2023 ජුලි 01 වන සෙනසුරාදා

ඩෙංගු මර්දනයට මෙහෙයුම් රටපුරා!

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

මේ වනවිට මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම ඉහළ ගොස්  තිබේ. සාමාන්‍යයෙන් ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මේ වනවිට රටපුරා ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී.

වසරේ මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 48246ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 10626 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 10316ක් වාර්තා වී තිබුණි. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩපිළිවෙළ දීර්ඝකාලීනව ක්‍රියාත්ම කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ක්‍රියාකාරීන් පෙන්වා දේ. මේ අතර ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමේ නව පද්ධතියක් පසුගියදා  එළිදක්වන්නට යෙදුණි. ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකය  මගිනි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවයි.

ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා  ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැක. ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකිය. මේ වනවිට වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15ට වැඩි පිරිසය. මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඩෙංගු රෝගය යනු වෛරසයකි. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළඳිය හැකිය. ඩෙංගු උණ රෝගයේදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝදුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් (විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්) නිරීක්ෂණය කළ හැකිය.

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්‍ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛ්‍යාවක් රෝගීහට මෙම තත්ත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවානම් උණ සහිත අවධිය (මෙම අවධියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක්ද), අවදානම් අවධිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවාත් සමගය) මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනාගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්ත්වයට පවා පත් විය හැක. සුවවන අවධිය, දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑමරුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝවිට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩි වශයෙන් පහවීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැකිය.

රෝගය වැළැක්වීමේ ලා ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසුදු කිරීම ඉතා වැදගත්වේ. පිරිසුදු ජලය ඒකරාශී වන ස්ථානවල බොහෝ විට ‍ඩෙංගු මදුරුවා රුඳී සිටියි. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙයි. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමුකර ඒවා ඉවත් කිරීමට කටයුතු කිරිම ජනතාවගේ යුතුකමක් බව අසෟඛ්‍ය අංශ අවධාරණය කරයි. මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගැනීමද ඉතා වැදගත්ය. ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩක් ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකිය. මදුරු විකර්ෂණ ආලේප භාවිතයද සුදුසුය.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබේ. ‍ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් මේ වනවිට  ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ඇරුඹී තිබේ.  

සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයකි. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතුය. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යව තිබේ.

ඩෙංගු රෝගය වැළඳුණු අය වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතුය. විවේක ගැනීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව වැඩිය. උණ ‍සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුයි. කිසිම උණ රෝගියකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබේ. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන්ම පාලනය නොවෙන්නට ද හැකි නමුත් එවැනි අවස්ථාවන්ට රෝගීන් බිය විය යුතුව නැත. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්නට හැකි අතර තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිතා කිරීම ඉතා වැදගත්ය.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00