2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

වඳුරු උණ: වඩාත් දරුණු අලුත් ප්‍රභේදයක්!

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

වඳුරු උණ mpox වෛරසයේ, වඩාත් මාරාන්තික නව වික්‍රියාවක් (strain), අප්‍රිකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර ආසියාවේ සහ යුරෝපයේ ද දැන් වාර්තා වී ඇත. උගන්ඩාවෙන් mpox වෛරසයේ clade 1b නව මාදිලිය වැළඳුණු අවස්ථා දෙකක් අලුතෙන් වාර්තා වී තිබුණි. mpox “නව COVID පැතිරීමක් තරම්ම දරුණු නොවන” නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අගෝස්තු 14 දා වෛරසය “සැලකිය යුතු මට්ටමේ ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කළේය. මේ රෝගය මිනිසාගෙන් - මිනිසාට පැතිර යාම වළක්වා ගැනීම සඳහා දැන් WHO ප්‍රමුඛතාව දී තිබේ.

ඒ රට තුළ 2023 සිට වාර්තා වූ රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට හැකි අතර 2024 අගෝස්තු 22 වන විට, වෛරස් රෝගීන් 14,000 කට වඩා වාර්තා වී ඇත. මරණ 457 කි.

වත්මන් රෝග ව්‍යාප්තියට හේතු වන Mpox ප්‍රභේදය වඩාත් බරපතළ ප්‍රභේදයක් ලෙස විශ්වාස කරන අතර එය සමෙන් සමට ස්පර්ශ වීමෙන් පැතිර යා හැකි බව කියයි. Mpox 2022 සිට අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති අතර, මුලින් සොයාගනු ලැබුවේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළිනි. 2023 දී, එරට තුළින්ම Clad 1b ලෙස නව වික්‍රියාවක් සොයා ගන්නා ලදී. දැන් මේ පැතිර යන්නේ එයයි.

පසුගිය මාසය තුළ, මීට පෙර mpox වාර්තා නොවූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට අසල්වැසි රටවල් හතරකින් ක්ලේඩ් 1b කාණ්ඩයේ රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ඒ බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාවයි. ප්‍රවීණයන් විශ්වාස කරන්නේ සායනිකව අනුකූල අවස්ථා විශාල ප්‍රමාණයක් පරීක්ෂා කර නොමැති බැවින් සත්‍ය රෝගීන් සංඛ්‍යාව මෙයට වැඩි විය හැකි බවයි.

අප්‍රිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (අප්‍රිකා සීඩීසී) සහ කෙන්යාව, මොසැම්බික්, උගන්ඩාව සහ අයිවරිකෝස්ට් යන රටවල දත්තවලට අනුව, මෙම වසරේ ක්ලැඩ් 1, mpox ප්‍රභේදය පහත රටවල් 18න් අනාවරණය වී ඇත. එනම් බුරුන්ඩි, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඝානාව, අයිවරිකෝස්ට්, කෙන්යාව, ලයිබීරියාව, මොසැම්බික්, නයිජීරියාව, පකිස්ථානය, පිලිපීනය, කොංගෝ ජනරජය, රුවන්ඩාව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, තායිලන්තය සහ උගන්ඩාව තුළිනි.

වෛරසයේ පෙර තිබූ ක්ලේඩ් 2 ප්‍රභේදයේ වෙනස් මාදිලියක් ද මේ වන විට පැතිර යමින් පවතී. තවමත් එය අවදානම් මට්ටමක වුවද, පසුගිය මාසය වන විට රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් තුළින් එහි ආසාදනයන් ද වාර්තා වී ඇත. ක්ලේඩ් 2 මෘදු ආසාදන ඇති කරන බව විශ්වාස කරන අතර Clad 1 හි 3.9 ක් වන මරණ අනුපාතය හා සසඳන විට සියයට 0.2 ක අවදානමක් පෙන්වා තිබේ.

තායිලන්තයේ, බලධාරීන් විසින් Clad 1b සහිත ආසාදිතයකු බ්‍රහස්පතින්දා තහවුරු කරන ලදී. එය ආසියාවේ නව වික්‍රියාව හමුවූ පළමු අවස්ථාවයි.

