වියපත් වීම හා රෝගී වීම ස්වභාවික ක්‍රියාදාමයක් යන හැඟීමෙන් කාලයට ඉඩදී ජීවත්වීම බොහෝ දෙනෙකුගේ ක්‍රමයයි. වියපත්වීමට හා රෝගී වීමට බලපාන හේතු හඳුනාගෙන එම හේතු මැඩලීම මගින් සුවපත් හා සවිමත් ජීවිත ගතකිරීමට ක්‍රියාත්මක වන පිරිසක්ද සිටිති. මිනිසාට වැළඳෙන බෝවන රෝග මෙන්ම බහුතරයක් බෝ නොවන රෝග වළක්වා ගැනීමේ හැකියාව අප සතුව පවතී.
බෝ නොවන රෝග සමග හා වියපත් වීම සමග දැඩි සබැඳියාවක් පවතින මෙටබොලික් සින්ඩ්‍රෝමය (Metablic Syndrom) නැමැති විශේෂිත රෝගී තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. සින්ඩ්‍රෝමය යන පදය භාවිත කරනු ලබන්නේ විශේෂිත වූ රෝග ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් එකවර ඇතිවීමෙන් හටගනු ලබන රෝගී තත්ත්වයන් විස්තර කිරීමටයි. කිරීටක ධමනි ආශ්රිත හදවත් රෝග, දියවැඩියාව, අංශභාගය, පිළිකා රෝග, මානසික රෝග හා හෝර්මෝන ආශ්රිත රෝග ආදී නිදන්ගත රෝග ඔබ තුළ ජනිත කිරීමට හේතු පාදක වන අවදානම් සාධක කිහිපයක එකතුවෙන් පරිවෘත්තීය සහ ලක්ෂණය නොහොත් මෙටබොලික් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වයි. ප්‍රමාණය ඉක්මවූ ආහාර පරිභෝජනය හා අක්‍රිය ජීවන රටාව සමග මෙම සින්ඩ්‍රෝමය දැඩි ලෙස බද්ධ වී ඇත. මෙටබොලික් සින්ඩ්‍රෝමය පවතින බවට රෝග විනිශ්චය සිදුකිරීමට ඔබ තුළ පහත දැක්වෙන සාධක තුනක් හෝ වැඩි ගණනක් එකවර ඇතිවී තිබිය යුතුය.
01. ඉඟටියේ වටප්රමාණය (Waist Circumference) ඉහළ අගයක් ගැනීම. එනම් පුරුෂයකුගේ නම් සෙන්ටිමීටර් 94ට වැඩිවීම හා කාන්තාවකගේ නම් සෙන්ටිමීටර් 80කට වඩා වැඩිවීම. මැනුම් ටේප් පටිය ඉඟටිය ප්‍රදේශයෙන් උදරය වටා යැවිය යුතු අතර සාමාන්‍ය ප්‍රශ්වාස අවස්ථාවේදී සෙන්ටිමීටර් වලින් මැනීම සිදුකරයි.
02. රුධිරයේ අඩංගු ට්රයිග්ලෙසරයිඩ් ලෙස හඳුන්වන මේද වර්ගය ඉහළ යාම. එනම් පැය 12ක් නිරාහාරව සිට පරීක්ෂා කළ විට 150 mgldl අගයට වඩා වැඩිවීම.
03. HDL කොලෙස්ටරෝල් නැතහොත් හොඳ කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනු ලබන ද්‍රව්‍යයේ රුධිර සාන්ද්‍රණය පහළ මට්ටමක පැවතීම. එනම් පැය 12ක් නිරාහාරව සිට පරික්ෂා කළ විට පුරුෂයකුගේ නම් 40 Mgldl අගයට හා කාන්තාවකගේ නම් 50 mgldl අගයට වඩා අඩුවීම. ලිපිඩ් ප්‍රොෆයිල් ලෙස හඳුන්වන රුධිර පරීක්ෂාවෙන් ලැබෙන වාර්තාව තුළ 14DL හා ට්රයිග්ලෙසරයිඩ් අගය සඳහන් කොට තිබේ.
04. රුධිර පීඩනය ඉහළ යාම. එනම් රසදිය මිලිමීටර් 130/80 අගය හෝ ඊට වඩා වැඩි අගයක් පෙන්නුම් කිරීම. ඕනෑම වයසක කෙනෙක් සඳහා අදාළ අගය මෙම අගය ලෙස සලකනු ලැබේ.
