2017 ජුලි 29 වන සෙනසුරාදා

එපා කරපු වේදනාව

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8157

මහ එපාකරපු කැක්කුමක් තියෙන්නේ. කාටත් කියන්නත් ලැජ්ජයි. සමහර පිරිමින්ට මේ කියන ගැටලුවට මැදිවන්නට සිදුවන අවස්ථා තියෙනවා. සමාජ රෝගයක් හැදිලාවත්ද කියලා සමහරු බයවෙනවා. මොකද වෘෂණ කෝෂ ආශ්‍රිතව එන අමුතු වේදනාව නිසා ඔවුන් අපහසුවට ලක්වීම නිසයි.

වෘෂණ කෝෂ ආශ්‍රිතව හටගන්නා වේදනාවට හේතු ගණනාවක්ම තිබෙන්නට හැකියි. හයිඩ්‍රෝසීල් හෙවත් අණ්ඩවාතය කියන්නේ මෙයින් විශේෂිත තත්ත්වයක්. ඒකෙදි වේදනාවක් දැනෙන්නේ නෑ. නමුත් වෘෂණය විශාල වෙන්නට ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක හඳුන්වන්නේ බැහැලා කියලයි. මෙහිදී සිදුවෙන්නේ වාෂණ කෝෂය ඉදිමීම නැත්නම් විශාල වීමයි. ඒකට හේතුව වෘෂණය වටා ඇති ආවරණයේ දියරයක් එකතුවීමයි. වේදනාකාරී නොවන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මේ තත්ත්වය බරවා රෝගය වැඩි මුහුදුබඩ කලාපයේ අය අතර බහුලව දකින්න පුළුවනි.

කුඩා දරුවන් අතර මේ රෝගය ඒ තරම් දැකගන්නට නෑ. තරුණයන් සහ වැඩිහිටියන් අතර තමා බහුල. වෘෂණවලට අනතුරක් සිදුවීමෙන්, පහරක් වැදීමෙන් වගේම ආසාදනයක් නිසාත් මේ විදිහට බහින්න එහෙමත් නැත්නම් ඉදිමෙන්න පුළුවනි. ඒ වගේ වෙලාවට නම් මේක වේදනාකාරියි.

අණ්ඩවාතයෙන් පෙලෙන අයත් මේ ගැන කියන්න කතා කරන්න ලැජ්ජයි. මේ නිසා වෛද්‍යවරු වෙත යොමුවන්නේ නෑ. ඒ වෙනුවට පුවත්පත් දැන්වීම්වල තියෙන තෙල් බේත් සරණ පතා යනවා. මේ තෙල් බේත් කොයිතරම් ගුණද නැද්ද කියලා කවුරුත් දන්නේ නෑ. මේවා හුඟක්ම බොරු වෙදකම්. මේ නිසා සල්ලිත් විනාශ කරගෙන අමාරුවේ වැටෙන එකයි වෙන්නේ. හොඳම ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි. ශල්‍යකර්ම මගින් මේ තත්ත්වය නිට්ටාවටම සුවකරගත හැකියි. මේ ශල්‍යකර්මය ඉතාම සුළු එකක්. කවදාකවත් වරදින එකක් එහෙම නෙමේ.

හර්නියාව

හර්නියාව කියන්නෙත් බොහෝමයක් දෙනා කියන්නේ නැතිව හංගාගෙන ඉන්න ලෙඩක්. මෙතෙන්දි වෙන්නේ උදරයේ බිත්ති දුර්වල වෙලා ඒ හේතුවෙන් බඩවැල දුර්වල උදර බිත්ති තුළින් වෘෂණ තුළට පාත්වීමයි. මේ පාත්වීම නිසා ගෙඩියක් වගේ පිම්බෙන ගතියක් ඇතිවෙනවා දක්නට පුළුවනි. මේ තත්ත්වය මුලින්ම දක්නට ලැබෙන්නේ යටිබඩ දෙපස හෝ පැත්තක පුංචි පිම්බීම් දෙකක් හැටියටයි. කහින වෙලාවට මෙය පිටතට නෙරා එනවා පමණක් නොවේ වේදනාවන් වැඩිවෙන්නට හැකියි. මේ තත්ත්වයන් තරුණයන් හා වැඩිහිටියන් අතර බහුලයි. සුළු ශල්‍යකර්මයක් මගින් මේ අපහසුතාවන් වළක්වා ගත හැකියි.

ඊළඟට අපි බලමු වෘෂණය ආශ්‍රිතව විවිධ කැක්කුම් හට ගන්නට හේතු සහ ඒවාට කළ යුතු දේ මොනවාද කියලා.

සුගත්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00