මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති Nipah වෛරසය මූලිකව වවුලන්ගෙන් බෝවන, zoonotic වෛරසයකි. මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට මාරාන්තික දැඩි වෛරස් ආසාදනයක් ඇති කරන එය ඉහළ මරණ අනුපාතයක් සහිත රෝගයකි. ඊසානදිග අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ මෙම Nipah වෛරසය නිසා ජීවිත ගණනාවක් මේ වනවිට අහිමිව තිබේ. අසල්වැසි ඉන්දියාවේ මේ රෝගීන් ගණනාවක් වාර්තාවීමත් සමඟ මේ වනවිට නිපා ගැන ලොවපුරා දැඩි අවධානයක් යොමුව තිබේ.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, Nipah වෛරසය පුද්ගලයන් හය දෙනකුට ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර ඔවුන්ගෙන් දෙදනෙකු මියගොස් ඇත. එය අගෝස්තු අගදී මතු වූ දා සිට සෞඛ්‍ය සේවකයන් ඇතුළු 700කට වැඩි පිරිසක් ආසාදනය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ. ප්‍රාන්ත බලධාරීන් සමහර පාසල්, කාර්යාල සහ පොදු ප්‍රවාහන ජාලද වසා දමන්නට ක්‍රියාකර ඇත.
Nipah, වසර පහක් තුළ කේරළයට බලපෑ සිව්වැනි අවස්ථාවයි මේ. වඩාත් මෑතකාලීනම අවස්ථාව 2021 දීය. එවැනි පැතිර යාම් සාපේක්ෂව සාමාන්‍යයෙන් කුඩා භූගෝලීය ප්‍රදේශයකට බලපාන බව පෙනී යන නමුත් ඒවා මාරාන්තික විය හැකිය. මේ අන්දමට නිතර නිතර මිනිසුන් අතර රෝගය පැතිරීම එහි දරුණු බව වැඩිවීමට හේතුවිය හැකි බවයි. මේ අනුව වෛරසය වඩාත් බෝ වීමේ හැකියාව වර්ධනය වේ. Nipah වෛරසයට 40% සහ 75% අතර මරණ අනුපාතයක් ඇති බව ඩකාහි බංග්ලාදේශයේ පාචන රෝග
පර් යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වවුලන්ගෙන් බෝවන රෝග කාරක පිළිබඳ විශේෂඥ පශු වෛද්‍යවරයෙකු වන රාජීබ් ඉස්ලාම් පවසයි. &සෑම පැතිර යාමක්ම රෝග කාරකයට තමාවම වෙනස් කර ගැනීමට අවස්ථාවක් ලබාදෙයි.*
මෙම රෝගය ලංකාව තුළ මෙතෙක් වාර්තා වී නැති අතර පැතිරීමේ අවස්ථා වැළැක්වීමට සහ රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය උපකරණ පවා ගෙන්වා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කළද වඩාත් අරපරෙස්සම් වීම වැදගත් බවද ඔවුහු අවධාරණය කරති. කොරෝනා සමයේදී අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීමෙන් මේ රෝගයට ගොදුරු වීමෙන් වැළැකීමට හැකි අතර වවුලන් වැනි සතුන් කට ගැසූ පළතුරු වර්ග ආහාරයට ගැනීමෙන් වැළැකීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ඔවුන් පෙන්වා දෙයි.
