රෝග පිළිබඳ දැනුම ලබාදීම මෙම ලිපි පෙළේ අරමුණක් නොවුවද දියවැඩියාව හා ආශ්රිත තත්ත්වයන් අකලට මහලු වීම හා වියපත් වීම ආශ්රිත ගැටලු සමග ඉතා දැඩි සම්බන්ධතාවයක් පවතින බැවින් දියවැඩියාව පිළිබඳ අදාල කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අදහස් කළෙමි. කරුණු ඉදිරිපත් කිරීමේ හා ප්‍රායෝගික භාවිතයේ පහසුව උදෙසා දියවැඩියා රෝගය අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරනු ලැබේ.
1. පූර්ව දියවැඩියා අවදිය
පරම්පරාව තුළ දියවැඩියා රෝගය පැවතීම, ජාන ක්‍රියාකාරීත්වය, අක්‍රිය ජීවන රටාව, ස්ථුලභාවය, අනවශ්‍ය හා අධික කාබෝහයිඩ්රේට් පරිභෝජනය, දියවැඩියා කාරක ඖෂධ භාවිතය හා වියපත් වීමේ ක්‍රියාවලිය දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම් සාධක වේ. ඔබගේ වයස අවුරුදු 40 ඉක්මවා ඇත්නම් දියවැඩියා රෝගය ඇතිවේද යන්න පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් වේ. පැය 10-12 නිරාහාර රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය 100mgldl – 126mgldl අතර පවතී නම් ඔබ පූර්ව දියවැඩියා තත්ත්වයේ සිටින කෙනෙකි. ඔබ තුළ පූර්ව දියවැඩියා තත්ත්වය පවතින්නේ නම් අනාගතයේදී දියවැඩියා රෝගියකු බවට පරිවර්තනය වීමේ අවදානම ඉතා වැඩිවේ.
2. දියවැඩියා රෝගය ඇතිවූ අවදිය
ඔබගේ නිරාහාර රුධිර ග්ලූකෝස් සාන්ද්‍රණය 126mgldl ට හෝ එම අගයට වැඩිනම් හෝ OGTT ලෙස හඳුන්වන පරීක්ෂණයේ පැය දෙකක් ගතවූ විට අගය 200mgldl අගය හෝ ඊට වැඩිනම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. ඔබගේ රුධිරය තුළ නිරන්තර ඉහළ ග්ලූකෝස් සාන්ද්‍රණයක් මෙන්ම ඉහළ ඉන්සියුලීන් සාන්ද්‍රණයක්ද පවතී. ඉන්සියුලින් ක්රියාකාරීත්වයේ ඇති දුර්වලතාවය නිසා කාබෝහයිඩ්රේට් හා මේද පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අර්බුදයට ලක්වී ඇත. කාලානුරෑපිත වයසට වඩා වැඩි වේගයකින් සිරුර වියපත්වීම, භයානක ප්‍රතිඵල ඇතිකරන සංකූලතා හා නිධන්ගත රෝග ඇතිවීම, කායික මානසික බෙලහීනතාවය ඇතිවීම, සමස්ථයක් ලෙස ජීවිතයේ ගුණාත්මක බව පිරිහීම හා ආයුෂ අඩුවිම අනාගතයේදී ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග අතර තිබේ. සංකූලතා ඇතිවීම පාලනය හා කල්දැමීම දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාදීමේ මූලික අරමුණයි. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය වීම පිළිබඳ තක්සේරු කිරීමට නිරාහාර රුධිර සීනි පරීක්ෂාව සුලභව භාවිතා කරනු ලබන පරීක්ෂාව වුවත්, වඩාත් නිවැරදි තක්සේරුවක් ලබාගත හැකිවනුයේ HBA1C නැමැති පරීක්ෂණය සිදු කිරීමෙනි. මෙම පරීක්ෂණය මගින් පසුගිය මාස තුනක කාලසීමාව තුළ සමස්ථයක් ලෙස රුධිරයේ පැවති ග්ලූකෝස් සාන්ද්‍රණය නිරෑපණය කරයි. HBA1C පරීක්ෂණයේ ප්‍රතිඵලය 6.5% අගයට වඩා අඩුවෙන් තබාගැනීම වඩාත් සාර්ථකව රුධිරයේ සීනි පාලනය කිරීමට තබාගත හැකි ඉලක්කයයි.
