2017 ජුලි 29 වන සෙනසුරාදා

වසරකට 55000ක් බිලිගන්නා ජලභීතිකාව

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3444

ජලභීතිකාව නැතිනම් කටවහරට කියන අන්දමට පිස්සු බලු රෝගය වෛද්‍ය විද්‍යාව තුළ (Rabies) නමින් හඳුන්වන අතර මෙහි ලතින් අර්ථය වන්නේ මෝඩකම යන්නයි. මෙය වෛරස රෝග ආසාදනයකි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මොළයේ අභ්‍යන්තර පටක තුළ (Acuteencephalitis) ආසාදනය ඇති කිරීමයි. මෙය සත්ත්වයන්ගෙන් තවත් සත්ත්වයන් අතරට බෝවන රෝගී තත්ත්වයක් නිසා (Zoonotic) රෝගයක් ලෙස හැඳින්වෙයි. ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු තවත් සත්වයකු සපාකෑමේ ප්‍රතිඵලයක් ලෙස රෝගය පැතිර යයි. ජලභීතිකා රෝගය වැළඳුන පසුව කඩිනමින් ප්‍රතිකාර නොගතහොත් මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා කලින්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම රෝගය මාධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට ඍජුව බලපායි. ආසියා කලාපයේ මේ රෝගයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 55000ට අධිකය.

කලින් කී අන්දමට ජලභීතිකාව රේබීස් (Rabies) නම් වයිරසය මගින් ඇති වෙයි. ලංකාව තුළ මේ රෝගයේ වාහකයන් ලෙස වනාන්තර තුළ වසන මුගටියන් ක්‍රියාකරන අතර වෙනත් රටවල මෙහිලා වවුල් විශේෂ ක්‍රියාකරයි. මේ සතුන්ගේ සපාකෑමෙන් රෝගය දඩාවතේ යන බල්ලන්ට බෝවෙයි. ගැඹුරට වන තුවාලය ඔස්සේ වයිරසය ශරීරයට ඇතුළු වෙයි. මීට අමතරව සීරුණු තුවාල, අපගේ ශරීරයේ ශ්ලේෂ්මල පටල (විශේෂයෙන් ඇස, උගුර අවට පටල) සහිත ප්‍රදේශ වයිරසය සහිත කෙළවලින් ලෙව කෑමෙන්ද රෝගය ඇති වෙයි.

මේ වයිරසය සාමාන්‍ය සම හරහා ඇතුළු වන්නේ නැත. රෝගකාරක වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව පළමුව එම ස්ථානයේ දී වයිරසය ගුණනය වෙයි. ඉන් අනතුරුව එය ආසන්නයේ පවතින චාලක ස්නායුවලට හෝ සංවේදක ස්නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ වයිරස ස්නායුවල අක්සනය දිගේ මාධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වේ. එහිදී ස්නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මේ වයිරස හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියා අඩපණ වීමයි. ස්නායු අතර ඇති අග්‍ර වන උපාගම අතරින් වයිරසය මධ්‍ය ස්නායු පද්ධතියේ සිට විවිධ ස්නායු ඔස්සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි.

මේ ස්නායු ඔස්සේ ගමන් කරන වයිරස කංකාල පේශී, හෘද පේශී සහ අධිවෘක්ක මජ්ජාවට බලපායි. මේ කාලය වනවිට ඛේට ග්‍රන්ථිවලද ජලභීතිකා වයිරසය ගුණනය වන අතර එය රෝගය තවත් කෙනකුට පැතිරයෑමට ඉවහල් වෙයි. වයිරසය ශරීරගත වූ පසුව රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලය සපාකෑමට ලක්වූ ස්ථානය අනුව වෙනස් වේ. හිස, බෙල්ල, මුහුණ, අත සහ ඇඟිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂ්මල පටලවල හා සපාකෑම් වැඩි ගණනක් (දත් පහරවල් දෙකකට වඩා වැඩියෙන්) පවතින විට එය වඩාත් අනතුරුදායක අවස්ථා ලෙස සැලකේ. සපාකෑමට ලක්වූ ස්ථානයේ සිට පවතින දුර අනුව රෝග ලක්ෂණ පහළවීමට ගතවන කාලය වෙනස් වෙයි. හිස, ගෙල, මුහුණ, ප්‍රදේශයේ සපාකෑමක් සිදුවන විට සතියකට අඩු කාලයකදී රෝග ලක්ෂණ ඇති වෙයි. පාදය වැනි දුරස්ථ ප්‍රදේශයක සපාකෑමක් සිදුවූ විට ඇතැම් රෝග ලක්ෂණ ඇතිවීමට වසරක් පමණ කාලයක් ගතවිය හැකිය.

