පතිනි කියන්නේ විවාහක දෙදරු මවක්. ඒ වගේම ඇය ගුරුවරියක්. ඇයගේ වයස අවුරුදු 47 යි. ඇය අප සොයා ආවේ පාසල් උපදේශකවරියක් මගින්. පතිනි ඇගේ ගැටලූව ඉදිරිපත් කළේ මේ ආකාරයට.
මට නිතර නිතර හිසේ කැක්කුමක් තියෙනවා. මම එය මැඩපවත්වා ගන්නේ පෙනඩෝල් පෙති පානය කර හෝ නළලේ බාම් වර්ගයක් ආලේප කරගෙන. ඒත් මේ හිසේ කැක්කුම නිට්ටාවට හොඳ වුණේ නෑ. දිගු කාලයක සිට නිතර නිතර හැදෙනවා. හවසට මේ තත්ත්වය වැඩිවෙනවා. වෛද්‍යවරු කීප දෙනකුගෙන් ප‍්‍රතිකාර ලබාගත්තා. ඒත් හොඳ සුවයක් ලැබුණේ නෑ. මට තරහ යනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොඩි පුතාට අවුරුදු 07 යි. දුවගේ වයස අවුරුදු 12 යි. පුංචි දේටත් මම එයාලට කෑ ගහනවා. මම දන්නවා මම වැරදි කියලා. මාස 5ක සිට මම මේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ දරනවා. හැමදාම හවස පහ වෙද්දී මගේ සැමියා ගෙදරට එනවා. ඒත් දවසක් රාත‍්‍රි හත විතර වුණා. මම කිසිවක් අහන්නේ නැතිව ඔහුත් සමඟ ගොඩක් වෙලා රණ්ඩු වුණා. සමහර වෙලාවට මට අඬන්න හිතෙනවා. මම අඬනවෙලාවලූත් තියෙනවා. දරුවෝ ඇවිත් අම්මා අඬන්න හේතුව මොකක්ද කියලා මගෙන් අහනවා. මමවත් දන්නේ නෑ මා අඬන්නේ ඇයි කියලා. ඉස්සර මම ගෙදර ගොඩක් ලස්සනට තියාගන්නවා. දැන් මට එකක්වත් කරන්න හිතදෙන්නේ නෑ. සැමියාටත්, දරැවන්ටත් මාව එපා වෙලා කියලා මට හිතෙනවා. ලිංගික ආශාවකුත් මට නැහැ. ජීවිතේ හැමදේම එපාවෙලා.
මට කවුරුවත් නෑ කියලා නිතරම හිතෙනවා. මාස දෙකක පමණ කාලයක සිට පාන්දර දෙකට විතර ඇහැරෙනවා. ඒ ඇහැරුනාම නින්ද යන්නේ නෑ. ඇඟට පණනැති ගතියක් දැනෙනවා. වැඩකරන්න කිසිම ආශාවක් හෝ ධෛර්යයක් දැනෙන්නේ නැහැ. ඉස්සර ආශාවෙන් බැලූ ටෙලිනාට්‍ය බලන්න කිසිම ප‍්‍රියතාවක් නැහැ. වෙලාවකට හිතෙනවා මට ඉක්මනට මැරෙනවා නම් කොච්චර හොඳඳ කියලා.
පතිනි ඇගේ ගැටලු ඉදිරිපත් කළේ ඒ ආකාරයට. ඊළඟට අප කතා කරන්නේ පතිනිගේ පුතාට. පුතා කිව්වේ මේ වගේ දෙයක්. අම්මයි තාත්තායි අතර කිසිම සමගියක් නැහැ. අම්මාට නිතරම කේන්ති යන නිසා තාත්තා හදන්නේ අම්මාව මඟඇරලා ඉන්න. ගෙදර පරිසරය හරිම පාළුයි. නැත්නම් රණුඩවලින් පිරිලා. වෙලාවකට අම්මා දකිනකොට අපි කාමරේට දුවනවා. පුංචි පුතා අම්මා පිළිබඳව ඔහු දන්නා දේ ඒ ආකාරයට පැවසූ අතර පතිනිගේ සැමියා කිව්වේ මේ වගේ දෙයක්.
