අපි කලින් සතියේ කතා කරන්නට ගත්තේ ස්වයංවින්දනය නමැති කාරණාව මිත්‍යාවක් හැටියට බලපා ඇති අන්දමයි. අද අපේ කතාව ඒ සමඟ එන තවත් මිත්‍යාවක් ගැනයි.
කෙට්ටුවීම, ඇඟ දුර්වල වීම, ධාරණ ශක්තිය හීනවීම නිට්ටාවට සුවකරන ඖෂධ වට්ටෝරු ගැන ඕනෑ තරම් වෙළඳ දැන්වීම් අද දකින්නට හැකියි. නමුත් මේ කියන දේවල් සැබෑවටම රෝගී තත්ත්වයන් නොවන අතර බෙහෝ අවස්ථාවල හිතෙන් හදාගත් ලෙඩ බවත් දන්නේ කීයෙන් කී දෙනාද?
ලිංගිකත්වය ගැන ඇති වැරැදි අවබෝධය නිසාම ස්වයංවින්දනයේ යෙදීම මහා පාප කර්මයක්, ලොකු ලජ්ජාවක්, ශරීරයට අහිතකර ක්‍රියාවක් හැටියට තේරුම් ගැනීම නිසාම සමහරු මානසිකව ලොකු කම්පාවන්ට ඇදවැටීම්වලට ලක්වෙනවා. ඒ නිසා මානසිකව ඇතිකර ගන්නා වැරැදි අදහසක් ලෙස කෙට්ටුවීම දක්වන්නට පුළුවනි.
කෙට්ටුවීම ලෙස වෛද්‍ය විද්‍යාත්මකව දක්වන්නට පුළුවන් කාරණාව වන්නේ තමන්ගේ වයසට ගැළැපෙන උස සහ දේහබරක් නොමැතිවීමයි. දිගින් දිගටම උසට සරිලන බරක් නැතිනම් එතැනදී කුමක්ද රෝගය කියා පරීක්ෂාවකට ලක්ව ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුයි. නමුත් ස්වයංවින්දනය කිසිසේත්ම ශරීරයේ කෙට්ටුව හෝ මහතට සම්බන්ධ නෑ. ස්යංවින්දනය යනු නිසිකලට එන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ස්වභාවික පෙළඹුමකට අවනත වීමක් පමණයි.
මේ ගැන විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා උපුටා දැක්වූයේ හරි අපූරු උදාහරණයක්. වෛද්‍ය පීඨයේ එක් කථිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයක් කළා. දේශනය අවසානයේදී ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නා. ශිෂ්‍යයෙක් කොළ කෑල්ලක ප්‍රශ්නයක් ලියලා එව්වා. ඒකේ අහලා තිබ්බ දේ කතිකාචාර්යතුමා හයියෙන් කියෙව්වා. එකේ තිබ්බේ දින පතා ස්වයංවින්දනයේ යෙදුණාම ඇඟ කෙට්ටු වෙනවාද? කියලා අහලා.
ඉතින් මේ ප්‍රශ්නේ හඬනගා කියලා කතිකාචාර්යතුමා ටිකක් වෙලා නිහඬව තමාගේ ඇඟ දිහා බලාන හිටියා. ඊට පස්සේ මෙහෙම කිව්වා. මේ බලන්නකෝ මම මේ හොඳට ඉන්නේ. මම කෙට්ටුවෙලා නෑ නේද? මුළු දේශන ශාලාවම හිනාවෙන් පිරිලා ගියා.
ඒ වාගේ තවත් සමාන අත්දැකීමක් තමා මේ. ප්‍රසිද්ධ කටකාර මහාචාර්යතුමෙක් එදා දේශනයට ආවේ. එදා දේශනයත් මානව ලිංගිකත්වය ගැන. අන්තිමේ ඔහුගෙනුත් අර ප්‍රශ්නයම අහලා තුණ්ඩුවක් ආවා. මොකක්ද දන්නවාද ඔහු දුන් පිළිතුර...?
ළමයිනේ ස්වයංවින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවා නම් මේ දේශනය කරන්න අද මම මෙතන ඉන්නේ කොහොමද?ස්වයංවින්දනය හා කෙට්ටුවීම අතර කිසිම සම්බන්ධයක් නෑ කියන්න තවත් උදාහරණ අවශ්‍ය නෑ නේද?
උපදෙස්: විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