2017 ජුලි 29 වන සෙනසුරාදා

වැඩි බඩගින්න ලෙඩක් !

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2131

ලවක් දෙවක් නැතිව දකින දකින කෑම කන්න හිතෙනවාද? මේ තත්ත්වය ඇතිවන්නේ ඇත්තටම බඩගිනි නිසාද? වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දකින දකින දෙය ගිල දමන්නට කැමැත්ත ඇතිවන්නට හේතු කාරණා රැසක් ඇති බවයි. මේ විදිහට අසීමිතව ආහාර ගැනීම හේතුවෙන් වෙනස් ලෙඩ රෝග ගණනාවකටම ගොදුරැ විය හැකි බවයි. එනම් තරබාරැව, දියවැඩියාව, කොලෙස්ටරෝල් නිසා ඇතිවන හෘදයාබාධ, අධි රැධිර පීඩනය, අධික බර නිසා ඇතිවන රෝගාබාධයි. දැන් බලමු මේ සීමාවක් නැති බඩගින්නට හේතු මොනවාද කියලා.

මානසික ආතතිය

ආතතිය නිසා මුලින්ම සිදුවන්නේ ඇඩ්‍රිනලින් හෝර්මෝනය මගින් කුසගින්න පලවාහැරීමයි. හැබැයි දිගටම මානසික ආතතිය පැවැතුණොත් සිදුවන්නේ කෝටිසෝල් නමැති හෝර්මෝනය වැඩියෙන් ස්‍රාවය වීමයි. මේ හෝර්මෝනය වැඩි වුණාම දකින දකින දේ කන්නටමයි හිත. ආතතිය ඉවත්වුණාම කෝටිසෝල් මට්ටම පහළ වැටෙන අතර කෑදරකම නැතිව ගිහින් ආහාර රුචිය පාලනය වෙනවා.

විජලනය

සමහර වෙලාවට ඔබට බඩගිනි වගේ දැනුනාට ඇත්තටම වෙලා තියෙන්නේ ශරීරය ජලය නැතිව වියළී යාමයි. විජලනයට ලක්වීමයි. ඉතින් වතුර ටිකක් බිව්වාම බොහෝ වෙලාවට මේ බඩගින්න නැතිව යා හැකියි.  නමුත් ඉන්පසුවත් බඩගිනි නම් කෑම ටිකක් කන්න පුළුවනි. හැබැයි වතුර බිව් නිසා මහ ගොඩක් ගිලදමන එක එවිට වළකිනවා.

සීනි බඩගින්න

සීනි බඩගින්න නැතිනම් අධික සීනි නිසා ඇතිවන බඩගින්නකුත් තියෙනවා. ඩෝනට්, පේස්ට්‍රි, කේක්, පුඩින්, සීනි බනිස් මේ කියන සීනි අධික ආහාර වැඩියෙන් ගන්නා විට ඒවා දහනයට ඉන්සියුලින් වැඩියෙන් ස්‍රාවය කරන්න සිරැර පුරුදු වෙනවා. මේ අධික අසාමාන්‍ය ඉහළ ඉන්සියුලින් ප්‍රමාණය නිසා සීනි දහනය ඉක්මන් වීමෙන් තව තව සීනි ඉල්ලන තත්ත්වයක් ඇතිවෙනවා. එතකොට තමා සීනි බඩගින්න හැදෙන්නේ අන්තිමේදී කෙළවර වන්නේ දියවැඩියාවෙන් තමා.

දියවැඩියාව

අද අපේ සමාජයේ බහුලම රෝගයක් තමා දියවැඩියාව. මේක ශරීරයේ බලශක්තිය පිළිබඳ අර්බුදයකි. බඩගිනි ඉක්මනින් එන්නේ ශරීරයට බලශක්තිය අවශ්‍ය වුණහමයි. නමුත් ඇත්ත කතාව තමා ලබාගන්න ආහාර මගින් ශක්තිය උරා ගන්න හැකියාව අඩුයි කියන එක. බර අඩුවෙලා, නිතර නිතර මුත්‍රා කරන්න ඕනෑවෙලා, හතිය මහන්සිය දැනෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බවෙන්න කාලේ හරි.

සීනි අඩුවෙලා

සීනි අඩුවීම නිසා හටගන්නා දියවැඩියා තත්ත්වයක් තියෙනවා. හයිපෝග්ලයිසිමියා කියන මෙම තත්ත්වය ඇතිවිට ආහාරයට ගන්න ඕනෑ එළවළු පළතුරැ වැනි ආහාර. ඒ වාගේම රැධිරයේ සීනි ප්‍රමාණය ගැන ඇහැ ගහගන ඉන්න ඕනෑ. වෛද්‍ය උපදෙස් අවශ්‍යයි.

දරුවෙක් ලැබෙන්නයි යන්නේ

සමහර අයට දරුවෙක් පිළිසිඳ ගන්නා මුල් කාලයේදී වැඩියෙන් කන්න ඕනෑ වෙනවා. තවත් සමහරැන්ට කෑවත් නිතරම බඩගිනියි වගේ දැනෙනවා. අලුත් කෑම ජාතික කන්න හිතෙනවා. මෙතෙක් කල් රස කර කර කාපු කෑම එපා වෙනවා. මේ ලකුණු පහලවෙන්නේ බොහෝවිට දරුවෙක් ලැබෙන්න යනකොටයි. වෛද්‍යවරයෙක් හමුවෙන්න කාලේ හරි.

හැඟුම්බර කෑම

සමහරුන්ට දුක, කනස්සල්ල, සිත් තැවුල් ඇතිවුණාම විවිධ කෑම ජාති කන්න හිතෙනවා. මේ වෙලාවට කරන්න ඕනෑ කෑම කන එක නෙමේ වෙනත් වැඩකට හිත යොදවන එක.

තයිරොයිඩය වැඩට බැහැලා

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවුණාමත් වැඩියෙන් නිතර නිතර බඩගිනි වෙනවා. බඩගින්නත් එක්ක මහන්සිය, නොසන්සුන් තත්ත්වය එනවා නම් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි.

බෙහෙත් බඩගින්න

බෙහෙත් බඩගින්න එන්නේ බෙහෙත් නිසා. සමහර බෙහෙත් වර්ග ගත්තාම බඩගින්න එනවා. බොහෝ වෙලාවට ස්ටෙරොයිඩ් අඩංගු බෙහෙත් වගේම ආතතිය මනසේ අවුල් ගතිය සඳහා ගන්නා බෙහෙත්වලටත් මේ වගේ වෙනවා. වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

නිදි නැති නිසා බඩගිනි වෙලා

හරිහමන් නින්දක් නැති වුණාම ශරීරයේ ප්‍රතික්‍රියාවක් හැටියට බඩගිනි හෝර්මෝන වල අසාමාන්‍යතා ඇතිවෙනවා. ග්‍රෙලින් සහ ලෙප්ටින් කියන මේ හෝර්මෝන අසමතුලිත බව නිසා පොඩි පොඩි කෑම ජාති කන්න හිතෙනවා.

නිතර නිතර කන්න හිතෙනකොට ඔය පැණිරස කෑම ක්ෂණික ආහාර, සැර බීම ආහාරයට නොගෙන, ඒ වෙනුවට ඉදුණු පළතුරැ, රටකජු කඩල වගේ ඇට වර්ග, සැමන්, බිත්තර, අලිගැටපේර වගේ ශරීරයට අහිතකර නැති දේ ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු.

Web MD