අවුරුදු දෙක තුනක කාලයක සිට පිතිනිට තරහා යනවා. මම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. පතිනි ගුරුවරියක්. ඇය පන්තිකාමරයේ සිටින දරුවන්ට පවා නිතර දඬුවම්කරන බව දැනගන්න ලැබුණා. ගෙදරදිත් මාත් සමඟ කුමකට හෝ පැටලී ගැටලුවක් ඇතිකර ගැනීමටයි උත්සාහ කරන්නේ. ඇය මගේ හෝ දරුවන්ගේ වැරැද්දක් හොයාගෙන නිතරම කියවනවා. කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. ඒ නිසා මම ගෙදර එන්නේ හවස්වෙලා. අප අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වෙන්නේ නෑ. ඇයට ඒ පිළිබඳ ආශාවකුත් නැහැ. මෙහෙම ගියොත් මට ළමයි හදාගන්නත් බැරිවෙනවා. ගිනිජාලාවක ජීවත්වෙන්න සිදුවෙන්නේ.
මේ සිදුවීම දෙස බලනකොට පතිනි ගොදුරු වී ඇත්තේ මානසික අවපීඩනය හෙවත් විශාදිය නැමැති මානසික රෝගී තත්ත්වයට බව පැහැදිලිය. අපි ඇයට ඖෂධ ප‍්‍රතිකාර කළා. ඇත්තටම අය සුවපත් වුණා. ඒත් අද බහුලව දක්නට ඇති විශාදය නැමැති මේ මානසික රෝගය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතු වෙනවා. අද බොහෝ දෙනා මානසික ආතතියෙන් කටයුතු කර විවිධ ගැටලු ඇතිකරගත්තත් ඔවුන් මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බව දන්නේ නැහැ. අද මෙම රෝගය සමනය කිරීම සඳහා ඖෂධ ප‍්‍රතිකාර සොයාගෙන තිබෙනවා. උපදේශනයත් වැදගත්වෙනවා. මේ ආකාරයට දුක්විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඇත්තටම මානසික අවපීඩනය කියන්නේ සිතේ සියළුම මානසික ක‍්‍රියාකාරිත්වයන් පහත වැටීමයි. බොහෝ අය කියන්නේ මානසික අවපීඩනයට ප‍්‍රධානතම හේතුව හිතේ ඇතිවන දුක බව. දුක කියන්නේ මානසික අවපීඩනයේ එක් කොටසක් පමණයි. මානසික අවපීඩනය තුළින් සිතේ සියළුම මානසික ක‍්‍රියා අඩපණ කරනවා. ඒ නිසා මේ තත්ත්වයට යමෙකු පත්වන්නේ කෙසේද යන ගැටලුවට පිළිතුරු හොයන්න ඕනෑ. ඒකට පළමු හේතුව තමයි යම්කාලයක සිට සිතට දරාගත නොහැකි ආතතියක් තිබීම. ඒ කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳාගත නොහැකිව සිත පීඩාවට පත්ව නිතරම ඒ පිළිබඳ සිතමින් කල්ගත කළොත් ඉන් මානසික අවපීඩනය නම් රෝගය හට ගත හැකියි.
දෙවැනි අවස්ථාව ලෙස ජානවලින් මේ රෝගය සම්ප්‍රේෂණය වන බව පෙන්වා දෙන්න පුළුවන්. මානසික අවපීඩනයේදී අපගේ සිතේ සතුට ගෙන දෙන මානසික කාරකයන් වෙනස් වීමක් ස්නායු පද්ධතියේ සිදුවන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. මේ රෝගී තත්ත්වය ඕනෑම කෙනකුට වැළඳිය හැකියි. විශේෂයෙන්ම ළමයින්, ගැටවර අවධියේ පසුවන්නන්, දරු ප‍්‍රසූතියෙන් පසු පළමු කාලසීමාව ගත කරන මව්වරුන්, ආර්තවහරණයට පත් කාන්තාවන්, වයස අවුරුදු 65ට වැඩි මහළු වූවන් යන පිරිස් වැඩි අවධානමක් ඇති අය.