66 හැවිරිදි යුරෝපීය පුරුෂයකු ලෙස හඳුනාගෙන ඇති ඔහු, ක්ලැඩ් 1 ප්‍රභේදයේ “විශාල” පැතිරීමක් දැනට අත්විඳින නම් නොකළ අප්‍රිකානු රටකින් පැමිණි බව වාර්තා වේ.

ඔහුට බරපතළ රෝග ලක්ෂණ නොමැති බව වාර්තා වන අතර ඔහු තායිලන්තය බලා යන අතරතුර මැදපෙරදිග රටක් හරහා සංක්‍රමණය වී ඇති බවට විශ්වාස කෙරේ.

පිලිපීනයේ, බලධාරීන් පැවසුවේ මෘදු ක්ලේඩ් 2 ප්‍රභේදය එහි මෑත කාලීන ආසාදිතයකු තුළින් තහවුරු වී ඇති බවයි. ඔහු සංචාරක ඉතිහාසයක් නොමැති 33 හැවිරිදි පිලිපීන පිරිමියෙකි.

ඒ අනුව ඔහු 2022 සිට රටේ තහවුරු කරන ලද 10 වැනි රෝගියා වන අතර බලධාරීන් විශ්වාස කරන්නේ mpox කාලයක් තිස්සේ රට තුළ නිහඬව පැතිර තිබෙන්නට ඇති බවයි.

ස්වීඩනය තුළින් වඩාත් බරපතළ Clad 1 ප්‍රභේදය වැළඳුණු mpox රෝගියකු අගෝස්තු 15 වැනි දින වාර්තා වී තිබේ. රෝග නිවාරණ සහ පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, යුරෝපය සහ අප්‍රිකාව අතර නිතර ගුවන් ගමන් සිදුවීම නිසා යුරෝපයේ ක්ලේඩ් 1 රෝගීන් මෙයට වඩා වැඩියෙන් වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

උතුරු හෝ දකුණු ඇමෙරිකාවේ කිසිදු රටක් තුළින් මෙතෙක් නව ක්ලේඩ් 1 රෝගීන් වාර්තා වී නොමැත. කෙසේ වෙතත් මේ රටවල් තුළ ද, පැතිර යා හැකි ක්ලේඩ් 1 සහ ක්ලේඩ් 2 රෝගී "අවදානමකට" සූදානම් විය යුතු බව පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානය අගෝස්තු 9 දා ප්‍රකාශ කළේය.

2022 සිට 2024 ජූලි දක්වා මරණ 141 ක් ද ඇතුළුව ක්ලැඩ් 2 වෛරස් රෝගීන් 62,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කලාපයෙන් වාර්තා වී ඇත. ඕෂනියාවේ හෝ මැදපෙරදිග තුළින් ක්ලේඩ් 1 හි තහවුරු වූ සිද්ධීන් තවම වාර්තා වී නොමැත.
Mpox සඳහා දිගු බීජෞෂණ කාලයක් ඇත. එයින් අදහස් වන්නේ එම වෛරසයට නිරාවරණය වීමෙන් පසු අසනීපයක් වර්ධනය වීමට දින තුනක් සිට 21 දක්වා ගත විය හැකි බවයි. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ මතුවීමට දින එක - හතරකට පෙර පුද්ගලයකුට රෝගය වෙනත් කෙනකුට සම්ප්‍රේෂණය කළ හැකිය. සමස්තයක් වශයෙන්, mpox ආසාදනය සති දෙකේ සිට හතර දක්වා පවතී. සාමාන්‍යයෙන් mpox නිසා ජීවිතයට තර්ජනයක් නොවන අතර, දරුණු ලෙස දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්, වසරකට අඩු ළමුන්, එක්සීමා වැනි දද සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් සහ ගර්භනීන් ඇතුළු සමහර පුද්ගලයන් මේ හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වීමට වැඩි ඉඩක් ඇත. සාමාන්‍යයෙන් ඉබේම ප්‍රතිශක්තිය හේතුවෙන් සුව වන නමුදු තදබල ප්‍රතිශක්ති හීනතා ඇති අය නිසි පිළියම් නොයෙදුවහොත් මරණය පවා සිදුවිය හැකිය.

• සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00