2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

යළි හිස ඔසවන චිකුන්ගුන්යා

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

මේ වනවිට චිකුන්ගුන්යා රෝගය වාර්තාවීම් යම් දුරකට ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන චිකුන්ගුන්යා ‘ඊඩ්ස්’ නම් මදුරුවාගෙන් බෝවීම සිදුවේ. මෙම වෛරසය පළමු වරට සොයාගනු ලැබුවේ 1953 වර්ෂයේදීය.

“චිකුන්ගුන්යා රෝගයේදී ඩෙංගු බෝකරන මදුරුවා වාහකයා ලෙසින් කටයුතු කරනවා. ‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් දෙවර්ගයම මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරනවා. චිකුන් ගුන්යා වැළඳුණු රෝගියකුට දෂ්ට කළ මදුරුවෙක් සාමාන්‍ය පුද්ගලයකුට දෂ්ට කළොත් එම රෝගය සාමාන්‍ය පුද්ගලයාට වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා.”‍ යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

චිකුන්ගුන්යා රෝගයේ රෝග ලක්ෂණ බොහෝ දුරට ඩෙංගු රෝග ලක්ෂණවලට සමානය. තද උණත් සමඟ හිසරදය, ඇඟපත වේදනාව ඇතිවන අතර චිකුන් ගුන්යා රෝගයේදී හන්දිපත් වේදනාව තදින්ම දැනෙයි. දින දෙක තුනක් ඇතුළත උණ තත්ත්වය සුව වුවද හන්දිපත් වේදනාව කලක් පැවතිය හැකිය. ඇතැම් විට මෙම තත්වය මාස දෙකත් මාස හයත් අතර කාලයක් පවතී. මේ හේතුවෙන් රෝගය වැළඳී සුව වුවද ඇතැම් පුද්ගලයන්ට එතෙක් කරගෙන ආ සාමාන්‍ය රාජකාරි කටයුතු කරගත නොහැකිවීමෙන් අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ.

“අධික උණ තත්ත්වයට අමතරව නාසයේ ඉහළ කොටස කළු පැහැ වීමට, අතපයවල කළු පැහැති ලප මතුවීමට ඉඩ තියෙනවා. ඩෙංගු රෝගය වැළදී දින කිහිපයකින් සුවයක් ලැබුවද චිකුන් ගුන්යා වැළඳුණු රෝගියකුට කාලයක් යනතුරු දෛනික වැඩ කටයුතුවල නිරතවීමේ අමාරුකමක් ඇතිවෙන්න පුළුවන්.”‍ යැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඉහත සඳහන් ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව අධික මහන්සිය, වමනය සහ ඔක්කාරය මෙන්ම ඇඟිලි පුරුක්වල හටගන්නා අධික වේදනාවද ඇතිවිය හැකිය. ඇතැම් විට හන්දිපත් වේදනාවත් සමඟ දණහිස, වළලුකර ආදී ස්ථානවල යම් ඉදිමුම් තත්වයක්ද දැකගත හැකිය. මෙම රෝගය ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන වන අතර රෝගියාගෙන් රෝගියාට පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් වේ. ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කළද ඇතැම් රෝගීන්ගේ පෙන්නුම් කරන්නේ රෝග ලක්ෂණ එකක් හෝ දෙකක් පමණි.

චිකුන් ගුන්යා රෝගකාරකය ශරීරයට ඇතුළු වී දින දෙකත් හතරත් අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම වෛරසය වැඩි වශයෙන් අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලාපීය රටවල්වල දක්නට ලැබෙන රෝගී තත්වයකි.
මේ වන විටත් මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නැත. නමුත් ප්‍රධානම ප්‍රතිකාරය නම් විවේකයයි. එමෙන්ම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන්ද චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකිය.

“මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම අපි කළ යුතු වෙනවා. නිවෙස්, පාසල් මෙන්ම සමාජය අවට මෙවැනි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කළ යුතුයි. විශේෂයෙන් කුඩා දරුවන්ව මෙම රෝගයෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. මෙය වෛරස් උණක් නිසා වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙමින් විවේකය ලබාදීම ඉතා වැදගත්. රෝගියාගෙන් රෝගියාට ඇතිවෙන රෝග ලක්ෂණ වෙනස්. ඒ නිසා තද කැක්කුම් සඳහා ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තීරණය කරයි. ඒ නිසා කිසිම වෙලාවක මෙම රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේ අනවශ්‍ය ඖෂධ ලබාගන්න එපා.”‍ යැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියයි.

මෙම රෝගය වැළඳුණු රෝගියකු සඳහා විවේකය ඉතා වැදගත් වේ. එමෙන්ම හැකිතාක් දියර වර්ග පානය කළ යුතුය. රෝගියකු නිවෙසේ සිටී නම් මදුරු දැලකින් ආවරණය කරන ලද ඇඳක විවේකීව ගත කිරීමට සැලැස්විය යුතුය. විශේෂයෙන් කුඩා දරුවන්ට සහ වයස්ගත පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමෙන් අධික ලෙස වේදනාව දැනෙයි. ඒ නිසා ඔවුන් වැඩි වශයෙන් ප්‍රවේසම් කර ගැනීම වැදගත් වේ.
අනවශ්‍ය ලෙස රැස්වන ජලය, සතුන්ට පානය කිරීමට තබා ඇති ජල භාජන, මල් පෝච්චිවල එක්රැස්වන ජලය, යෝගට් කෝප්පවල, පොල් කටුවල, පොල් කෝම්බ ආදියේ එක්රැස්වන ඉතා කුඩා ජල ප්‍රමාණයක වුවද මෙම මදුරුවන් බෝවිය හැකිය. එම නිසා එවැනි ජලය රැඳෙන ස්ථානවල ඇති ජලය ඉවත් කළ යුතු අතර එක්රැස් කර තබන ජලය නිතරම මාරු කළ යුතු වේ.

“චිකුන්ගුන්යා රෝගයට අපි හොඳින් අවධානය යොමු කළහොත් ඩෙංගු රෝගය ද වළක්වා ගන්න පුළුවන්. අප්‍රිකාව, ඉන්දියාව වැනි මදුරුවන් ගැවසෙන රටවල්වල මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මෙය කුඩා දරුවන්ට, වයස්ගත අයට වැළඳුණු විට දින කිහිපයක් යනතුරු හන්දිපත් වේදනාව අධික ලෙස පැවතිය හැකියි. ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන අවම කරගත යුතු වෙනවා.”‍ යැයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවසාන වශයෙන් පැවසීය.

• දිශානි ජයමාලි කරුණාරත්න

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00