කාලාන්තරයක සිට ශ්‍රී ලංකාව මුහුණපා සිටින බරපතළම ගැටලුවක් වී ඇත්තේ ඖෂධ හිඟයයි. ඖෂධ හිඟයක් රෝහල්වල පවතින බවට වන රැල්ල කාලයක සිටම වරින් වර නැගෙන්නකි. කලින් කලට නැගී එන මේ රැල්ල නැවත කාලයකට පසු පිළියම් නොමැතිවම හෝ තාවකාලික පැලැස්තර පිළියම් මගින් යටපත්ව යාම සිදුවේ. 2022 ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙහි දරුණු තත්ත්වයක් මතුව පසුව යම් සහනයක් උදා වුවද, දැන් 2025 දී ද ශ්‍රී ලංකාව ඖෂධ ලබා ගැනීමේ අභියෝගවලට මුහුණ පා සිටියි. ඖෂධ හිඟය පෙරට වඩා අඩු වුවද, එය තවමත් යම් පමණකට දිගටම පවතියි. හිඟන්නාගේ තුවාලය මෙනි.
ඖෂධ හිඟය යන බරපතළ තත්ත්වය දඩමීමා කර ගනිමින් කාලයකට පෙර සිදුවූ හදිසි සහ අයථා ටෙන්ඩර ගනුදෙනු සහ බාල ඖෂධ රට තුළට කාන්දු වීම නිසා මහා අලකලංචියකට හිටපු ඇමැතිවරු පවා මුහුණ පෑහ. නමුත් තවමත් ඒ සඳහා නිසි පිළියම් සොයා ගැනීමට හැකිව නැත. සාමාන්‍යයෙන් ගමේ බුලත් විට කඩේ මුදලාලි පවා බුලත් පුවක් හිඟ වන්නට යන විට කලින් දැන ගනියි. අවශ්‍ය දේ මිලට ගෙන තොග රැස්කර ගනියි. නමුත් මේ තරම් දියුණු තොරතුරු තාක්ෂණයක් සහිත යුගයකත් රෝහල් තුළ මෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ පවා ඖෂධ තොග හිඟ වීම කලින් දැනගන්නට නොහැකි වීම රටේ අවාසනාවකි. සෞඛ්‍ය අංශයේ කිසිදු අයෙක් මේ මොහොතේ නිශ්චිත රෝහලක ඇති නිශ්චිත ඖෂධයක තොරතුරු කියන්නට සමත්ව නැත. ඔවුන් බුලත් කඩේ මුදලාලිටත් පරාදය. නමුත් අතීත අත්දැකීම් පෙන්වා දෙන අයුරු මේ නොදැනුවත්කම සමහරුන්ට ‘පරණ පිනක් හිස මත කඩා වැටීම’ කි. මේ නිසාදෝ ‘හිඟන්නාගේ තුවාලය’ මෙන් ඖෂධ හිඟය ගැන වාර්ෂිකව අසන්නට ලැබීම දැන් ‘කම්මලේ බල්ලන්ට’ මෙන් වැඩි අවධානයක් දිනා නොගන්නා සාමාන්‍ය කාරණාවක් බවට පත්ව තිබේ. රෝහලේ බෙහෙත් නැති දාට ඇති අය පිටතින් ඖෂධ මිල දී ගෙන සුවපත් වෙද්දී නැති අය මරණය එනතුරු දින ගනිති.
දැන් නැවතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අශයෙහි ඖෂධ 234 ක් නැති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. මේ චෝදනාව නගා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයයි. එහි සභාපති රවී කුමුදේශ් කියන්නේ 2025 අප්‍රේල් 21 දින නිකුත් කරන ලද වෛද්‍ය සැපයීම් අංශයේ (MSD) නිල වාර්තාවකට අනුව, ඖෂධ 234 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම හිඟ වී ඇති ලෙස වාර්තා වී තිබෙන බවය. ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව මගින් රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 ක් අතරින් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇත. ඉන් ජීවිත ආරක්ෂක ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ (Vital Drugs): 13න් 3 ක්, මූලික අවශ්‍යතා සඳහා අනිවාර්ය ඖෂධ (Essential Drugs) 460න් : 182 ක්, අනිවාර්ය නොවන ඖෂධ (Non-Essential Drugs) 139න් : 49 ක් ලෙස 234 ක් මුළුමනින්ම වෛද්‍ය සැපයුම් අංශයෙහි බින්දුවට බැස ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් ජනතාවට ඇති අවදානම් ගැන පෙන්වා දෙන එම සංගමය එහි කෙටි කාලීන බලපෑමක් ලෙස හදිසි සහ අත්‍යාවශ්‍ය තත්ත්වයන් සඳහා අවශ්‍ය ජීවිත රැකෙන ඖෂධ නොමැති වීම, රෝගීන්ට පෞද්ගලික ඖෂධ වෙළෙඳසල් වෙත යාමට බල කරමින් පවුල් ආදායමට අමතර බරක් තැබීම, මේ හේතුවෙන් ප්‍රතිකාර ප්‍රමාද වීම්, රෝග විකෘති වීම සහ අසාධ්‍ය වීම සිදුවන බව කියයි.
