චීනයේ ඈත දුර ගම්මානයකින් “කැසි-කිවිසුම්” හඬක් නැගුණත් ලෝකයේම අවධානය දැන් ඒ දෙසට යොමු වන්නේය. මෙයට වසර 5 කට පෙර ඇරැඹි ලොව පුරා පැතිර ගිය COVID-19 වසංගතය පිළිබඳ අඳුරු මතකයත් සමඟය. ඒ වසංගතයේ ආරම්භයේ සිට 2024 නොවැම්බර් 10 වන විට රටවල් 234 ක COVID-19 රෝගීන් මිලියන 776.8 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ මිලියන 7 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාගතව තිබේ. මේ දරුණු පූර්ව මතකය හේතුවෙන් දැන් නැවතත් ලෝකයේ අවධානය යොමුව ඇත්තේ චීනය දෙසටය. ඒ තවත් වෛරස රෝගයක් පැතිරීම පිළිබඳ ආරංචියත් සමඟිනි. මේ වෛරසය HMPV නොහොත් Human Metapneumo Virus නමැති වෛරසයයි.
ඉන්දියාවේ බැංගලෝර් හි රෝහලකදී ඉකුත් සඳුදා වෛරස් රෝගීන් දෙදෙනකු තහවුරු වීමත්, අමතරව අහමදාබාද්, නාග්පූර් සහ තමිල්නාඩු ඇතුළු පළාත් කිහිපයකින් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 7 දක්වා වැඩිවීමත් සමඟ HMPV නොහොත් Human metapneumovirus පිළිබඳ ලෝක අවධානය දැන් වඩාත් වැඩි වී තිබේ. බැංගලෝර් හි මෙලෙස ආසාදනය තහවුරු වී ඇත්තේ මාස තුනක ගැහැනු ළමයකු සහ මාස අටක පිරිමි ළමයකුගෙනි. ජනවාරි මුල් සතියේ සිට චීනයේ උතුරු කලාපයේ රෝගය පැතිර යාම වැඩිවීමක් පිළිබඳ වාර්තා පළවීමෙන් පසු HMPV පිළිබඳ සැලකිල්ල ගෝලීය වශයෙන් වර්ධනය වීම ඇරැඹුණි. පසුව, HMPV රෝගීන්ගේ වැඩිවීමක් මැලේසියාවෙන් ද කාම්බෝජය සහ තායිවානය වැනි අසල්වැසි රටවල්වලින්ද වාර්තා විය. දැන් මෙය නුදුරු අනාගතයේදී සිදුවිය හැකි “සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” - "health emergency" පිළිබඳ භීතිය මතු කර ඇත.
මේ නව භීතිකාව සඳහා මුලපිරුවේ චීනයෙන් උපුටාගත් වීඩියෝවක් සහිතව සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය, COVID 19 වැඩිවීමට සමාන ‘ඉන්ෆ්ලුවෙන්සා A' සහ 'human metapneumovirus' පැතිරීමක් නිසා චීනයේ රෝහල් පිරී ගොස් ඇති බවට වූ වාර්තාවයි.
පසුව රෝග පාලන හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ නිලධාරියකු උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා උණ, රයිනෝ වෛරස්, HMPV සහ මයිකොප්ලාස්මා නියුමෝනියාව වැනි ආසාදන දැන් රෝහල් ආශ්රිත පරීක්ෂාවන්හිදී බහුලව දක්නට ලැබෙන බවය. ඒ වාර්තාව අනුව වයස අවුරුදු හතර සහ ඊට අඩු කුඩා දරුවන් අතර ශ්වසන පද්ධතිය හා සබැඳි වෛරස රෝග මෙන්ම “වයස අවුරුදු 14 සහ ඊට අඩු ළමුන් අතර මානව මෙටානියුමෝ වෛරස් HMPV අනුපාතය ඉහළ යමින් තිබෙන බව හෙළිදරව් විය.
