2017 ජුලි 08 වන සෙනසුරාදා

දරුවන්ගේ වර්ධනය බාලකරන ලෙඩ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 743

බලන්නකො අනේ අර අල්ලපු ගෙදර බබාගේ හැටි, හොඳට මහතට ඉන්නවා. ඒකට අපේ බබා, කොච්චර කෑවත් එක වගේනේ. ඇඟ හැදෙන්නේ නෑනේ.

තම දරුවා අසල්වාසීන්ගේ ළදරුවන් සමඟ සංසන්දනය බොහෝ මව්වරුන්ගේ සිරිතක් වී තිබේ. ඉපදීමෙන් අනතුරුව වයස ගතවීමත් සමඟ ඊට අදාළ පරිදි ළදරුවන්ගේ වර්ධනය සිදු නොවී අඩාල වන්නේ කුමන නිසාදැයි විමසිලිමත් වෙමු.

වර්ධනය අඩාල වීම හේතුවෙන් එම වයසට තිබිය යුතු බරට වඩා ඉතා අඩු බරක් දැරීම හා කෘෂ වී මැළිවී ගිය ස්වරූපයක් බොහෝ විට දරුවන් පෙන්වයි. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක්ම පවතියි.

1.දුර්වල පෝෂණ තත්ත්වය
2.සංජානන ආබාධ
3.පරිවෘත්තීය ආබාධ
4.ආහාර අවශෝෂණයේ පවතින ගැටලු
5.ශක්ති අවශ්‍යතාවය ඉහළ යාම 
6.වෙනත් රෝග තත්ත්වයන්

දුර්වල පෝෂණ තත්ත්වය

මෙහිදී නිසි පෝෂ්‍ය ගුණයෙන් යුතු ගුණාත්මක ආහාර නොලැබීම ප්‍රධාන වෙයි. මව්කිරි බොන වයසේ ළදරුවන් සැලකූ විට ප්‍රමාණවත් තරම් මව්කිරි උරා නොබීම, මව්කිරි ළදරුවාට ලබාදෙන වැරදි ඉරියව්ව මෙයට බලපායි. පිටිකිරි ලබාදෙන්නේ නම් වතුර වැඩිපුර දමා පිටිකිරි දීම, ප්‍රමාද වී ඝන ආහාර ලබාදීම, ගුණාත්මක භාවයෙන් අඩු ආහාර ලබාදීම, මෙන්ම ආහාර සපයා ගැනීමේ අපහසුව නිසා ආහාර ලබානොදීම වැනි හේතු සාධක ද මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි.

සංජානන ආබාධ සහ වෙනත් රෝගී තත්ත්වයන්

මෙවැනි රෝගී තත්ත්ව පවතින විට මව්කිරි උරාබීම අපහසු වීමත්, නිතර නිතර රෝහල්ගතවීමත්, ආහාරවලට පවතින ප්‍රියතාව අඩුවීමත් ළදරුවාගේ වර්ධනය ප්‍රබල ලෙස පහත හෙලයි.

සංජානන හෘදයාබාධ, විශේෂයෙන් හදවතේ කෝෂිකා සහ කර්ණිකා අතර සම්බන්ධතාව දිගටම පවතින විට (හදවතේ සිදුරු) හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වන අතර මෙවැනි ළමයින් මව්කිරි උරාබීම දුර්වල වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම, වකුගඩු අක්‍රීයතා, ආහාර මාර්ගයේ අවහිරතා, හර්නියා මෙන්ම මුඛයේ තොල් සහ තල්ල නිසි පරිදි එකතු නොවී ඉඩ පවතින විට (හා තොල ලෙසින් හඳුන්වන තත්ත්වය) ආහාර ගැනීම අපහසු වෙයි. මේ රෝගී තත්ත්වයන් ද වර්ධනය අඩාල වීමට හේතු වෙයි.

ආහාර අවශෝණයේ අපහසුතා

ශරීරය තුළ ආහාර අවශෝෂණය අඩාල වීම හේතු රැසක් නිසා සිදුවිය හැකිය. විශේෂයෙන් අග්න්‍යාශයේ එන්සයිම නිපදවීම අඩාල වන සංජානන ආබාධ, කුඩා අන්ත්‍රයේ ආබාධ, ආහාර මාර්ගයේ ප්‍රමාණය කුඩා වීම, නිතර නිතර පාචනය ඇතිවීම මෙයට හේතු වෙයි.

ඇතැම් අවස්ථාවලදී ආහාර මාර්ගයෙන් ප්‍රෝටීන ඉවත් වී යාම වේගවත්ව සිදුවෙයි. මෙය වර්ධනය අඩාල වීමට බලපාන ප්‍රධාන කරුණකි.

• ක්ෂය රෝගය, සරම්ප, නිවුමෝනියාව, මැලේරියාව වැනි රෝගී තත්ත්වයන්ට නිතර නිතර ගොදුරු වීම තවත් හේතුවකි.
• ඇතැම් අවස්ථාවන්හීදී මවගෙන් ළදරුවාට උරුම වන ඒඩ්ස්, රුබෙල්ලා වැනි රෝගද දරුවන් ගේ වර්ධනය කැපී පෙනෙන ලෙස අඩාල කර දමයි.
• සමහර දරුවන්ගේ ආහාර මාර්ගයේ මව්කිරි දිරවීමට අවශ්‍ය එන්සයිම වර්ග නොමැති වීම නිසා මව්කිරි බිව් නමුත් ඒ සමඟම පාචනය අකාරයකට පිටවීම සිදුකරයි. සමහර දරුවන්ට පිටිකිරි අසාත්මික වන අතර දිරවීමට ද අපහසු වෙයි.
• කුඩා අවධියේදී වැළඳෙන පිළිකා රෝගී තත්ත්ව (ලියුකේමියාව, වසා ගැටිතිවල පිළිකා) පවා වර්ධනය අඩාල කිරීමට හේතු වෙයි.

පරිවෘත්තීය අබාධ

තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩාලවීම, අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාලවීම, ඇමයිනෝ අම්ල පරිවෘත්තියේ ආබාධ, වර්ධනයේ අඩාල වීමට ප්‍රධාන ලෙස හේතු වෙයි. මිට අමතරව වර්ණදේහ පවා වර්ධනය අඩාල වීමක් පෙන්වයි.

මවගේ මානසික තත්ත්වයත්, දෙමාපියන්ගේ අධ්‍යාපන තත්ත්වයත්, පවුලේ ආර්ථික සමාජයීය සහ පරිසරයේ වටපිටාව පවා දරුවන්ගේ ශාරීරික වර්ධනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන බලපෑමක් සිදුකරන බව අමෙරිකානු වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ.