තවත් කොරෝනා වසංගතයක් අත ළඟ බවට අනතුරු ඇඟවීමක් පසුගියදා නිකුත් විය. ඒ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි පිහිටි ආපදා සහ අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් වෙතිනි. ඉතිහාසය විසින් නියම කරන ලද නව කිරීටක වයිරසයක් අනාගතයේදී තවත් ලෝක සෞඛ්‍ය අර්බුදයක් ඇති කරන්නට හැකි බව ඔහු පෙන්වා දී ඇත.
ඉතිහාසය දෙස බැලුවහොත්, වාර්තාගත මානව ඉතිහාසය පුරාවටම විවිධ වසංගත රෝග විද්‍යමාන වී ඇත. ඒ අතර කිරීටක හෙවත් කොරොනා රෝග මෑත කාලයේ දැඩි බලපෑමක් කර තිබේ. මේ වනවිට මිනිසුන්ට ආසාදනය වන කොරෝනා වෛරස් 7ක් සොයාගෙන ඇත. මෙයට SARS සහ MERS - Middle East respiratory syndrome Coronavirus, ද ඇතුළත් වේ, මේ දෙකම 21 වන සියවසේ සැලකිය යුතු බරපතළ වසංගත බවට පත්ව තිබේ. මේ අන්දමේ තවත් වසංගතයක් පැමිණිම 'නොවැළැක්විය හැකි' බව වෛද්‍ය විශේෂඥයන් බ්‍රිතාන්‍යයේ පැවැති කොවිඩ් පරීක්ෂණ කමිටුවකදී අනතුරු අඟවා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙබඳු වසංගතයක් පාලනයට හෝ වැළැක්වීමට හෝ තරම් සුදුසු පියවර තවම ගෙන නැති බවය.
බ්‍රිතාන්‍ය රජය කොවිඩ් ඇතුළු වසංගතවලින් මහජනතාව ආරක්ෂා කරන්නට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු සොයා බැලූ මේ කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් කළ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පෙන්වා දුන්නේ රජය එය වැළැක්වීමට පියවර ගෙන ඇති බවක් නොපෙනෙන බවය. නැතහොත් ඔවුන් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නැති බවය. එක්සත් රාජධානිය 'ව්‍යසනකාරී හදිසි අවස්ථා හැසිරවීමට හැකි වඩා හොඳ තැනක' නොසිටින බව ඔහු මේ මගින් පෙන්වා දී ඇත.
එක්සත් රාජධානියේ රජය වසංගතය හසුරුවන ආකාරය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී තිබුණි. ඒ අනුව මේ ගැන පරීක්ෂාවට කමිටුවක් අගමැති ජොන්සන් විසින් පත්කරන්නට යෙදුණි. මහාචාර්යවරයා නව වසංගතයක් ගැන අනතුරු ඇඟවූයේ මේ පරීක්ෂක මඩුල්ල ඉදිරියේදීය.
I සුගත් පී. කුලතුංගආරච්චි