙන ස්නායු පද්ධතියට සිදු විය හැකි බරපතල හානියෙන් දරුවා බේරාගත හැකි වේ.
අධි රුධිර පීඩනය මෙන්ම වැඩි පීඩනය ද අහිතකරය. ස්නායු පෝෂණය, ඔක්සිජන් සැපයුම අඩු වැඩි වීම නිසා ක්‍රියාකාරීත්ව වෙනස්කම් ඇතිවිය හැකිය. දියවැඩියාව මගින් ද වන්නේ එයයි. මොළයට සැපයෙන රුධිර ධාරාව අඩු වැඩි වීම නිසා මායා රෝගය අපස්මාර තත්ත්ව සිහි නැතිවීම බඳු හානිකර තත්ත්ව හටගනියි. පර්යන්ත ස්නායු අඩපණ වීම දියවැඩියාව මගින් සිදුවන නිසා දැනීම නැති වී හිරිවැටීම සිදුවීමෙන් ජීවිතයට හානිකර අනතුරු ඇතිවිය හැකිය.
හිසේ තුවාල නිසා විසංඥතාවට පත් වී ඇති විටෙක ප්‍රධාන වශයෙන් රෝගී තත්ත්වයන් තුනක් පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. එනම්,
මොළය සෙලවීම, මොළය තෙරපීම, හිස්කබලේ භග්න මේ සියලුම අවස්ථාවලදීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇති වීමේ හැකියාවක් පවතී.
හිස් කබල තුළ කලාතුරකින් ස්වල්ප වශයෙන් මොළය සෙලවීමට ඉඩකඩ ඇති අතර තද පහරක් වැදුණු විටෙක මොළය අධික ලෙස සෙලවීමට භාජනය විය හැක. මෙවැනි විටෙක අමතක වීම, කරකැවිල්ල, ඔක්කාරය, සුළු හිසේ කැක්කුම් ඇතිවිය හැකි වේ. මොළයේ සෙලවීමක් ඇති වී ඇතැයි සැක කරන විටෙක රෝගියාගේ හුස්ම, නාඩි, ප්‍රතිචාර මට්ටම පරීක්ෂා කිරීම, මිනිත්තු 3කට වඩා වැඩි කාලයක් විසංඥ වී සිටී නම් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම, දරුවන් වෛද්‍ය උපදෙස් නොමැතිව ක්‍රීඩා කිරීම සඳහා යොමු නොකිරීම සඳහා වගබලා ගත යුතුයි.
මෙය අසාධ්‍ය තත්ත්වයකි. මෙවැනි අවස්ථාවකදී ශල්‍යාධාර ලබා දිය යුතුය. සිහියේ මට්ටම ක්‍රමයෙන් අඩු වීම, අන්දමන්ද ස්වභාවය, ක්ෂණිකව ඇතිවන හිසේ කැක්කුම, ශබ්ද සහිතව හා සෙමෙන් හුස්ම ගැනීම, මුහුණේ සහ ශරීරයේ පැත්තක් අඩපණ වීම, ශරීර උෂ්ණත්වය වැඩි වීම, මුහුණ රත් පැහැ වීම වැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් කරන්නේ නම් එය මොළයේ තෙරපීමක් බව හඳුනාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වේ. හිස්කබල බිඳී ගිය තත්ත්වයකදී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.
► NeuroMd