ඉන් පසුව විවිධ රටවල් තුළින් වෛරස රෝගීන් ගැන මාධ්‍ය වාර්තා මතුව එන්නට විය.
නමුත් HMPV ඇත්තටම භයානකද? එහි රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුත්තේ කෙබඳු අවස්ථාවකද? වඩාත් අවදානමට ලක්ව ඇත්තේ කවුද? HMPV හෙවත් Human metapneumovirus ගැන විද්වතුන් පළ කළ අදහස් මෙසේය. මෙම වෛරසය Pneumoviridae, Metapneumovirus ගණයට අයත් වේ. HMPVයනු පිටත ප්‍රෝටීන ආවරණයකින් වැසුණු තනි න්‍යෂ්ටික අම්ල කෙඳිත්තක් සහිත සෘණ සංවේදී RNA වෛරසයකි.
කොවිඩ් 19 ට බොහෝදුරට සමාන රෝග ලක්ෂණ සහිත හෙවත් වෛරස් ආසාදනයක දී බහුලව දක්නට ලැබෙන සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි පොදු ශ්වසන රෝගී තත්ත්වයක් ඇති කිරීමට HMPV මූලිකව වගකිව යුතුය. සැබැවින්ම එහි රෝග ලක්ෂණ සෙසු මානව ශ්වසන සමමුහුර්ත වෛරස - respiratory syntactical virus, RSV නිසා ඇතිවන රෝග ලක්ෂණවලින් වෙන් කර හඳුනාගත නොහැකිය.
පොදුවේ HMPV වෛරසය ආසාදනය වූවන් කැස්ස, උණ, නාසික තදබදය සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණවලින් පීඩා විඳිය හැකිය. එක්සත් ජනපද රෝග පාලන මධ්‍යස්ථානයට අනුව, HMPV ආසාදනයේ සායනික රෝග ලක්ෂණ බ්රොන්කයිටිස් හෝ නියුමෝනියාව දක්වා වර්ධනය විය හැක.
වැඩිහිටියන්ගේ පොදු රෝග ලක්ෂණ අතරට ස්ථීර කැස්ස ඇතුළත් විය හැක. බොහෝ විට ශ්ලේෂ්මල නිෂ්පාදනය සමඟ නාසයේ තදබදය හෝ දියර පිරීගත් නාසය, මෘදු හෝ මධ්‍යස්ථ උණ, තෙහෙට්ටුව සහ ශරීරයේ වේදනාව මෙන්ම උගුරේ අමාරුව, දරුණු අවස්ථාවලදී හුස්ම හිරවීම දැකිය හැකිය.
දරුවන්ට දරුණු රෝග ලක්ෂණ අත්විඳීමට සිදුවීමට ඉඩ ඇති අතර, හුස්ම හිරවීම, හුස්ම හිරවීම සමඟ නොනැසී පවතින කැස්ස, අධික උණ සහ ළදරුවන් සම්බන්ධයෙන් දුර්වල පෝෂණය සහ විජලනය ඇතුළත් විය හැකිය.
HMPV නරක අතට හැරීම නිසා මතුවිය හැකි ආශ්රිත සංකූලතා අතරට නියුමෝනියාව, බ්රොන්කයිලයිටිස් හෝ නිදන්ගත බාධාකාරී පුප්පුසීය රෝග (COPD) හෝ බැක්ටීරියා නියුමෝනියාව සහ ඇදුම වැනි දරුණු තත්ත්ව ඇතුළත් වේ.
HMPV වෛරසය, විශේෂයෙන් කුඩා දරුවන්, දුර්වල ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය වැනි ඍජු අවදානමට ලක්විය හැකි ජනගහනය අතර සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
ඒ අනුව, HMPVවෛරසය ආසාදනය වූ අධි අවදානම් කණ්ඩායම් අත්විඳිය හැකි දේ මෙසේය.
