2024 ජුනි 08 වන සෙනසුරාදා

දියවැඩියා රෝගීන්ට චීනයෙන් එන හද සනසන ආරංචිය

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 470

චීන විද්‍යාඥයන් පිරිසක් දියවැඩියාවට සුවයක් ගෙන එන නව්‍ය සෛල ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබේ. මේ නව ප්‍රතිකාරයේ දී සීනි පාලනය කරන ඉන්සියුලින් සාදන සෛල කෘත්‍රිමව සාදා බද්ධ කිරීමෙන් සති එකොළහක් ඇතුළත රෝගීන් ඉන්සියුලින් ස්වාධීන වන බව සොයාගෙන තිබේ. 

සෙල් ඩිස්කවරි සඟරාවේ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළුණු 59 හැවිරිදි මිනිසකුට සිදු කළ සාර්ථක ප්‍රතිකාරය ගැන විස්තර කරයි. වසර 25 ක් තිස්සේ රෝගය සමඟ සටන් කරමින් දිනපතා ඉන්සියුලින් එන්නත් මත විශ්වාසය තැබූ මෙම රෝගියා 2021 ජූලි මාසයේදී නව්‍ය සෛල බද්ධ කිරීමකට භාජනය විය. මෙම සෛල බද්ධ ක්‍රියා පටිපාටියට මූලිකව අග්න්‍යාශයේ ඇති ඉන්සියුලින් නිපදවන අයිලට් සෛලවල රසායනාගාරයේ වැඩුණු අනුරෑ නිර්මාණය කිරීම ඇතුළත් විය. දෙවනුව ඒවා රෝගියාට බද්ධ කරනු ලැබේ.

සවුත් චයිනා මෝනිං පෝස්ට් හි වාර්තාවකට අනුව, මෙම නව ප්‍රතිකාරය කැපී පෙනෙන ලෙස සාර්ථක වී තිබේ. සති එකොළහක් ඇතුළත රෝගියාට බාහිර ඉන්සියුලින් ආධාරය අවශ්‍ය නොවීය. ඊළඟ අවුරුද්දේ, ඔහුගේ දියවැඩියාව ක්‍රමයෙන් අඩු වූ අතර අවසානයේ රුධිරයේ සීනි පාලනය සඳහා මුඛ ඖෂධ ගැනීම නතර කරන්නට ද හැකිව ඇත. පසු විපරම් පරීක්ෂණ මගින් රෝගියාගේ අග්න්‍යාශයේ අයිලට් සෛලවල යථා තත්ත්වයට පත් වූ ක්‍රියාකාරිත්වය තහවුරු කරන ලද අතර, ඔහුට ඉන්පසු මාස 33කට වැඩි කාලයක් ඖෂධ නොමැතිව දියවැඩියාව රහිතව සිටීමට හැකි විය.

මෙය තනි රෝගියකුගේ සිද්ධි අධ්‍යයනයක් වන නමුදු, ප්‍රවීණයෝ එය දියවැඩියාව සඳහා සෛලමය මට්ටමේ ප්‍රතිකාරයක සැලකිය යුතු ඉදිරි ගමනක් ලෙස සලකති. බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර් යේෂකයකු වන මහාචාර්ය තිමෝති කීෆර් එය හැඳින්වූයේ "ක්ෂේත්‍රයේ වැදගත් දියුණුවක්" ලෙසිනි. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය ප්‍රතිකාරයක් ලෙස බහුලව භාවිත කිරීමට පෙර එහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවත් මහා පරිමාණ පරීක්ෂණ අවශ්‍ය වී තිබේ. මෙම පුවත දියවැඩියා රෝගීන් මිලියන ගණනකට බලාපොරොත්තුවක් ගෙන එයි. මෙම සාර්ථක සෛල චිකිත්සක අත්හදා බැලීම රෝගයෙන් තොර අනාගතයකට මග පෑදිය හැකිය.

ලොව පුරා වැඩිම දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් සිටින රට චීනය වන අතර මිලියන 141 ක ජනතාවක් මෙම රෝගයෙන් පීඩා විඳිති. වසර 2045 වන විට චීනයේ දියවැඩියා රෝගීන් මිලියන 174 ක් පමණ සිටිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ (IDF) දත්ත අනාගත ගෝලීය දියවැඩියා තත්ත්වය පිළිබඳ භයානක චිත්‍රයක් පින්තාරු කරයි. ඒ අනුව, වයස අවුරුදු 20-79 අතර වැඩිහිටියන් මිලියන 537 කට දැනටමත් 2021 වන විට දියවැඩියාව වැළඳී ඇත. මෙම සංඛ්‍යාව 2030 වන විට මිලියන 643 දක්වාත්, 2045 වන විට මිලියන 783 දක්වාත් වර්ධනය වනු ඇතැයි එමගින් පුරෝකථනය කර ඇත. මෙය ගෝලීය වශයෙන් 2045 වන විට දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට පුරෝකථනය කර ඇති වැඩිහිටියන් 8 දෙනකුගෙන් 1 අයකුට ලෙස පරිවර්තනය වන අතර එය 46% ක වර්ධනයකි.

ඊටත් වඩා භයානක ආරංචිය වන්නේ මෙම දියවැඩියා රෝගීන් 4 දෙනකුගෙන් 3 දෙනකුම ජීවත් වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වීමය. මෙම සංඛ්‍යාලේඛන මගින් දියවැඩියා රෝගයේ වර්ධනය වන ගෝලීය අභියෝගය සහ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම කෙරෙහි අවධානය යොමුකිරීම බල කර සිටියි. එය ඵලදායී ලෙස වැළැක්වීමේ සහ නිසි කළමනාකරණය සඳහා වූ උපාය මාර්ගවල හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරයි. නව ප්‍රතිකාරය පිළිබඳ සතුටුදායක ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.  

I සුගත්