ආතතිය, ජාන, හෝමෝනවල වෙනස්වීම් මේ පිරිස් මානසික අවපීඩනයට ලක්වීමිට හේතුකාරක විය හැකියි. මේ පිරිස් මානසික අවපීඩනයට ලක් වූ පසු සොයා ගත හැකි විශේෂ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම දරුවන් නම් නිතර හැඬීම, අධික ලෙස කෙන්තියාම, හිසේ කැක්කුම, කිසිවෙක් තමාට ආදරය නැති ලෙස සිතීම, ගුරුවරුන් සහ ළමුන් අතර නිතර ප‍්‍රශ්න ඇතිකර ගැනීම වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ගැටවර වියේ පසුවන දරුවෝ මෙවැනි තත්ත්වයකදී ඉගෙනීම අතපසු කරනවා. අධික ලෙස තරහ ගන්නවා, සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වෙනවා, මත්ද්‍රව්‍යවලට යොමුවෙනවා. සියදිවි නසාගැනීමට පෙළඹීම වැනි දේ කළ හැකියි. දරු ප‍්‍රසූතියේදී මෙවැනි තත්ත්වයකට පත්වූ මවක නම් ඇගේ පළමුමාස හයේ මේ රෝගයේ ලක්ෂණ දැකගත හැකියි. නිතර තරහයාම, හේතුවක් නැතිව ඇඬීම, දරුවාට ඇල්මක් නොදැක්වීම, දරුවාට කිරි නොදීම, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පමණට වඩා කල්පනා කිරීම, ලිංගික ආශාව නැතිවීම වගේ ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. මීළඟට ආර්තවහරණය හෙවත් ඔසප් වීම නැවැතීමට ආසන්න කාලය හෝ නැවතීම මත එවැනි කාන්තාවෝ මානසික අවපීඩනයට ලක්වන්නේ කෙසේද කියා හඳුනා ගත යුතුයි.
ඔවුන්ගේ කල්පනාව අඩුවීම, නිතර ඇඬීම, ගෙදර දොරේ වැඩකටයුතු අතපසු කරගැනීම, නිතර ප‍්‍රශ්න ඇතිකර ගැනීම, සැමියාව සැක කිරීම, ලිංගික ආශාව අඩුවීම මෙවැන්නියන්ගේ ලක්ෂණ වෙනවා. මෙවැනි රෝගීන් සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර තිබෙනවා. දැනට සොයාගෙන තිබෙන නවීන ඖෂධීය ප‍්‍රතිකාරවලින් මානසික අවපීඩනය සාර්ථක ලෙස දුරුකරගන්න පුළුවන්. ඒ වගේම උපදේශනයත් ඉතාම වැදගත් වෙනවා. එය අපි සිතිවිලි ප‍්‍රතිකාරය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපට ගැටලුවක් වූ දේ පිළිබඳව අප සිතන විදිය වෙනස් කළ යුතු වෙනවා. උදාහරණයකට කිසාගෝතමී කතාව ගෙනහැර දක්වන්න පුළුවන්. බුදුරජාණනන් වහන්සේ කිසාගෝතමියට පුතා මළබව අවබෝධ කිරීම සඳහා නොමළ ගෙයකින් අබ හොයාගෙන එන්න කිව්වේ ඇගේ සිතන ආකාරය වෙනස් කළ යුතු නිසා. ඒ වගේම මානසික අවපීඩනයට දෙන බෙහෙත්වලට කිසිවකු ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ වගේම මෙම රෝගය මෝහනයෙන්වත්, භාවනා ක‍්‍රම මගින්වත් සුවපත් කරන්න බැහැ. භාවනාව මගින් මානසික අවපීඩනය වැඩිවිය හැකියි.
ළඟදී එක් කාන්තාවක් මානසික අවපීඩනයට ප‍්‍රතිකාර සඳහා හොර වෛද්‍යවරයෙක් ළඟ මෝහනයට යොමුවෙලා. ඒකේ අන්තිම ප‍්‍රතිඵලය වෙලා තිබුණේ ඇයට ජීවිතය එපාවී සියදිවි හානිකර ගැනීමට පෙළඹීම. ඇයව ගෙදර අය බේරාගෙන අපිට යොමුකර තිබුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මෝහනය මානසික අවපීඩනයට ප‍්‍රතිකාරයක් නොවන බව. ඒ වගේම මත්පැන් වගේ ද්වලින් මීට සුවයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ මුළු ජීවිතයම අවුල් වී රැකියාව, පවුලේ ගැටලු ඇතිකරගන්නා තත්ත්වයක් ඇතිවන අතර අවසානයේ සියදිවි නසාගැනීම වැනි අවාසනාවන්ත අවස්ථාවකටද පත්විය හැකියි. අද ලෝකයේ සියදිවි නසාගැනීම්වලින් හතරවැනි ස්ථානයට පත්වෙලා තියෙන්නේ ලංකාව. මේ සියදිවි නසාගන්නා පිරිසගෙන් සියයට 60ක්ම මානසික අවපීඩනයට ගොදුරු වූ අය. ඒ නිසාමෙවැනි පුද්ගලයන්ට ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙනවා සේම නිවසේ පරිසරයේදී ඔවුන්ට ආදරය කිරීම, උදව්වීම හා එවැනි රෝගීන්ට උදව් කරන අයගේ ඉවසීම හා තේරැම් ගැනීම වැදගත් වෙනවා.