2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

කැක්කුම් බෙහෙත සෙල්ලමක් නොවේ!

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

විෂ වුණොත් ප්‍රතිඵල භයානකයි

ශ්‍රී ලංකාව තුළ දිනකට වැඩි වශයෙන්ම අ‍ලෙවි වන බටහිර ඖෂධය පැරසිටමෝල් වර්ගය වෛද්‍ය උපදෙස් වලින් තොරව ඕනෑම ආකාරයක උණ රෝගී තත්ත්වයක්, හිසේ කැක්කුමක් හෝ වේදනාවක් ඇති වූ විට වැඩිහිටියන් මෙන්ම ළමයින්ද තම පළමු අවධානය යොමු කරන්නේ පැරසිටමෝල් වර්ගයේ ඖෂධය වෙතය. එය ඒ තරමටම ගෘහස්ථ භාවිතයේ ජනප‍්‍රිය වී ඇත.

ඇස්ප‍්‍රීන් මෙන් කුඩා ළමුන්ට පැරසිටමොල් වර්ග අහිතකර නොවීමත්, ආහාර මාර්ගයේ අතුරු ආබාධ (ගැස්ට‍්‍රයිටිස්) ඇති නොවීමත්, රුධිර වහනය සම්බන්ධ ආබාධයන්ට ලක්වූවන්ට ඇස්ප‍්‍රීන් භාවිතය අවදානම් සහගත වීමත් නිසා පැරසිටමෝල් වඩා ජනප‍්‍රිය වී ඇත. එසේම ඇස්ප‍්‍රීන් මගින් විවිධ ආසාදන තත්ත්ව ඇති කරන නමුත් එවැනි තත්ත්වයක් පැරසිටමෝල් තුළ දැකිය හැකි නොවේ. නමුත් පැරසිටමෝල්ද හිතුමතේ ගතයුතු ඖෂධයක් නොවේ. වෛද්‍ය උපදෙස් මත පමණ දැන ගත යුතු ඖෂධයකි. 

පැරසිටමෝල් වර්ග විෂවීම ඇතිවන ආකාරය ගැන අවධානය යොමු කිරීමට මෙය අපගේ සිරැර තුළ පරිවෘත්තියට ලක්වන අයුරු විමසා බැලීම වැදගත්ය.

පැරසිටමෝල් මුලින්ම ආහාර මාර්ගය මගින් ඉතා හොඳින් අවශෝෂණය කරගනී. ඉන් අනතුරුව අක්මාව තුළදී එය ග්ලූකියුරොනයිඩ් Glucuronide සහ සලෆේට කාණ්ඩ බවට පත්වේ. ඉන් අනතුරුව එය අක්මාව තුළ වන ග්ලූටතයෝන් Glutathione සමඟ සම්බන්ධ වී ශරීරයෙන් ඉවත් වීමේ යාන්ත‍්‍රණය සිදුවේ.

එහෙත් අක්මාව තුළ පවතින ග්ලූටතයෝන් මට්ටමට වඩා වැඩියෙන් පැරසිටමෝල් පරිවෘත්තියෙන් ඉහත සඳහන් රසායන කාණ්ඩ අක්මාව තුළ නිපදවූ විට ඒවා සමහර එන්සයිම සමග ක‍්‍රියාකර විෂ සහිත සංයෝග නිපදවා අක්මාවේ සෛල විනාශ කිරීමට ක‍්‍රියා කරයි. මේ අනුව එකවර ලබා ගන්නා පැරසිටමෝල් ප‍්‍රමාණය සිරුර තුළදී පරිවෘත්තියට ගැලපෙන මාත‍්‍රාවක් තුළ තිබීම ඉතා වැදගත්ය.

විශේෂයෙන් එකවර පැරසිටමෝල් පෙති 20 ක් ලබා ගැනීම විශාල ලෙස අක්මාවේ සෛල වලට හානිගෙන දීමට හේතු වන තත්ත්වයකි.

කුඩා ළමුන් නිරන්තරයෙන් පැරසිටමෝල් විෂ වීම් වලට ලක්වන බව රෝහල් වාර්තා මගින් දැකිය හැකිය. මෙයට හේතුව කුමක්දැයි අපි අවධානය යොමු කරමු.

