ඉන්සියුලින් විදගතයුත් කළ යුතු වෙලාවන් මොනවාද?
ඉන්සියුලින් ශරීරයට අවශ්‍ය කළ යුතු ප‍්‍රමාණය, වර්ගය සහ වේලාව ඔබේ වෛද්‍යවරයා තීරණය කරන්නේ ඉන්සියුලින් වර්ගය, ඔබගේ එදිනෙදා වැඩ කටයුතුවල ප‍්‍රමාණය (ව්‍යායාම) ඔබ ආහාර ගන්නා ප‍්‍රමාණය සහ ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය ගැන සොයා බලලයි.
සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ, ඉක්මණින් ක‍්‍රියාකරන (කෙටිකාලීන) ඉන්සියුලින් ආහාරයට විනාඩි 30කට පෙර සිරුරට විදගන්න කියලයි. ඉන්සියුලින් විදීම ආරම්භ කළ අලුත, එය සිරුර තුළ ක‍්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නා තුරු රෝගියා පරිස්සම් විය යුතුයි. සමහර විට හිටිවනම රෝගියාගේ රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය පහත වැටී අවමධුරක්තය හෙවත් හයිපෝලයිසීමියාව (Hypoghycemia) ඇති වී සිහිමුර්ජා තත්ත්වයට පත්විය හැකියි.
දියවැඩියා රෝගියකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන සාධක ගණනාවක් දැන් ඔබ කිව්වා. ඔය හැම කරැණක් ගැනම සලකා බලලා ඉන්සියුලින් ගත යුතු ආකාරය තීරණය කිරීම හරි අපහසුයි කියලයි මට හිතෙන්නේ. විදගත යුතු ඉන්සියුලින් ප‍්‍රමාණය තීරණය කරන්න පුළුවන් ලෙහෙසි ක‍්‍රමයක් නැද්ද?
ඔය කියපු කරුණු සියල්ල සැලකිල්ලට භාජනය කරල ඔබට සුදුසු ඉන්සියුලින් ප‍්‍රතිකාර සැලැස්ම ඔබේ වෛද්‍යවරයා පිළියෙල කරාවි. ඔබ ගත යුතු ඉන්සියුලින් වර්ගය, භාවිත කළ යුතු සිරිංජය, එයට ඇදගත යුතු ඉන්සියුලින් ඒකක ගණන, නික්ෂේපණය කළ යුතු වෙලාව සහ එය නික්ෂේපණය කළ යුතු තැන තැන, ඔබේ වෛද්‍යවරයා ඔබට පැහැදිලිව කියාවි. ඔබේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවැඩි වෙන ආකාරය අනුව ලබාගත යුතු ඉන්සියුලින් ප‍්‍රමාණය ඔහු වෙනස් කරාවි. ඒ ගැන තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට ඉඩ දෙන්න.
ඔබ කියන විදිහට අවසානයේදී මා ලබාගත යුතු ඉන්සියුලින් ප‍්‍රමාණය තීරණය වෙන්නේ මගේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය අනුවයි. ඉතින් ඒක කරන්නේ කොහොමද?
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය දිනපතා මැනිය යුතුයි. ප‍්‍රතිකාර ආරම්භ කරපු මුල් දවස්වලදී දවසට කිහිපවරක්ම රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය මැනිය යුතුයි. දවස පුරා රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය වෙනස් වෙන ආකාරය ඒ අනුව ඔබට දැනගන්න පුළුවනි. ඒ අනුව ඔබට අවශ්‍ය ඉන්සියුලින් ප‍්‍රමාණය තීරණය කරගන්නට පුළුවනි.
ඉන්සියුලින් කුප්පියක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරැණ මොනවාද?
වැදගත් දෙය තමයි ඉන්සියුලින් කුප්පියේ අලවා ඇති ලේබලය පරීක්ෂාවෙන් කියවීම. එකවරක් නොවෙයි, දෙවරක්ම කියවන්න. ඔබ මිලදී ගත්තේ ඔබේ වෛද්‍යවරයා විසින් නියම කළ ඉන්සියුලින් වර්ගය (Type) සාන්ද්‍රණය (Strength) සහ නිෂ්පාදනය (Brand) බව ස්ථීර කරගන්න. වෙළෙඳ පොළේ විවිධ ආකාරයේ ඉන්සියුලින් වර්ග තිබෙන නිසා ඔබ වැරදි ඉන්සියුලින් කුප්පියක් මිලදී ගත්තොත් සුං.