රෝග ලක්ෂණ 

අපේ ඇතැම් දෙනා මෙවැනි සපාකෑම් සිදුවූ විට එහි තුවාලයට පමණක් ප්‍රතිකාර කොට, තුවාලය හොඳ වූ පසුව ඒ ගැන නොසලකති. නිසි පරිදි එන්නත් ලබා නොගෙන සිටින්නන් තුළ ජලභීතිකාව වසර ගණනාවකින් පසුව මතුවන්නේ මේ නිසාය. කුඩා ළමයින්ට රෝග ලක්ෂණ ඉක්මණින් පහළ වෙයි. ජලභීතිකාවේ දී රෝග ලක්ෂණ ඇතිවන්නේ කෙසේ දැයි මඳක් විමසා බලමු. ආරම්භයේ දී උණ, සීතල ගතිය, හිසේ කැක්කුම, වෙහෙස ගතිය දැනීම, ආහාර අරැචිය, මාංශපේශී වේදනාව හා ආලෝකයට මුහුණ දීමට අපහසු වීම ආදී ලක්ෂණ ඇතිවෙයි. මේ රෝග ලක්ෂණ බොහෝ විට වෙනත් ශරීර පද්ධතියක ඇතිවන රෝගයකට සමාන (ශ්වසන, ආහාර මාර්ග හෝ මානසික) රෝග ලක්ෂණ ලෙස සලකන නිසා එය නොසලකා හැරෙයි.

ජලභීතිකා රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ ලෙස ඇඟපත විඩාව, උණ, හිසරදය ඇතිවන අතර ඉන්පසුව තමාට පාලනය කරගත නොහැකි අන්දමේ අතපය ගැස්ම, චලනය ඇතිවේ. මානසික අවපීඩනය ඇතිවේ. ස්නායු අඩපණ වීම නිසා උගුරේ මාංශපේශි අක්‍රීය වීමෙන් උගුරෙන් පහළට කිසිවක් ගමන්නොකිරීම සිදුවේ. මේ නිසා ජලය පානය අපහසු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය දුටු විට බියක් ඇතිවන බව පවසන්නේ මේ නිසාය. පසුව රෝගියා අඩපණ තත්ත්වයට පත්වී කෝමා (Coma) ස්වභාවයට අවතීර්ණ වේ. ජලභීතිකා රෝගයෙන් රෝගියා මිය යෑමට බලපාන ප්‍රධාන හේතුව ස්වසනය අවහිර වීමය. සුනඛයන් ජලභීතිකාව රෝගය ඇතිකරන ප්‍රධාන රෝග වාහකයක් ලෙස ක්‍රියාකරන අතර ලොව පුරා මෙය ප්‍රතිශතයක් ලෙස 97% ප්‍රමාණයකි.

ජලභීතිකා රෝග වෛරසය ශරීරගතවී සති දෙකත් දොළහත් අතර කාලයේදී රෝග ලක්ෂණ ඇතිවන නමුත් සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇතිවීම වසර දෙකක් තරම් දීර්ඝ කාලයක් ගතවන අවස්ථා ද ඇත. ආරම්භයේදී පෙර සඳහන් කළ පරිදි ඇඟපත වේදනාව, හිසරදය රෝග ලක්ෂණ ලෙස ඇතිවන අතර ඉන්පසුව අතපය පණ නැතිවීම ඇතිවේ. මොළයේ ක්‍රියාකාරීත්වය වියවුල් වීම අවසන් අදියරයි. බිය, නින්ද නොයෑම, මානසික වියවුල් ස්වරෑපය, අසාමාන්‍ය චර්යා රටා දිස්වේ. කතා කිරීමට නොහැකි වීම, කෙළ ගිලීමට අපහසු වීම ඇතිවේ. මේ නිසා සෙම මුඛයෙන් ඉවතට පැමිණීමත් ජලයට බිය වීම හෙවත් (Hydrophobia) රෝග ලක්ෂණ ඇති වේ.

පළමු රෝග ලක්ෂණය ඇතිවී දින දෙකත් දහයත් අතර කාලයේදී මරණය අනිවාර්යයෙන්ම උරුම වේ. ජලභීතිකා වෛරසය දිගින් නැනෝමීටර 180ක් පමණ වන අතර (RNA) වර්ගයට අයත්ය. ආවරණ කොපුවක් රහිත වෛරසයකි. මේ නිසා දේහයට ඇතුළුවන වෛරසය ඉතා ඉක්මණින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත (Neurotropic) ගමන් කරයි.

ඉන්පසුව අනෙක් අවයව වෙතට ගමන් කරන අතර වෛරසය ඒකරාශී වීම ඛේට ග්‍රන්ථි ආශ්‍රිතව සිදුවේ. මේ අනතුරැදායක ස්වභාවය වන්නේ සපාකෑම තුළින් වැඩිම වෛරස් ප්‍රමාණයක් ඛේටය සමඟ අපේ ශරීරයට ඇතුළු වීමයි.