Nipah වෛරසය මුලින්ම අනාවරණය වූයේ දශක දෙකකට වැඩි කාලයකට පෙර මැලේසියාවේ ඌරු ගොවීන් අතර පැතිර යාමෙන් අනතුරුවය. මාස කිහිපයක් ඇතුළත එය ආසාදිත ඌරන් හරහා සිංගප්පූරුවටද පැතිර ගියේය. එම පැතිර යාමෙන් රෝගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 100කට වඩා වාර්තා විය. එතැනින් පසු මැලේසියාවේ නිපා වෛරස පැතිර ගිය බවක් වාර්තා වී නොමැත. නමුත් 2001දී, බංගලාදේශයේ සහ ඉන්දියාවේ වෛරසය මතු වූ අතර, වරින්වර රෝගය පැතිර යාම දිගටම පවතී. බංගලිදේශයේ, සෑම වසරකම පාහේ පැතිරීම් සිදුවන අතර, අධ්‍යයනයන් මගින් වවුලන්ගේ මුත්‍රාවලින් දූෂිත වූ පැසුණු රට ඉඳි යුෂ පානය කිරීම මේ ආසාදනයට හේතුව ලෙස සම්බන්ධ කර ඇත. වර්තමාන කේරළයේ පැතිරීමේදී වෛරසය වවුලන්ගෙන් මිනිසුන්ට ඇතුළු වූයේ කවදාද සහ කෙසේද යන්න හරියටම පැහැදිලි නැති, අතර විද්‍යාඥයන් ඒ ගැන විමර්ශනය සිදු කෙරෙමින් පවතී.
මේ වනවිට ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංසරණය වන වෛරස ප්‍රභේදය මැලේසියාවේ මතු වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ ස්ටීවන් ලුබි පවසයි. මැලේසියාවේ ප්‍රභේදය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යාම සිදුවූ නමුත් මිනිසුන් අතර සම්ප්‍රේෂණය අඩු විය. නමුත් කේරළයේ නවතම රෝගයට හේතුවූ වෛරස අනුවාදය පහසුවෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි අතර ඒ නිසාම එය වඩා මාරාන්තික වූවකි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාගතයේ දැඩිව වසංගත ලෙස පැතිර යා හැකි රෝග ගණනාවක් නම් කර ඇති අතර එයින් වැඩිම පැතිරීමේ සහ මරණ ඇති කිරීමේ හැකියාවක් ඇති රෝගකාරක වෛරසයක් ලෙස නිපා දක්වා ඇත. දැන් මැනැවින්ම හඳුනාගන ඇති පරිදි නිපා මිනිසුන්ට ආසාදනය වූ පසු වෙනත් පුද්ගලයන්ටද සම්ප්‍රේෂණය විය හැකිය. බංග්ලාදේශයේ Nipah වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ මිනිසුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම සිදුවන්නේ රෝගීන්ගේ මුත්‍රා, රුධිරය සහ සෙම් සොටු ඛේට ස්‍රාව හෝ ශ්වසන ජල බිඳිති වැනි ඔවුන්ගේ සිරුරේ ස්‍රාවයන් සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමෙනි.
Nipah වෛරසය (NiV) මිනිසුන් තුළට පැතිර යා හැක්කේ වවුලන් හෝ ඌරන් වැනි ආසාදිත සතුන් මගිනි. ඔවුන්ගේ ශරීර තරල (රුධිරය, මුත්‍රා හෝ කෙළ වැනි) හෝ එම ආසාදිත සතුන්ගේ ශරීර තරලවලින් දූෂිත වූ (ආසාදිත වවුලෙකු විසින් දූෂිත තල් යුෂ හෝ පළතුරු වැනි) ආහාර නිෂ්පාදන පරිභෝජනය කිරීම මගින් මේ වෛරසය මිනිසාට ඇතුළු විය හැකිය.