මේ දිනවල රට පුරාම වාගේ ව්‍යාප්ත වන උණ සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් පවතී. බොහෝ දෙනා මේ ගැන කතා කරන්නේ අලුත් වෛරස් උණක් පැතිර යන බවක් කීමෙනි. “අලුත් වෛරස් උණේ හැදුණා, හරිම අමාරුයි”, “පවුලේ හැමෝටම වගේ අලුත් වෛරස් උණ” වැනි ප්‍රකාශ මේ දිනවල නිතර අසන්නට ලැබේ. ඇත්තටම මේ අලුත් වෛරසයක බලපෑම නිසා පැතිර යන වෙනස්ම රෝගයක්ද?
මේ දිනවල බොහෝ දෙනා කැසි කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම, උණ, ඇඟපත වේදනාව සහිත අමාරුකම් ගැන කියන අතර මේ පොදු වෛරස රෝග ලක්ෂණය සමාජය පුරා බහුලව පැතිර යන ආකාරයක් පෙනෙන්නට තිබේ. සෞඛ්‍ය අංශවලට අනුව නම් නව වෛරසයක බලපෑමක් මේ සඳහා හේතු වී නැත.
මේ දිනවල පැතිර යන වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධව මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ එයට හේතුව සෙම්ප්‍රතිශ්‍යා උණ හෙවත් ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) වැනි බහුල වෛරස කිහිපයක බලපෑම බවය.
තවත් අය පෙන්වා දෙන කාරණාවක් වී ඇත්තේ චීනයේ පැතිර යන මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus - HMPV) යන වෛරස් උණ රෝගයේ බලපෑමට රට හසුව ඇති බවයි. නමුත් චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPVවෛරසය වුවද බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර අප කළ විමසුමකදී සනාථ කළේය. ඔහු කීවේ මෙය අලුත් හෝ ආගන්තුක නාඳුනන වෛරසයක් නොවන බවය. එය 2001 දී පමණ සොයාගනු ලැබූවක් බවත් ඒ නිසා HMPV වෛරසය, අලුත් වෛරසයක් නොවන බවත්, සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරන වෛරසයක් බවත් මෙම වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බවත් මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය. නමුත්, HMPV වෛරසය ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයට බරපතළ ශ්වසන ආබාධ ඇතිකළ හැකි බවට ඔහු අනතුරු අඟවයි. ලංකාවේ වෛරස සම්බන්ධව නිබඳවම පර්යේෂණ කරන, ඒ ගැන අවදියෙන් සිටින ආයතනය වන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන වෛරස විශේෂඥවරයා වන වෛද්‍ය ජූඩ් ජයමාන්න අප කළ විමසුමකදී පැවසුවේ, සිය සුපුරුදු දෛනික පර්යේෂණවලට අනුව නම් අලුත් වෛරසයක් ගැන වාර්තා වී නැති බවය. දිනකට සාම්පල 200කට ආසන්න ප්‍රමාණයක් වෛරස බලපෑම සඳහා පරීක්ෂා කෙරෙන අතර, එහිදී මේ දිනවල පැතිර යන විශේෂ වෛරස කාණ්ඩයක් හෝ අලුත්ම වෛරස මාදිලියක් ගැන වාර්තා වී නැති බව ඔහු කියයි. පොදුවේ සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා බලපෑම වෛරස් උණ හැටියට බහුලව හඳුන්වන නිසා දැන් මේ “අලුත් වෛරසයක්” පිළිබඳ අවිද්‍යාත්මක හැඳින්වීම පුළුල්ව සමාජගතව ඇති බව ඔහු කියයි.
මේ කාලය තුළ වෛරස උණ හෙවත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, නැතිනම් ඉන්ෆ්ලුවෙන්සාව පැතිරයාමක් කලින් වාර්තා වී නැත. නොවැම්බර් ජනවාරි අතර කාලය ඉන්ෆ්ලුවෙන්සා බහුල සමය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වා ඇතත් මේ වන විට වායුගෝලයේ මතුව ඇති අසාමාන්‍ය ධූලි වලා සහ මීදුම් පිරි තත්වයත්, දීර්ඝව පැතිර යන සීත දේශගුණයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන්ගේ ඉහළ යාමක් සහ සාමාන්‍ය කාලසීමාව ඉක්මවා පැතිරීමක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. දේශගුණ තත්ත්වයේ මතුව ඇති ශ්වසන රෝග හිතැති වෙනස්කම් හේතුවෙන් වෛරස පැතිරීමට වාසිදායී වටාපිටාවක් බිහිව ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා දැන් මතුව ඇත්තේ දන්නා වෛරස කිහිපයක බලපෑම් සංකීර්ණයක් මතුව ඒම බව ඔහු පෙන්වා දෙයි.
ඒ මතු නොව, ශ්වසන රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ මතුව ඇති වෛරස හිතකර වායුගෝලීය සහ පාරිසරික තත්ත්වය නිසා දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට මෙන්ම දීර්ඝකාලීන ශ්වසන රෝග ඇති අයට හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම මෙන්ම නිදන්ගත ශ්වසන ආබාධද මතුව ඒමේ හෝ දැඩි වීමේ අවදානම ඉහළ බවය.
පොදුවේ මේ ශ්වසන රෝගී තත්ත්ව බොහෝ විට පැතිරීම සිදුවන්නේ අසාදිත පුද්ගලයකුගේ කැස්ස හෝ කිවිසුම් යාමෙන් පිටවන ශ්‍රාව බිඳිති හරහා වන අතර විශේෂඥයන්ට අනුව ඒවාට ගොදුරුවීම මඟහැරීම මෙම රෝග පැතිරීම වැළැක්වීමට ඇති හොඳම ප්‍රතිකර්මයයි. මේ කාලයේ මුව ආවරණ පැළඳීම, අත් සේදීම, සෙනඟ ගැවසෙන වටාපිටාව හැකිතාක් මඟහැරීම වැනි මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධි නැවත අනුගමනය කිරීමෙන් රෝගවලට ගොදුරුවීමට ඇති අවස්ථාව සීමා කරගත හැකි බව විශේෂඥ උපදේශය වී තිබේ.
• සුගත් පී. කුලතුංග ආරච්චි