ඉන් අනතුරුව ක්‍රමානුකූලව රෝග ලක්ෂණ වැඩිවීම සිදුවෙයි. මානසික අවපීඩනය, නින්ද නොයෑම, ව්‍යග්‍රතාව අවුල් සහගත බව, ඇඟපත හිරිවැටීම, වේදනාව හා බිය වැනි ලක්ෂණ පහළ වෙයි. මේ තත්ත්වයෙන් අනතුරැව ජලභීතිකාව ආකාර දෙකකට වර්ග කළ හැකිය.

1. ප්‍රවේගකාරී ජලභීතිකාව

මෙය වඩාත් සුලභ ආකාරයකි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස්  වීම නිසා ඛේට ස්‍රාවය වීම වැඩි වීම, කිරි ස්‍රාවය, අධික ලෙස දහදිය දැමීම, රුධිර පීඩනය වෙනස් වීම, මුත්‍රා පිටවීම වැඩිවීම සහ මොළයේ ආසාදන ආදිය ඇති වෙයි. මේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ වතුර බීමට උත්සාහ කළත් උගුරේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා එයට අකැමැති වෙති.

ජලය හෝ වෙන යමක් පානය හෝ ගිලීම ප්‍රතික්ෂේප කරති. ශ්වසන පද්ධතියේ මාංශ පේශීවල ද ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වන අතර, බෙල්ලේ මාංශ ගැස්ම නිසා බෙල්ල පිටුපසට නැවෙයි. අවසානයේ සිහිය නැතිවීම, අධික උණ ඇති වීම, අපස්මාරය වැනි ලක්ෂණ පහළ වීමත් හෘද ක්‍රියාකාරිත්වය බිඳ වැටීමත් සිදුවී මරණයට පත්වෙයි.

2. නිද්‍රාශීලී ජලභීතිකාව

මෙහිදී ප්‍රධාන වශයෙන් සුසුම්නාවට බලපාන අතර සපාකන ලද කොටසේ මාංශපේශීන් අඩපණ වීමක් සිදුවෙයි. සංවේදක යාන්ත්‍රණයන් ද අක්‍රීය වෙයි. සපා කෑ ස්ථානයේ හිරිවැටීමක් ඇති වන අතර උගුරේ මාංශපේශී අක්‍රීය වී මරණය සිදුවේ.
ජලභීතිකාව රෝගය වැළඳුණු මිනිසුන් ඉහත රෝග ලක්ෂණ පෙන්වන අතර රෝගය සහිත බල්ලන් හා බළලුන් හඳුනාගැනීම ඉතා වැදගත් වෙයි. මෙහිදී ද ආකාර දෙකක සතුන් දැකිය හැකිය. සමහර සතුන් ආවේගශීලීව හැසිරෙන අතර ඇතැම් සත්තු නිද්‍රාශීලී ලක්ෂණ පෙන්නුම් කරති. අරමුණක් නොමැතිව ඒමේ අත ඉබාගාතේ දිවයති. උගේ කටහඬ වෙනස් වෙයි.

අධික ලෙස කෙළ ස්‍රාවය සිදුවන අතර පසුව සිහි විකල්භාවයටත් මරණයටත් ලක්වෙයි. මෙහි අනෙක් ආකාරයේ දී බල්ලෝ ඉතා අලස බවක් නිද්‍රාශීලීත්වයක් දක්වති. හැකි පමණ අනෙක් සතුන් ගෙන් ඈත් වී සිටීමට උත්සාහ ගනිති. දින තුනක් වැනි කාලයක් ඇතුළත මරණයට පත්වෙයි.

මතුපිට තුවාල සුවවූවත්, ශරීරය තුළ වයිරසය ක්‍රියාකාරී වියහැකි බැවින් එය මර්දනයට එන්නත් ලබාගැනීම මේ නිසා වැදගත් වෙයි. සපා කන ලද බල්ලාට ජලභීතිකාව ඇතැයි සැකකරන සෑමවිටම බල්ලා මරා උගේ හිස අදාළ රෝහලට බාරදෙන ලෙසත් ඉන් අනතුරුව හිස කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනයට (MRI) එවන ලෙසත් උපදෙස් දී ඇත.

මතක තබාගන්න, ජලභීතිකාව රෝගය වැළඳුණු පසුව එයට ප්‍රතිකාර නොමැත.

යම් පුද්ගලයකු ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු විසින් සපාකන ලදැයි සැකකරන අවස්ථාවකදී විශේෂ එන්නත් වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙයි. මෙම වැඩපිළිවෙළේ ආරම්භය 1885 වර්ෂයේදී ලුවී පාශ්චර් විසින් අරඹන ලදී. සපාකන ලද සත්ත්වයාගේ ස්වභාවය, සපාකන ලද ස්ථානය ආදිය මත පදනම්ව මෙම එන්නත් ලබාදීම සිදුවේ. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00