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෑතදී අනාවරණය වූ නිපා වෛරසය මගින් ඇතිවූ රෝගයේ ලක්ෂණ අනුව එය වර්ග තුනකට වෙන්කර ඇත. එනම් රෝග ලක්ෂණ නොමැති ආසාදන, උග්‍ර ශ්වසන ආසාදන සහ මාරාන්තික එන්සෙෆලයිටිස් සහිත ආසාදන හැටියටය. නිපා ආසාදනය වූ කෙනෙකුට පොදුවේ මුලින්ම උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව වැනි සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ අත්විඳියි. ආසාදනය වී දින කිහිපයකට පසු, කරකැවිල්ල, නිදිබර ගතිය සහ ස්නායු ආබාධ වැනි වඩාත් දරුණු රෝග ලක්ෂණ ප්‍රකාශයට පත්වීම සිදු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආසාදිත පුද්ගලයන්ගෙන් සමහර අය ශ්වසන ගැටලු සහ අසාමාන්‍ය නියුමෝනියාවටද මුහුණ දෙන අතර, ඔවුන්ට එන්සෙෆලයිටිස් සහ අපස්මාරය වැනි තත්ත්ව පවා අත්විඳිය හැකි අතර එමඟින් අන්තිමේදී පුද්ගලයා කෝමා තත්ත්වයට පත්විය හැකිය. සාමාන්‍යයෙන් Nipah වෛරසය ආසාදනය වී දින 4ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවීමට පටන් ගනී. නමුත් සමහර අවස්ථාවල රෝග ලක්ෂණ පෙන්වීමට දින 45ක් පමණ ගතවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කිසියම් භූමි ප්‍රදේශයක Nipah වෛරසය පැතිර යාමක් සිදුවුවහොත්, මෙම පූර්වාරක්ෂාවන් ගත යුතුය. රෝගාතුර වූ ඌරන්ගෙන් සහ වවුලන්ගෙන් යමෙකු ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා ඔවුන් ස්පර්ෂ වීමට ඇති අවස්ථාවන්ගෙන් වැළකිය යුතුය. මෙම වෛරසය ව්‍යාප්ත වනවිට සබන් හා වතුර යොදා නිතර අත් සේදීම අනිවාර්ය වේ. කෙනෙකුට සනීපාරක්ෂක ද්‍රව්‍ය පවා භාවිතා කළ හැකිය.
වවුලෙකු හෝ ඌරෙකු හෝ ආසාදිත පුද්ගලයෙකු විසින් ස්පර්ශ කරන ලද ආහාර හෝ බීම අසලටවත් නොඑන්න. ආසාදිත පුද්ගලයන්ගෙන් නිසි සමාජ දුරස්ථභාවයක් ඇති කර ගන්න, ඔහු හෝ ඇය සිටින ස්ථානයේ වාඩිවීම හෝ නිදා නොගන්න. ආසාදිත පුද්ගලයකුගේ හෝ සතකුගේ රුධිරය හා ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතුය.
දැනට පැතිර ඇති මෙම වඩාත් බෝවන සුළු හැකියාවක් සහිත වෛරස ප්‍රභේදයට ප්‍රතිකාරයක් නොමැත. 1999 දී ප්‍රථමවරට අනාවරණය වූ සමයේ සිට මේ තරම් කාලයක් ගත වුවද එය සුව කිරීමට ඖෂධයක් තවම සකස් කර නොමැත. මෙය ආසාදනය වුවහොත් ඔහු හෝ ඇය මෙලොව හැරගොස් අන් අයටද ආසාදනය විය හැකි බැවින් සෑම පුද්ගලයකුම සියලු පූර්වාරක්ෂාවන් ප්‍රවේශමෙන් අනුගමනය කළ යුත්තේ එබැවිනි.
ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් රෝහලේ වෛරස් රෝග විශේෂඥවරියක් වන Danielle Anderson වැනි සමහර පර් ෙය්ෂකයන්ට අනුව ඉහළ මාරාන්තික හැකියාවක් තිබියදීත්, Nipah වෛරසය අනෙකුත් සතුන්ගෙන් බෝවන ආසාදන මෙන් මිනිසුන් අතර පහසුවෙන් පැතිරෙන්නේ නැත, ඒ නිසා එය දේශ සීමාවන්ගෙන් ඔබ්බට පැතිරීමේ සම්භාවිතාව අඩුය. එසේම මේරිලන්ඩ්හි බෙතෙස්ඩාහි යුනිෆෝම් සේවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ නැගී එන බෝවන රෝග පිළිබඳ විශේෂඥ ක්‍රිස්ටෝපර් බ්‍රෝඩර්ට අනුව මෙම වෛරසයේ ඉහළ මරණ අනුපාතය ජනගහනය හරහා වේගයෙන් ව්‍යාප්ත වීමට අඩු අවස්ථාවක් ලබාදෙන බව පවසයි.
I සුගත් පී. කුලතුංගආරච්චි