වෛද්‍යවරයා නියම කළ ඉන්සියුලින් වර්ගය නැත්නම් ඊට සමාන වෙනත් වර්ගයක් ෆාමසියෙන් ලබාදුන්නාට එය බාරගන්න එපා. වෛද්‍යවරයා නියම කළ වර්ගයම ඉල්ලන්න. එය ෆාමසිවල නැත්නම් නැවත ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගෙන් වෙනත් වට්ටෝරුවක් ඉල්ලාගෙන ෆාමසියට ගොස් එය ලබාගන්න.
ඉන්සියුලින් කුප්පිවල ලේබලය සටහන් වෙන්නේ ඉංග‍්‍රීසියෙන්. ඒ නිසා අපේ රටේ සිටින බොහෝ දෙනෙකුට එම ලේබලය කියවා තේරුම්ගන්න අපහසුයි. එවිට කළ යුත්තේ හොඳ කාර්ය මණ්ඩලයක් ලවා එය කියවා ගැනීමයි. ඉන්සියුලින් මිලදී ගැනීමට ෆාමසියට යනවිට නොවරදවාම ඔබ කලින් භාවිත කළ හිස් ඉන්සියුලින් කුප්පියත් රැගෙන යන්න අමතක කරන්න එපා. එසේත් නැත්නම් එම කුප්පියේ අලවා තිබූ ලේබලය ගලවා ඔබේ පොකට්ටුවේ දමාගෙන ගොස් එය ෆාමසියේ ඉන්න ඖෂධවේදියාට පෙන්වන්න.
ඔබේ ඉන්සියුලින් කුප්පිය මිලදී ගන්නා විට සැලකිලිමත් විය යුතු තවත් කරැණක් තමයි, එය කල් පනින දිනය (Expiry date) ඔබගේ ඉන්සියුලින් කුප්පිය කල් පනින දිනයට කලින් නික්ෂේපණය කොට අවසන් කරන්න බැරි නම් කල් පනින දිනය ඈත එකක් ඔබගේ ඖෂධවේදියාගෙන් ඉල්ලා ගන්න.
පළමුවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නෙක්, දවසකට ඉන්සියුලින් කී වරක් විද ගත යුතුද?
එය ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කරාවි. ඔබට ඉන්සියුලින් ලබාදීමට තීරණය කළාට පසු, ටික දවසක් ඔබ රෝහලේ නතර කර ගනීවි. දවසට කිහිපවිටක්ම (බොහෝ විට පැය 4කට වරක්) රුධිරයේ ග්ලූකෝස් මට්ටම මැන බලාවි. ඒ අනුව ඔබට අවශ්‍ය කරන කෙටිකාලීන ඉන්සියුලින් (Short acting Insulin) ලබා දේවි. ඊට පසුව ඔබට මිශ‍්‍ර ඉන්සියුලින් දවසට දෙවරක් උදේ කෑමට පෙර සහ රාත‍්‍රී කෑමට පෙර ලබාගැනීමට උපදෙස් දේවි. අපේ රටේ සාමාන්‍යයෙන් ඉන්සියුලින් ලබාදෙන ක‍්‍රමය එය වුණත් එය පුද්ගලයා අනුව වෙනස් වෙනවා.
ඔබට විදින ඉන්සියුලින් ප‍්‍රමාණය අඩුවෙන්නත් හොඳ නැහැ. වැඩි වෙන්නත් හොඳ නැහැ. විදින ඉන්සියුලින් ප‍්‍රමාණය අඩු නම් රුධිරයේ ග්ලූකෝස් ඉහළ මට්ටමක තියේවි. එමගින් දියවැඩියාව පාලනය වෙන එකක් නැහැ. විදින ඉන්සියුලින් ප‍්‍රමාණය වැඩි වුණොත් රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පහළට යාවි. එවිට ඇඟ වෙව්ලීම, බඩගින්න, ඇඟට පණ නැති ගතිය සහ කේන්ති යාම ඇතිවේවි. රුධිර ග්ලූකෝස් ප‍්‍රමාණය තවත් පහළට ගියොත් ක්ලාන්තය හැදී පසුව සිහිමුර්ජා (Coma) වී අවසානයේදී මියයාවි. ඒ නිසා ඔබ ලබාගත යුතු ඉන්සියුලින් වර්ගයත්, ප‍්‍රමාණයත්, වාර ගණනත් තීරණය කළ යුත්තේ ඔබේ වෛද්‍යවරයාමයි.
