2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

අලුත් එන්නත ක්‍රියා කරන හැටි!

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ජාන උපදෙස් (Gentic instructions)  ලබාදීම සඳහා යොදා ගන්නේ තනි පොට ( single stranded) රයිබෝ නියුක්ලෙයික් අම්ලය (RNA) වෙනුවට ද්විත්ව පොට (two stranded) ඩී ඔක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ලයයි (DNA)

මෙහිදී කොරෝනා වෛරසයේ ස්පයික ප්‍රෝටීනය (spike protein) නිපදවන ජානය ඇඩිනවයිරසයක් තුළට ඇතුළු කර තිබේ. ChAdOx1 නම් ලද විකරණය (වෙනස් කළ-modified) කළ චිම්පන්සි ඇඩිනෝ වෛරසයක් මේ සඳහා එන්නතේ යොදා ගැණුනි.  (රුසියානු ස්පුට්නික් එන්නතේ ඇත්තේ මානව ඇඩිනෝ වෛරසයකි) (රූපය 1)

ෆයිසර් එන්නතට රින 70 ගබඩා උෂ්ණත්වයක් අවශ්‍ය වුවද ඇස්ට්‍රා සෙනෙකා එන්නත අංශක 2-8 අතර ගබඩා කළ හැක්කේ කෙසේද?

ඩී.එන්.ඒ. ආර්.එන්.ඒවලට වඩා ස්ථායි බැවින් පහසුවෙන් බිඳ නොවැටේ. එසේම එය ඇඩිනෝ වයිරසයක් තුළට ඇතුළු කිරීම නිසා ඇඩිනෝ වයිරසයේ තද ප්‍රෝටීන කවරය මගින් එයට ඇතුළු කළ ඩී.එන්.ඒ. කොටස බිඳ නොවැටේ. එනිසා ඍණ70 උෂ්ණත්වයක ගබඩා කිරීම අවශ්‍ය නොවේ.

එන්නත ලබාදුන් පසු ඇඩිනෝ වෛරසය එන්නත් කළ සෛලය (vaccinated cells) මත ඇති ප්‍රෝටීන හා එක්වේ. වෛරසය සෛලය තුළට ඇතුළු වේ. ඉන්පසු න්‍යෂ්ටිය වෙත ළඟා වේ. ඇඩිනෝ වෛරසය න්‍යෂ්ටිය වෙත ඩී.එන්.ඒ. තල්ලු කරයි. ජාන ඉංජිනේරු විද්‍යාව අනුව ඇඩිනෝ වෛරසයට සිය කොපි නිපදවිය නොහැකි මුත් ඒ තුළට ඇතුළු කර ඇති කොරෝනා වෛරස ස්පයික කොටස නිපදවන ජාන කොටස කියවා ගෙන පණිවිඩ ආර්.එන්.ඒ. (messenger RNA-mRNA) කොටසකට කොපි කර ගත හැකි වේ (රූපය 2)

එම්.ආර්.එන්. කොටස න්‍යෂ්ටියෙන් ඉවත්වේ. සෛලයේ අණු  එහි අනුපිළිවෙළ (sequence) කියවා ස්පයික් ප්‍රෝටීනය එකලස් කරයි. මේ නිපද වූ සමහර ස්පයික ප්‍රෝටීන සිය තුඩු  (spikes) සෛලයෙන් පිටතට යොමුකරයි. සමහර ස්පයික ප්‍රෝටීන බිඳ වැටී කැබලි (fragments) සෛල මතුපිට තැන්පත් වේ. මේවා සිරුර තුළ වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි. ඒ හැරෙන්නට ඇඩින වයිරසය සිරුරේ අනතුරු හැඟවීමේ පද්ධතිය (alarm system) සක්‍රීය කරයි. එමගින් ළඟ ඇති ප්‍රතිශක්තිකරණ සෛල සක්‍රීය වේ. මෙය ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් ඇඩිනවයිරසය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තදින් ප්‍රතිචාරයට ලක්කර ගැනීමේ ක්‍රමවේදය වන අතර මේ ප්‍රතිශක්තිය වර්ධනයට මේ එන්නත යොදාගන්නා යාන්ත්‍රණයේ විශේෂ කරුණකි. (රූපය 3)

එන්නත් කළ සෛලය විනාශ වූ විට/පසු එහි වූ ස්පයික ප්‍රෝටීනද, ප්‍රෝටීන කොටස්ද antigen-presenting cell වල ග්‍රහණයට හසුවේ. ස්පයික ප්‍රෝටීන antigen-presenting cell හි පෘෂ්ටයේ රුඳී තිබේ. මේ පෘෂ්ඨ ගත ස්පයික ප්‍රෝටීන helper T cells මගින් සොයාගනු ලැබේ. helper T cells අන් ප්‍රතිශක්තිකරණ සෛල යොදාගනිමින් ප්‍රතිශක්තිය නිපදවීමට කටයුතු කරයි. (රූපය 4)

අනෙක් ප්‍රතිශක්ති සෛල වන B සෛල එන්නත් කළ සෛල මත ඇති හෝ නිදහස් පාවෙන ස්පයික ප්‍රෝටීන මතට සවි වේ. මේ සවි වූ B සෛල helper T සෛල මගින් සක්‍රීය වූ විට ඒවා ගුණනය වී ප්‍රතිදේහ නිපද වේ. (රූපය 5)

මේ ප්‍රතිදේහ කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් කොරෝනා වෛරස ස්පයික හා අගුලු ලා ගනිමින් වෛරසය විනාශ කිරීම සඳහා සටහන් කර ගනියි. එසේම කොරෝනා වෛරසයේ ස්පයික ප්‍රෝටීන වෙනත් සිරුරේ සෛලවලට සවිවීම වළකා වෛරසයෙන් ආසාධනය වීම වලක්වාලයි. (රූපය 6)

 වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ 

(නිල්මිණි පියතිලක, තුෂාන්ති විජේසිංහ : රෑප සටහන් : New York Times )