වැලිමැක්කා මගින් පැතිර යන අවදානම් සහිත චර්මීය රෝගයක් වන ලීශ්මේනියාව ගැන මේ දිනවල නැවතත් සෞඛ්‍ය අංශයේ අවධානය යොමුව තිබේ. මෙය 2008 වර්ෂයේ සිට කලින් ජනතාවට දැනුම් දියයුතු රෝගයක් ලෙස නම්කර තිබෙන පරපෝෂිතයකු මගින් වැළඳෙන රෝගයකි. Leishmania නම් පරපෝෂිත ප්‍රෝටොසෝවා විශේෂය නිසා හටගන්නා මෙය වාහකයකු මඟින් බෝවන රෝගයකි. Leishmania නම් පරපෝෂිත ප්‍රෝටොසෝවා ගැහැණු වැලි මැස්සාගේ දෂ්ඨනයෙන් පමණක් මිනිස් ශරීරයට ඇතුළු වේ.
ඔබ මෙවැනි රෝගයක් ගැන නොදන්නා නමුත් ලීශ්මේනියාව මේ වනවිට අප රට තුළද නිතර වාර්තා ගත වී ඇති රෝගයකි. මෙය අප ශරීරය විකෘති කරවන රෝගවලින් එකකි. මෙම රෝගය ආකාර 3 කින් දැකිය හැකිය. චර්මීය ලීශ්මේනියාව (Cutaneous Leishmaniasis), ශ්ලේෂ්මල චර්මීය ලීශ්මේනියාව (Muco cutaneous Leishmaniasis) හා අන්තරංග ලීශ්මේනියාව (Visceral Leishmaniasis) ලෙස ඒවා හඳුන්වයි.
රෝග ලක්ෂණ
චර්මීය ලීශ්මේනියාව:
මෙහිදී සමෙහි නිරාවරණය වූ ප්‍රදේශවල කුඩා තුවාල විශේෂයක් හටගනී. මේවා වේදනාකාරී නොවේ. එහෙත් තුවාල කැළල් ඉතිරිවීමට හැකිය. ඇතැම් තුවාල සම්පූර්ණයෙන්ම සුවවේ. ලීශ්මේනියා රෝගී තත්ත්ව අතරින් වඩාත්ම ප්‍රචලිත රෝගය වන්නේ මෙයයි.
ශ්ලේෂ්මල චර්මීය ලීශ්මේනියාව:
මෙය ඇතිවන්නේ චර්මීය ලීශ්මේනියාවේදී ඇති වූ තුවාල ආසාදනය වීමෙන් පසු රුධිරය හා වසා තරලය ඔස්සේ මුඛයේ හා නාසයේ ශ්ලේෂ්මල පටක දක්වා රෝගය පැතිරී යාමෙනි. එවිට මුඛයේ හා නාසයේද තුවාල ඇති වේ.
අන්තරංග ලීශ්මේනියාව:
වඩාත්ම අවදානම් වන්නේ මෙම ඇතුළු අවයව කරා පැතිර යන අන්තරංග ලීශ්මේනියාව (Visceral Leishmaniasis යි. එමගින් මරණය පවා ළඟාවිය හැකිය. අක්මාව හා ප්ලීහාව ආසාදනය වීම ඊට හේතුවයි.
මෙහි රෝග ලක්ෂණ ලෙස වරින්වර ඇති වන උණ ගතිය, කෑම අරුචිය, සිරුරේ බර අඩුවීම, රක්තහීනතාවය දැක්විය හැකිය. අන්තරංග ලීශ්මේනියාව වැළඳී සුව වූ අයෙකුගේ වුවද එහි සංකූලතාවක් ලෙස සමෙහි කුඩා බිබිලි විශේෂයක් දැකිය හැකිය. එම බිබිලි ලා පැහැති වන අතර එක ළඟ බිබිලි රුසක් දැකිය හැකිය.
අන්තරංග ලීශ්මේනියාව හා HIV ඒඩ්ස් අතර සහසම්බන්ධයක් පවතී. HIV ආසාදිතයින්ට ලීශ්මේනියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇති අතර ලීශ්මේනියාව වැළඳී ඇති අයෙකුට HIV ආසාදනය වීමේ වැඩි අවදානමක්ද පවතී. මෙනිසා අන්තරංග ලීශ්මේනියාව වැළඳී ඇති සෑම අයෙකුම HIV ඒඩ්ස් ආසාදිතයකුද යන්න පරීක්ෂා කරනු ලැබේ.
ප්‍රතිකාර:
ලීශ්මේනියාව ප්‍රතිකාර මඟින් සුවකළ හැකි රෝගයකි. අන්තරංග හා ශ්ලේෂ්මල චර්මීය ලීශ්මේනියාවේදී ප්‍රති පරපෝෂිත ඖෂධයක් යොදාගන්නා අතර චර්මීය ලීශ්මේනියාවේදී චර්ම රෝග සායනයකින් දියර නයිට්රජන් යොදාකරනල ක්රයෝ තෙරපි (Cryotherapy) ප්‍රතිකාරය හෝ ඖෂධ තුවාලවලට එන්නත් කිරීම සිදුකරයි.
රෝග නිවාරණය:
මෙම රෝගය අඩු සමාජීය හා ආර්ථික පසුබිම, මන්දපෝෂණය පාරිසරික හා කාලගුණික වෙනස්වීම් හා බැඳී පවතී. එබැවින් සෞඛ්‍ය ආරක්ෂිත දිවි පැවැත්මක් තුළින් මේ රෝගය වැළඳීම වළක්වා ගත හැකිය.
වැලි මැස්සා මගින් මෙය බෝ වන නිසා එම සතුන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබාගත යුතුය. ආසාදිතයින් තම තුවාල හොඳින් ආවරණය කර ගත යුතුය. එමගින් රෝග ව්‍යාප්තිය වැළකේ. වැලි මැස්සා සිටින බවට වාර්තා ගත වී ඇති ප්‍රදේශ සඳහා වැලි මැස්සාගෙන් ආරක්ෂා වීම සඳහා ඖෂධ යෙදූ දැල් වර්ග හා නාශක දියරද යොදාගත හැකිය.
සැබවින්ම නොසැලකිලිමත් බව නිසා මාරාන්තික බවටද පත්විය හැකි ලීශ්මේනියා රෝගය, වැළඳීම සහ පැතිරීම, අපගේ නිසි දැනුවත්වීම සහ පරීක්ෂාකාරී වීම මඟින් වළක්වා ගත හැකිය.
චර්මීය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ඉන්දිරා කහවිට