ඔබ කියන විදිහට ඉන්සියුලින් විද ගැනීමේදී වැදගත්ම දෙය තමයි එය නිසි වෙලාවට නියම ප‍්‍රමාණය විද ගැනීම. ඉන්සියුලින් විදින කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටීමට නැතහොත් අවමධුරක්තය හෙවත් හයිපොග්ලයිසිමියාව ඇතිවීමට හේතු මොනවාද?
විදින ඉන්සියුලින් ප‍්‍රමාණය වැඩිවීම ගැන පළමුවෙන්ම සඳහන් කළ යුතුයි. නමුත් එයට එකම හේතුව ඉන්සියුලින් ප‍්‍රමාණය වැඩිවීම පමණක් නොවේ. වෙනදා ගන්න ඉන්සියුලින් ප‍්‍රමාණය ඒ අයුරින්ම ගන්නා අතරේදී ඔහු වෙලාවට කෑම නොගෙන හිටියොත් ඔහුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ වැටී අවග්ලූකෝසියාව ඇතිවිය හැකියි.
ඉන්සියුලින් විදගන්නා අය දැනගත යුතුම කරුණු
1. ඉන්සියුලින් මගින් රුධිර ග්ලූකෝස් මට්ටම පහළ දමයි. එමගින් ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කරනු ලබයි.
2. වෛද්‍යවරයා විසින් ඔබට නියම කළ ඉන්සියුලින් වර්ගය පමණක්ම විදින්න.
3. ඉන්සියුලින් හම යටට විදින්න. ඒ සඳහා කලව ප‍්‍රදේශය, නාභිය ප‍්‍රදේශය, තට්ටම් ප‍්‍රදේශය හෝ අතේ ඉහළ ප‍්‍රදේශය භාවිතා කරන්න.
4. ඉන්සියුලින් විදීමට නියමිත සිරිංජය හෝ පෑන භාවිත කරන්න.
5. උදේ, දවල් සහ රාත‍්‍රී ප‍්‍රධාන ආහාර වේල් තුනට විනාඩි 15, 30කට පෙර ඉන්සියුලින් විදින්න.
6. ප‍්‍රධාන ආහාර වේල් තුනට අමතරව දහවල්, සවස සහ රාත‍්‍රී නින්දට පෙර සුළු ආහාර වේලක් ගන්න.
7. ඉන්සියුලින් නියම කළ ප‍්‍රමාණයට වඩා ගත්ත නම් සහ ආහාර අඩුවෙන් ගත්තා නම් හෝ බලාපොරොත්තු වූවාට වඩා වැඩිපුර ව්‍යායාමයේ යෙදුණා නම්, අවමධුරක්තය ඇතිවී ක්ලාන්තය සහ සිහිමුර්ජාව ඇති විය හැක. කල්පනාව අඩුවී යාම, දහදිය දැමීම, හෘදය වේගයෙන් ගැහීම ඇතිවුවහොත් ග්ලූකෝස් අහුරක් හෝ පැණි රස කෑමක් ආහාරයට ගන්න. ඉන්පසු ඔබේ වෛද්‍යවරයා වහාම හමුවන්න. ඔබ විදගන්න ඉන්සියුලින් ප‍්‍රමාණය අඩු කිරීමට සිදුවිය හැකිය.
8. වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදිනක ඉන්සියුලින් විදගැනීම නවත්වන්න එපා. ඔබට ආහාර අරැචිය හෝ වමනය හෝ ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.
9. ඔබ දියවැඩියාවෙන් පෙළෙන බව දැක්වෙන කාඩ්පත නිතර ළඟ තබාගන්න.
දියවැඩියාවෙන් පෙළෙන සියලුම රෝගීන් අතර ඉන්සියුලින් ක‍්‍රියාකරන්නේ එකම ආකාරයකට නොවේ. සමහරුන්ට ඉන්සියුලින් සුළු ප‍්‍රමාණයක්ද, සමහරුන්ට අධික ප‍්‍රමාණයක්ද අවශ්‍ය විය හැකියි.
සුගත්