3. සංකූලතා සහිත දියවැඩියා රෝගී අවදිය
දියවැඩියා රෝගය ඇතිවී කාලයක් ගතවන විට රෝගය ආශ්රිත සංකූලතා ඇතිවීම ආරම්භ වේ. රුධිරයේ සීනි සාන්ද්‍රණය නිසි ලෙස පාලනය නොවීම හා රෝගය වැළඳීමට හේතු වූ සාධක දිගින් දිගටම සිරුර තුළ ක්‍රියාත්මක වීම සංකූලතා ඇතිවීමට හේතු පාදක වේ. රුධිරයේ ඉහළ ග්ලූකෝස් ප්‍රමාණයක් පැවතීම නිසා රුධිරවාහිනීවලට හානි ඇතිවේ. රුධිර වාහිනී බිත්ති නිර්මාණය වී ඇති කොලැජන් තන්තු ග්ලූකෝස් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා රුධිරවාහිනී බිත්ති දැඩි බවට පත්වේ. රුධිර වාහිනී බිත්ති දෘඪ වීමේ ක්‍රියාවලිය නිසා කුඩා රුධිර වාහිනීවල රුධිර සැපයීමේ හැකියාව දුර්වල වේ. වකුගඩු අකර්මණ්‍ය වීම, ස්නායු අකර්මණ්‍ය වීම හා ඇසේ දෘෂ්ඨිවිතානයට හානි ඇතිවීම රුධිර වාහිනී ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් හේතුවෙන් නිර්මාණය වන ප්‍රධාන සංකූලතා වේ. දියවැඩියා රෝගය වැළඳී ඇතිවිට කිරීටක ධමනි අවහිරවීම නිසා ඇතිවන හෘද අකර්මණ්‍යතාවය හා අංශභාග රෝගය ඇතිවීමේ හැකියාව වැඩිවේ. බෝවන රෝගවලට පහසුවෙන් ගොදුරුවීම, සිරුර තුළ අක්‍රියව තිබෙන විෂබීජ ක්‍රියාත්මක වීම (උදා: ක්ෂය රෝගය, අංශ පැපොල) ඇසේ සුද ඇතිවීම, මානසික රෝග ඇතිවීම, මාංශ පේශි වැහැරී යාම, ලිංගික බෙලහීනතාවය ඇතිවීම, පාද අහිමිවීම නිසා ආබාධිත වීම, අකාලයේ වියපත් වීම නිසා මහලු වියේ අකර්මණ්‍යතා කල්තියා ඇතිවීම දියවැඩියා රෝගය මගින් නිර්මාණය කරන අනෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න වේ. දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීමේදී සංකූලතා ඇතිවීම පිළිබඳ නිරන්තර අවධානය පවත්වා ගතයුතු අතර සංකූලතා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත් වේ.
දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීමේ පළමු පෙළ මැදිහත්වීම වන්නේ ආහාර පාලනය, ශරීරයේ බර කළමනාකරණය, ව්‍යායාම, ප්‍රමාණවත් රාත්‍රී නින්ද හා ආතතිය පාලනය කිරීමයි. මෙම ප්‍රවේශය මගින් රුධිරයේ සීනි පාලනය නොවන විට ඉන්සියුලින් සංවේදීතාවය වැඩිකරන, බර කළමනාකරණයට උපකාර වන, කැලරි සීමා කිරීමේ තත්ත්ව සිරුර තුල නිර්මාණය කරන ෙමට්ෙෆා්මින් නැමැති ඖෂධය පළමු පෙළ බෙහෙත ලෙස භාවිතා කරයි. ඉන්සියුලින් ප්‍රතිරෝධය අභිබවා යාමට තරම් ප්‍රමාණවත් ඉන්සියුලින් ස්රාවය නොවන නිසා ඉන්සියුලින් ස්රාවය උත්තේජනය කරන ඔසු භාවිතා කිරීමට සිදුවේ. ඉන්සියුලීන් ප්‍රතිරෝධය අභිබවා යාමට ඉන්සියුලීන් නිපදවීමට දිගින් දිගට ක්‍රියාත්මක වීමෙන් අගන්‍යාශය අකර්මණ්‍ය වීමෙන් ඉන්සියුලින් නික්ෂේපණ ලබාදීමට සිදුවිය හැකිය. සංකූලතා වළක්වා ගැනිමේ ඖෂධ ලෙස ඇස්ප්‍රින් හා ACE ග්රාහක නිෙෂ්දක ඔසු භාවිතා කරනු ලැබේ. ක්‍රොමියම්, මැග්නීසියම්, විටමින් B3, B6 හා C අඩංගු ද්‍රව්‍ය, ඇල්ෆා ලිෆෙලොයින් අම්ලය අඩංගු ද්‍රව්‍ය භාවිතය රුධිරයේ සිනි පාලනයට හා සංකූලතා ඇතිවීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වේ. කෙඳි සහිත ආහාර සෑම වේලකටම එක්කර ගැනීමෙන් අන්ත්‍රයෙන් ග්ලූකෝස් අවශෝෂණය වීම පාලනය වී ක්ෂණිකව රුධිර සාන්ද්‍රණය ඉහළ යාම වළකී. ඔෙම්ගා 6 හා ඔෙම්ගා 3 මේද අම්ල 4:1 අනුපාතයට ලැබෙන ලෙස ආහාර හා ආහාර අතිරේක භාවිතා කිරීම රෝගය පාලනයට හා සංකූලතා වැළැක්වීමට උපකාරී වේ.