බෝ නොවන රෝග හා අබල දුබලතා ජනිත කිරීමේ මහා පොදු සාධකය වියත් වීමේ ක්‍රියාවලිය බව දැක්වීමට යෙදුනි. ගිලන් වීම හා මරණයට පත්වීම විෂයෙහි පමණක් වියපත් වීම පිළිබඳ සාකච්ඡා කිරීම තරමක් ඍණාත්මක ප්‍රවේශයක් බව හැඟේ. සුවපත් බව, සවිමත් බව හා කාර්යක්ෂම බව දිවිය පුරාවට පවත්වා ගනිමින් පරම ආයුෂ විඳින සතුට හා විනෝදය පිරුණු ජීවිතයක් උරුම කර ගැනීමේ ලා වියපත් වීම පිළිබඳ විමසා බැලීම වඩාත් ඵලදායී වනු ඇත.
සමහර අවුරුදු 40 ඉක්මවූ අය බෝ නොවන රෝග එකකට හෝ දෙකකට ගොදුරු වෙද්දී හා අවුරුදු 60 ඉක්මවන බොහෝ දෙනෙක් ඖෂධ දෙකක් හෝ කිහිපයක් මත ජීවිතය රඳවන පසුබිමක මහන්සි වී වැඩ කිරීමෙන් ඇතිවන ඇඟපත රුදාවට පමණක් ප්‍රතිකාර ලබාගන්නා අවුරුදු 80 ඉක්මවූ අය සිටිති. අවුරුදු 114ක් නිරෝගීව ජීවත් වූ ජීවිතයේ අවසාන කාලයේදී ක්‍රීඩා තරග සඳහා සහභාගි වූ සවිමත් මවක් පරීක්ෂා කිරීමට මට අවස්ථාව ලැබී ඇත. චීනයේ වාසය කළ ලී චින් යුන් නැමැති පුද්ගලයා අවුරුදු 256ක් ජීවත් වූ බවට ලිඛිත තහවුරු පවතින අතර 1933 වර්ෂයේදී මියයන විට විසිතුන් වතාවක් විවාහ වී සිට ඇති අතර දරුවන් 200කට අධික පිරිසකට පීතෘත්වය ලබාදී ඇත. මෙම කරුණුවලින් ගම්‍ය වන්නේ උපන්දිනයේ සිට ගණිත වයස හුදෙක් අංකයක් පමණක් වන අතර පුද්ගලයකු සත්‍ය ලෙස වියපත් වීම එම අංකය සමග සමානුපාත නොවන බවයි. උප්පැනයට අනුව ගණනය කරනු ලබන වයස කාලාණුරූපික වයස (Chrnological Age) ලෙස හඳුන්වනු ලැබේ. ශරීරයේ ඇති සෛල, පටක, අවයව හා පද්ධතිවල යථාවත් වීමේ හැකියාව හා ක්‍රියාකාරීත්වය සංසන්දනාත්මකව සලකා බැලීමෙන් නිර්ණය කරනු ලබන වයස පුද්ගලයාගේ ජෛව විද්‍යාත්මක වයස (Biological Age) ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස රුධිර වාහිනී වියපත් වී ඇති ප්‍රමාණය මැනීමෙන් හා අස්ථිවල ඛනිජ ඝනත්වය මැනීමෙන් පුද්ගලයාට වයසක් ලබාදීම දැක්විය හැකිය.
ඔබ උරුම කොටගෙන ඇති ජාන සංචිතයේ සැකසුම හා ඔබ ජීවත්වන පරිසරයේ ඇති ධනාත්මක හා ඍණාත්මක බලපෑම ඔබගේ ජෛව විද්‍යාත්මක වයස තීරණය කිරීමට හේතු වේ. ආහාර පුරුදු, ජීවන රටාව, ජීවිත තුළ ඇති නොයෙක් පුරුදු, වැළඳී ඇති රෝගාබාධ, ජීවිතය තුළ සතුට සැනසුම පවත්වා ගැනීම, ජීවත්වන සමාජ ආර්ථික ව්‍යුහය හා වියපත් වීමට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග වැනි කරුණු අනුව ඔබගේ කාලානුරෑපික වයසට වඩා ජෛව විද්‍යාත්මක වයස අවුරුදු ගණනක් වැඩවීමට හෝ අඩුවීමට හැකිය. උපන් දිනයේ සිට ගණන් සෑදූ වයස ගෙවී ඇති වේගයට වඩා වැඩි වේගයෙන් ජෛව විද්‍යාත්මකව ඔබ වියපත් වී ඇත්නම් වියපත් වීමේ ක්‍රියාවලිය නිසා ඇතිවන අබල දුබලතා, රෝගාබාධ හා අපහසුතා ඉක්මණින් ඔබගේ දිවිය තුළට පැමිණෙනු ඇත. කාලාණුරෑපිත වයස ගතවුවද ජෛව විද්‍යාත්මකව වයසට යාම පමා කළ හැකිනම්, ඔබගේ ජීවිතයේ 30 වැනි උපන්දිනය ගතවීමෙන් පසු වියපත් වීමේ ක්‍රියාවලිය නිසා උරුම වීමට නියමිතව ඇති ඔබගේ දෛවය ඔබගේ පැතුම් අනුව විශාල ලෙස වෙනස් කරගැනීමට හැකිවනු ඇත.
උප්පැන්නයට අනුව වයසට ගියද සිරුරේ සහ මනසේ තරුණ බව මැරෙන තෙක්ම පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය මිත්‍යාවක් හෝ ප්‍රබන්ධයක් නොවේ. නූතන ලෝකයේ විශාල විද්‍යාත්මක අධ්‍යයන ප්‍රමාණයක් මේ පිළිබඳ සිදුකොට ඇති අතර අඛණ්ඩව සිදුවෙමින් පවතී. වියපත් වීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය හා එම ක්‍රියාවලිය පාලනය කිරිමට හෝ ආපසු හැරවීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් සම්භාරයක් ඒකරාශී වී ඇත. මෙම කරුණු ප්‍රායෝගික යථාර්ථයක් කරමින් &රිජනරේටිව් ඇන්ඩ් ෆන්ස්ෂනල් මෙඩිසින්* (Regenarative and Functional Medicine) නමින් වෛද්‍ය විද්‍යාවේ නව ක්ෂේත්රයක් බිහිවෙමින් පවතී. වියපත් වීම පිළිබඳ හා රෝගී වීම පිළිබඳ මුල් බැස ඇති ගතානුගතික චින්තන රටාව වෙනස් විය යුතු අතර ලැබූ මිනිස් දිවියේ උපරිම ඵලදායීතාවය අත්පත් කරගැනීමට උත්සුක විය යුතුය. දැනුමෙන් සන්නද්ධ වීමටත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට අවතීරණ වීමටත් ඇවැසි සවිය ලබාදීමට අපි ඔබට මග කියන්නෙමු.