කුඩා දරුවන්: ළදරුවන් සහ කුඩා දරුවන් බ්රොන්කයිලයිටිස් සහ නියුමෝනියාව වැනි බරපතළ ශ්වසන ආබාධිත තත්වයන්ට ගොදුරු වීම.
වැඩිහිටි: වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් මෙන්ම ඇදුම හෝ COPD වැනි නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන්ට සංකූලතා ඇතිවීමට වැඩි ඉඩක් ඇත.
ගර්භණී කාන්තාවන්: ගර්භණී සමයේදී HMPV මගින් තදබල ශ්වසන ගැටලු ඇතිවිය හැක. එමගින් මවගේ සහ දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් විය හැක.
ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්: දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වෛද්‍ය තත්වයන් හෝ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර හේතුවෙන් දරුණු රෝග ලක්ෂණ අත්විඳීමේ වැඩි අවදානමක් ඇත.
ඇදුම, නිදන්ගත බාධාකාරී පුප්පුසීය රෝග COPD හෝ එම්පිසීමාව වැනි පෙර සිට පවතින අහිතකර පෙනහළු රෝගී තත්වයන් ඇති අය දරුණු ප්‍රතිඵලවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇත. ඉහළ ආදායම් ලබන රටවල, වෛරසය කලාතුරකින් මාරාන්තික වේ. දුර්වල සෞඛ්‍ය පද්ධති සහ දුර්වල සෞඛ්‍ය තත්ත්ව නිරීක්ෂණ පද්ධතියක් සහිත අඩු ආදායම්ලාභී රටවල මරණ බහුලව දක්නට ලැබෙන බව වාර්තා වී තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා, HMPV යනු නව වෛරසයක් හෝ එය නිසා දැනට මතුව ඇත්තේ වසංගත තර්ජනයක් හෝ නොවන බව පවසයි. මහාචාර්ය ජීවන්දර පවසන්නේ 2001 දී හඳුනාගත් HMPV, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන හොඳින් ලේඛනගත වෛරසයක් බවයි. සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී මෙබඳු ශ්වසන ආසාදන බොහෝ බහුලව දක්නට ලැබෙන අතර එය අවදානම් තත්ත්වයක් ලෙස අනතුරු ඇඟවීමට හේතුවක් නොවන බව ඔහු පැවසීය.
රෝගියකුගෙන් පිටවන වෛරස මගින් දූෂීත සෙම් සොටු හෝ කෙළ බිඳිති මගින් හෝ ඒවා පතිත තැන් ස්පර්ශය මගින් සිදුවන HMPV ව්‍යාප්තිය ද අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය ලෙස නිතර අත් සේදීම සහ අසනීප වූ විට නිවසේ රැඳී සිටීම වැනි මූලික රෝග වැළැක්වීමේ පියවර අනුගමනය කළ යුතු බව මහාචාර්ය ජීවන්දර අවධාරණය කළේය. වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති අතර, බොහෝ ආසාදන අවස්ථා රෝග ලක්ෂණ සඳහා කෙරෙන මූලික ප්‍රතිකාර සමඟ සතියක් ඇතුළත විසඳිය හැකි බව ඔහු පැවසීය. රෝග ලක්ෂණ දරුණු නම් හෝ දැඩි වීමක් තිබේ නම් හෝ මිස පුළුල් සමාජගත වෛරස පරීක්ෂණ අවශ්‍ය නොවන බව ඔහු අවධාරණය කර සිටියි. එසේම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ නැගෙන අඬහැරය මිස මෙම ශ්වසන ආසාදන වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් චීන බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෝ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති බවය. ඒ නිසා මෙය බිය විය යුතු තත්ත්වයක් නොව පරෙස්සම් විය යුතු, ආරක්ෂාකාරී විය යුතු සෞඛ්‍ය තත්ත්වයක් ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
• සුගත් පී. කුලතුංග ආරච්චි