05. ඉන්සියුලින් ප්‍රතිරෝධය පැවතීම හෝ පැය 10ක් නිරාහාරව පරීක්ෂා කරන ලද රුධිරයේ ග්ලුකෝස් ආවරණය 100 mgldl අගය හෝ ඊට වඩා වැඩි වීම හෝ දියවැඩියා රෝගී තත්ත්වය පැවතීම.
මීට අමතරව මෙටබොලික් සින්ඩ්‍රෝමය ඇති අය තුළ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාවය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. තවද සමස්ත සිරුරම වෙලාගනු ලබන දිගුකල් පවතින මන්දගාමී ලෙස ක්‍රියාත්මක වන ඉග්නලමේෂන් තත්ත්වයක්ද පවතී. ස්ථුල බව, අක්‍රිය ජීවන රටාව හා ඉන්සියුලින් ප්රතිරෝධයට අමතරව ජානවල බලපෑම හා වියපත් වීමේ ක්‍රියාවලිය මෙම සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම් සාධක ලෙස පවතී. ඔබගේ ඉඟටියේ වටප්රමාණය අවදානම් අගයට (පිරිමි 94cm හා කාන්තා 80cm) වඩා වැඩිනම් පවුලේ වෛද්‍යවරයා හමුවී රුධිර පීඩනය මැනගත යුතු අතර නිරාහාර ග්ලූකෝස් පරීක්ෂාව හා ලිපිඩ ප්‍රොෆයිල් පරීක්ෂාව සිදුකරවා ගත යුතුයි. මතු දැක්වූ කරුණුවලින් 3ක් හෝ වැඩි ගණනක් ඔබ තුළ තිබේ නම් ඔබ මෙම සින්ඩ්‍රෝමයට ගොදුරු වී ඇත. කාබොහයිඩ්රේට් හා තෙල් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීම, එළවළු හා පළතුරු ප්රමුඛ කෙඳි බහුල ආහාර පරිභෝජනය වැඩිකිරීම, කඩින් කඩ නිරාහාරව සිටීමේ උපවාස ක්‍රමවේදයක් අනුගමනය කිරීම, අවම වශයෙන් සතියකට විනාඩි 150ක්වත් ස්වායුක ව්‍යායාමවල නියැලීම, මානසික ආතතිය පාලනය කිරීම හා ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලබාගැනීම ආදිය ජීවන රටාව තුළ අනිවාර්යයෙන් සිදුකළ යුතු වෙනස්කම් වේ. වෛද්‍ය නිර්දේශ අනුව සුදුසු ඖෂධ ලබාගැනීමද සිදුකළ යුතුය. ඖෂධ ලබාදීමේ අරමුණ වනුයේ දරුණු හදවත් රෝග ඇතිවීම වැළැක්වීම, දියවැඩියාව ඇතිවීමට ඇති ඉඩකඩ ඇහිරීමා, දියවැඩියාව තිබේ නම් සංකූලතා ඇතිවීම වැළැක්වීම හා අංශභාග රෝගය ඇතිවීම වැළැක්වීමයි.
මා විසින් රචිත &තාරුණ්‍යයේ මහිම රුගෙන වයසට යන රන් මාවත* කෘතියෙන් උපුටාගත් ඉහත රෑප සටහන මගින් මෙටබොලික් සින්ඩ්‍රෝමය හේතුවෙන් ඇතිවන බරපතල සෞඛ්‍ය ව්‍යසනයන් පෙන්වා දී තිබේ. වයස අවුරුදු 30 ඉක්මවූ බොහෝ දෙනෙකු ඉදිරියට නෙරා ඇති උදරයකට හිමිකම් කියන නිසා මෙටබොලික් සින්ඩ්‍රෝමය සමාජය තුළ ඉතාම සුලභ තත්ත්වයක් වී ඇති බව මගේ අදහසයි. සෞඛ්‍යමත් ආහාර පරිභෝජන රටාවක් ඇතිකර ගැනීම හා ව්‍යායාම සඳහා කාලය වෙන්කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම ඔබගේ දෛවය ඔබට රිසි ලෙස වෙනස් කර ගැනීමට තුඩුදෙන ප්‍රබල තීන්දුවකි. බෙහෙත් පෙති මතින් යන දිවි ගමනට වඩා සෞඛ්‍යමත් ජීවන රටාවක් ඔස්සේ යන දිවිගමන වඩාත් තිරසාර වන අතර වඩාත් ලාභදායී හා ඵලදායී වේ.