දිගු කාලීන බලපෑම් ලෙස රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය දීර්ඝව නරක අතට හැරීම සහ අසාධ්‍ය වීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම පෙන්වා දෙයි. මේ වනවිට රෝගීන්ගේ ජීවිත සඳහා දැඩි අවදානමක් මතුව ඇති බව කියන ඔවුහු, මේ ගැන වහාම වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් පිළිතුරු ඉල්ලා සිටින බව කියා ඇත. මෙම අවදානම සම්බන්ධයෙන් රජයෙන් වහාම වගකිව යුතු පාර්ශ්වයන්ට විමර්ශන ආරම්භ කිරීම, ජනතාවට පැහැදිලිව තත්ත්වය දැනුම් දීම, ඖෂධ සැපයුම් පද්ධතියේ ක්‍රමවේදයන්ට යාවත්කාලීන ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා හදිසි ක්‍රියාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ඉල්ලා සිටියි.
ඔවුන්ට අනුව රෝහල්වල ඖෂධ තොග කළමනාකරණය කිරීම සඳහා VEN විශ්ලේෂණ ක්‍රමය යොදාගෙන ඇත. මෙහිදී ඖෂධ වර්ග Vital (ජීවිත ආරක්ෂක), Essential (අත්‍යවශ්‍ය) සහ Non-essential (අත්‍යවශ්‍ය නොවන) ලෙස වෙන් කර තිබේ. මෙම වර්ගීකරණය මගින් සෞඛ්‍ය සේවා තුළ තීරණ ගැනීම්, සම්පත් ප්‍රමුඛතා සහ තොග කළමනාකරණය පහසු කරයි. නමුත් මෙවැනි හිඟයන් සඳහා පිළියම් නොයොදා සිටීම මගින් ඇතිවන හදිසි ඖෂධ අත්‍යවශ්‍යතාව භාවිත කරමින්, ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ හොර ඖෂධ ගෙන්වීම සඳහා පාර කපන්නා වූ වෑයමක් ලෙස මේ හිඟයන් වරින් වර පවත්වා ගැනීම ගැන ඔවුන් සැක පහළ කර ඇත්තේ එවන් අඳුරු අතීත ක්‍රියාකාරකම් අත්දැක ඇති නිසාය.
මේ අතර ඖෂධ හිඟයක් ගැන කතාව පාර්ලිමේන්තුවට ද පැමිණියේය. “2025 පෙබරවාරි 27 දින වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ Out of stock Medicines at MSD වාර්තාවකට අනුව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග 333 ක් වෙනවා. රටේ බෙහෙත් වර්ග 333 ක හිඟයක් තියාගෙන කටක් ඇරලා ‘ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ’ කොහොමද?” යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය ප්‍රශ්න කිරීමත් සමඟය. ඇය මේ ගැන මෙසේද කීවාය. “සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිතුමා කියනවා ඖෂධ වර්ග 56 ක් විතරයි අඩු, ඒවා ගේන්න මාස 9 ක් යනවා කියලා. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් මාස 9 ක් යනකල් බඩු නෑ කියන එක. ඇත්ත කතාව තමයි, මේ යන විදිහට අද වෙනකොට වෛද්‍ය සැපයුම් අංශයේ නැති ඖෂධ වර්ග 333 ක් ගේන්න මාස 9 ක් යනවා. මෙන්න මේක තමයි ඇත්ත ප්‍රශ්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්ත ප්‍රශ්නය. මේ ආණ්ඩුවටත් ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගන්නට බැරිවෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රධාන ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර 325 ක් පමණ ප්‍රදානය කළ යුතු වෙනවා. නමුත්, මේ දක්වා තිබුණු ක්‍රමවේදය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. මොකද, ආණ්ඩුව හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඔක්කොම හොරු කියලා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. වෙනදා අලුත් අවුරුද්දකට ඕනෙ ඖෂධ සියල්ල පෙර අවුරුද්දේ නොවැම්බර් වෙනකොට ටෙන්ඩර් කරලා සැපයුම්කරුවන් තෝරාගෙන ඉවරයි. මිලදී ගැනීම විතරයි ඉතුරු වෙන්නෙ. නමුත් මේ සැරේ ඖෂධ මිලදී ගැනීමේ මූලික කටයුතුවත් තවම ආරම්භ කරලා නෑ. ඒ නිසා මේ ඖෂධ හිඟය 2025 සැප්තැම්බර් දක්වා අවසන් වෙන්නේ නෑ.
කරුණාකරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් උඩ ඉඳන් පහළට හොරු විදිහට දකින්න එපා. ඔවුන් එක්ක වෛරයෙන්, උද්දච්ච විදිහට වැඩ කරන්න එපා. වෛද්‍ය සැපයීම් ප්‍රශ්නය මේ ආණ්ඩුව හදාගත්ත එකක්. මේ තරම් ලොකු වෛද්‍ය සැපයීම් ප්‍රශ්නයක් රට බංකොලොත් වෙච්ච 2022 දී වත් තිබුණේ නෑ. මම රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නේ නෑ. ඔවුන් සියලු දෙනා හොරු ගොඩට දාලා වැඩ කිරීම නිසයි, මේ වෛද්‍ය සැපයුම් අර්බුදය ඇතිවුණේ. 2016 දී ඖෂධ හිඟය පාලනය වුණේ ඇප් එකක් හදලා ලංකාවේම තියෙන ඖෂධ සියල්ල තියෙන තැන් ඒ ඇප් එකෙන් බලාගන්න පහසුකම් සපයා දුන්න නිසයි. පහුගිය ආණ්ඩුව ඇවිල්ලා කරපු මුල්ම වැඩක් තමයි ඒ ඇප් එක වහලා දාන එක. ඒ ඇප් එකට වෙච්ච දේ හොයලා බලන්න. අද තියෙන ඖෂධ හිඟයේ ලොකුම ප්‍රශ්නය බෙහෙත් නැති එක නෙවෙයි, බෙහෙත් ඉතුරු වෙලා තියෙන තැන, ඉස්පිරිතාලේ, ගබඩාව හොයා ගන්න බැරි එක. නැවත 2019 දක්වා පාවිච්චි කරපු ඇප් එක අවශ්‍ය වෙනස්කම් කරලා ගේන්න. ඒක හදලා තිබුණේ රාජ්‍ය ආයතනයක මැදිහත් වීමෙන්. ප්‍රශ්නය තියෙන්නේ ඖෂධ නැති එක නොවෙයි, තියෙන ඖෂධවලට සමීප වීමට සෞඛ්‍ය බලධාරීන්ට තොරතුරු නැති එක.” යනුවෙන් මන්ත්‍රීවරිය වත්මන් ඖෂධ ගැටලුව ගැන විස්තර කරමින් කීවාය.
“නමුත් මේ සියල්ලට පිළිතුරු ලෙස ඖෂධ වර්ග 56ක පමණක් තොග නොමැති බවත් ඒවා මිලදී ගැනීමට මාස නවයක් පමණ ගතවනු ඇති බවත් බලධාරීන් කියා තිබේ. මේ සියලු ප්‍රකාශ තුළින් සාධාරණ සැකයක් මතු වන්නේ “නිවැරදි තොග සංඛ්‍යාලේඛන කුමක්ද යන්න ගැන තතු කිසිවකු නොදන්නවාද?” යනුවෙනි.
ලංකාවේ ඖෂධ හිඟය සඳහා බලපාන ප්‍රධානම සාධකයක් ලෙස ඖෂධ සම්බන්ධ තොරතුරු පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාව හේතු වන බව වෛද්‍ය සභාව, වෛද්‍ය නිලධාරී සංගම්, සෞඛ්‍ය සේවක සංගම් මෙන්ම පාරිභෝගික සංගම් සහ විශේෂඥයන් ඇතුළු විවිධ අංශ මගින් කාලයක සිටම පෙන්වා දුන් කරුණකි. සැබැවින්ම වෛද්‍ය සැපයුම් දාමයක කාර්යක්ෂම හා ඵලදායී බව පවත්වා ගැනීම සඳහා නිශ්චිත, යාවත්කාලීන සහ ක්‍රියාශිලී තොරතුරු පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. මන්ද එවැනි පද්ධතියකට දාමයේ ප්‍රධාන ක්‍රියාවලිය තුළ තීරණ ගැනීම පහසු කිරීම සඳහා අවශ්‍ය නිවැරදි තොරතුරු සැපයිය හැකි නිසාය. සාවද්‍ය තොරතුරු වැරදි තීරණවලට තුඩු දෙන බැවින් තොරතුරු නිවැරදි වීම අත්‍යවශ්‍ය වේ. ඉදිරි තීරණ ගැනීමේදී, විශේෂයෙන් කුමන ඖෂධ ලබාගත යුතුද සහ එවැනි ඖෂධ කොපමණ ප්‍රමාණයක් ලබාගත යුතුද යන්න සම්බන්ධයෙන්, නිවැරැදි පුරෝකථන ලබා ගැනීමට නම් දැනට සිදුවන භාවිතය, රඳවා ඇති තොග, කල් ඉකුත් වූ තොග සහ හිඟ තොග ආදිය ගැන පුළුල් විස්තර සජීව ලෙස යාවත්කාලීන වන විනිවිදභාවයෙන් යුතු තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. එය ටෙන්ඩර් කැඳවීම සහ මිලදී ගැනීම වැනි බරපතළ කාරණා සඳහා ද වැදගත් වේ. නිතරම දිගුකාලීනව මේ අන්දමේ තොරතුරු හිඟව පැවතීම සැමවිටම හදිසි මිල දී ගැනීම් වැනි සමහරුන්ට වාසි සහ සමස්ත රටට ජනතාවට අවාසිදායක තත්ත්ව මතු කිරීමට හේතු වේ. එය දූෂණයට වංචාවට සැමවිටම දොර හැර තැබීමකි. දැන් මේ දොර වැසීමට කාලයයි.
• සුගත් පී. කුලතුංග ආරච්චි