දුම්පානය හේතුවෙන් නූපන් දරුවාගේ අක්මාවටත් හානි සිදුවන බව පියවි කළල සෛල යොදාගෙන සිදුකළ නවතම පර්යේෂණ තහවුරු වී තිබේ.
රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක පවතින අතර ඒවා මව්කුස සිටින දරුවාගේ අක්මාවේ වර්ධනයට හානි පමුණුවන බව මේ අනුව විද්‍යාඥයන් තහවුරු කර ඇත. සාමාන්‍යයෙන් සිගරැට්ටුවක් තුළ මිනිස් සිරුරට හානිකර සහ පිළිකාකාරක සහිත විෂ රසායන 7537 ක් පමණ මිශ්‍රණයක් ලෙස පවතින බව තහවුරු වී තිබේ. දුම්බොන මවකගේ හෝ අක්‍රිය දුම්පානයට ලක්වන මවකගේ කුස තුළ සිටින දරැවාටත් මෙහි බලපෑමක් තිබේ.
මව්වරුන් දුම්බීමේදී කුස තුළ සිටින දරුවාට ඉන් ඇතිවන බලපෑම සොයා බැලීම සඳහා ඉහත කී විද්‍යාඥයෝ කළල පියවි සෛල යොදාගත්හ.
මෙම පර්යේෂණ මෙහෙයවනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ එඩින්බරා විශ්වවිද්‍යාලය විසිනි.
මෙහිදී හෙළිදරව් වී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දුම්වැටියක ඇති රසායනික මිශ්‍රණයේ බලපෑම කළලයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන බවය.
එමෙන්ම දුම්වැටියක ඇති රසායන ද්‍රව්‍ය වෙන වෙනම ගත් කළ ඉන් ඇතිවන හානියට වඩා වැඩි හානියක් එම රසායන ද්‍රව්‍ය එකට මිශ්‍ර වූ දුම ශරීරගත වීමෙන් කළලයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කළලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යනයෙන් අවස්ථාව ලැබී තිබේ.
එම රසායන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් කළලයට ඇතිවන හානිය දරුවාට දීර්ඝකාලීනව බලපානු ඇති බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.