කුඩා දරුවෙකුට උණක් හෝ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළඳුණු විට මවුවරුන් වහාම දරුවා ළඟම සිටින වෛද්‍යවරයා වෙත ගෙන යාම සුලබ සිද්ධියකි. එසේ ගෙන ගිය විට ඔහු දරුවාට පැරසිටමෝල් ලබාදෙන අතර එය ලබා දෙන්නේද වෙළඳ නාමයෙනි. ඉන් අනතුරුව එම දිනය තුළම ළමයාගේ උණ තත්ත්වය අඩු නොවන්නේ නම් වහාම දරුවා රැගෙන වෙනත් වෛද්‍යවරයෙකු වෙත යාම අපේ මවුවරුන්ගේ සාමාන්‍ය සිරිතය. එවිට එම වෛද්‍යවරයා ද නැවත පැරසිටමෝල් ලබා දෙන අතර සමහර විට ඔහු වෙනත් වෙළඳ නාමයකින් එය ලබා දෙයි. 

යම් ලෙසකින් තවදුරටත් උණ තත්ත්වය අඩු නොවන විට දරුවා රෝහල්ගත කිරීම හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත එදින තුළම දරුවා රැගෙන යන අතර එහිදීද ඔවුන්ද බොහෝ විට පැරසිටමෝල් ලබා දෙයි. මෙහිදී ඇතැම් විට තවත් වෙළඳ නාමයක් පෙරට පැමිණිය හැකිය.

මේ ක‍්‍රියාදාමයේ අවසාන ප‍්‍රතිඵලය දරුවාගේ ශරීර බර සහ වයසට නොගැලපෙන මට්ටමකින් කෙටි කාල සීමාවක් තුළ පැරසිටමෝල් ඖෂධය වැඩි ප්‍රමාණයක් ශරීරගත වී තිබීමය. 

මෙම තත්ත්වය වළක්වා ගත හැකි වන්නේ මවුවරුන් තම දරුවාට ඊට පෙර අවස්ථාවේ පැරසිටමෝල් ලබා දුන් බව සිහියේ තබාගෙන ඒ බව වෛද්‍යවරයාට පැවසීමෙන්ය. එසේම වෛද්‍යවරුන් ද පැරසිටමෝල් ඖෂධය නියම කරන විට මේ ගැන මවුවරුන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. 

එසේම පැරසිටමෝල් විෂවීම දරුවන් තුළ දක්නට ලැබීමට තවත් හේතුවක් වන්නේ එය සිරප් ලෙස පැවතීමය. ඇතැම් මවුවරුන් තම නොදැනුවත්කම නිසා දරුවාගේ උණ අඩුවන තුරු සීමාවකින් තොරව විටින් විට එය පෙවීමේදී තේ හැඳි හෝ මේස හැඳි ප‍්‍රමාණය පටලවා ගැනීම ද සිදුවේ.

පැරසිටමෝල් විෂ වීමට ලක්වූ විට අක්මාවේ සෛල විනාශ වී යන අතර ඊට අමතරව වකුගඩුවල පටකවලටද හානි සිදුවේ. එහෙත් පැරසිටමෝල් විෂ වීමේ රෝග ලක්ෂණ මතුවීමට පැය 24 - 28 ක් අතර කාලයක් ගතවේ. එහිදී ඇඟ කහපාට වීම, උදරයේ වේදනාව හ අක්මාව පවතින ශරීරයේ දකුණු පස උදරයේ තද වේදනාවක් ඇතිවීම දැකිය හැකිය. ඇතැම් විට දින 02 - 07 ත් අතර කාලයක් මේ සඳහා ගතවීමට ද පුළුවන.

පැරසිටමෝල් විෂවීමක් පිළිබඳව දැනගත් වහාම අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීම වැදගත්ය. මෙහිදී විශේෂ ගල් අඟුරු ප‍්‍රතිකාර ක‍්‍රමය activated charcoalමගින් පැරසිටමෝල් ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කරනු ලැබේ. අක්මාව තුළ නිපදවන විෂ සහිත සංයෝග ඉවත් කළ හැකි N-acetylcysteine – NAC ලබාදීම මේ සඳහා සාර්ථක පිළියමක් ලෙස දැනට සිදු කෙරේ. මීට අමතරව අක්මාවට සහ වකුගඩුවලට හානි සිදු වී තිබේ නම් ඒවාට අදාළ විශේෂ ප‍්‍රතිකාර කළ යුතුය.

මේ අනුව සලකා බැලූ කල පැරසිටමෝල් ගෘහස්ථව කොතරම් ජනප‍්‍රිය ඖෂධයක් වුවද එය කෝකටත් තෛලයක් ලෙස හිතුමනාපෙට ලබා ගැනීම අනතුරුදායක බව සිහියේ තබාගත යුතුය. විශේෂයෙන් කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබාදීම සම්බන්ධව මවුවරුන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00