2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඔළුවේ අවුලට බෙහෙත්!

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 793

මිනිසකුගේ ජීවිතයේ සතුට රදා පවතින්නේ ඔහු සහ ඇයගේ ආකල්ප සිතුවිලි, පුරුදු, විශ්වාස එහෙමත් නැත්නම් ගති පැවතුම් මත කියලා විසි වන සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන බර්ට්‍රම් රසල් කියල තියනවා. ධනයෙන් සහ වෙනත් වෙනස්කම්වලින් ඔබ කොතරම් පොහොසත් වුණත් සිතුවිලිවලින් ඔබ දුප්පත් වෙන්න පුළුවන්. නයෝමිගේ ජීවිතයටත් කණ කොකා හැඬුවේ මෙවැනි පරිසරයක ජීවිත් වෙන්න සිදුවූ නිසයි.

රෝහලේ පළමු සායනයට නයෝමි ආවේ තනියමයි. අවුරුදු 35 වන ඇය දරුවන් දෙදෙනකුගේ මවක්. ඇගේ කතාව නයෝමි මෙහෙම පැවසුවා.

“මට ජීවිතය එපාවෙලා. නිතරම මැරෙන්න ක්‍රමයක් ගැන කල්පනා කරනවා. මැරෙනවානම් දරුවො දෙන්නත් එක්කම තමයි මම මැරෙන්නෙ. මගේ ඇඟට පණ නැහැ. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. රෑට නින්ද ගියත් පාන්දර නින්දෙන් අවදි වෙනවා. ඉස්සර ආශාවෙන් කරපු කිසිම දෙයක් දැන් කරන්න හිතෙන් නෑ. මල් වවන්න මම හරි ආසයි. දැන් මල් ගහක් දිහා බලන්නෙත් නෑ. ජීවිතේ නැති කරගන්න මම දෙසැරයක් උත්සාහ කරා. ඒ දෙසැරෙම වෛද්‍යවරු මාව බේරුවා. ඇයි මාව බේරුවේ. ඇයි මට මැරෙන්න දෙන් නැත්තේ. මෙහෙම හිතනකොට ඔවුන් ගැනත් මට තරහක් ඇති වෙනවා.”

නයෝමිගෙ ජීවිතය ඊළඟ පරිච්ඡේදයට යාමට පෙර නයෝමි ගොදුරු වී ඇති මානසික තත්ත්වය පිළිබඳ විමසීමක් කරමු. නයෝමිත් ගොදුරු වී ඇත්තේ දැඩි මානසික අවපීඩනය හෙවත් විශාදියටයි. විශාදිය කියන්නේ ලෝකයේ දක්නට ලැබෙන සියලු අසනීපවලින් දෙවනි අසනීපය. ඕනෑම පුද්ගලයකු ප්‍රශ්නයක ගැටලුවක සිරවී ඉන් ගැලවීමට නොහැකිව සිතුවිලි අතර හිරවී යම් කාලයක් තුළ දැඩි ආතතියකට ගොදුරු වුණොත් ඔහු හෝ ඇය මානසික අවපීඩන තත්ත්වයට පත්විය හැක. නමුත් මානසික අවපීඩනයට ඉතා සාර්ථක ප්‍රතිකාර තිබෙන බව දන්නේ බොහෝම ටික දෙනයි. යම්කිසි පුද්ගලයකු ජීවිතය නැතිකර ගැනීමට ප්‍රධාන හේතුව මානසික අවපීඩනය බව දන්නෙත් බොහොම ටික දෙනයි.

නයෝමී දැඩි මානසික පීඩනයට ගොදුරු වීමට හේතු වූ පරිසරය විමසා බලමු. මේ ඇය පැවසූ දේ.

“මම විවාහ වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. විවාහ වුණේ යෝජනාවකින්. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. මට තාම මතකයි ඒ දවස ඒ මම ඔහු සමඟ මධුසමයට ගිය පළමු දවස. අපේ ප්‍රථම එක්වීමේදී කිසිදු ලේ යාමක් සිදුවුණේ නැහැ. ඔහුට විශාල සැකයක් ඇති වුණා. ඔහු නිතරම මගෙන් ඇහුව්වා මීට ඉස්සරලා කවුරුත් එක්කද හිටියේ කියලා. ඇත්තටම මම එහෙම කිසිම කෙනෙක් එක්ක මීට පෙර ලිංගිකව එකතුවෙලා තිබුණේ නෑ. ගෙදර පරිසරය ටික ටික වෙනස් වුණා. හිතේ පීඩනය අඩුවෙන්න කියලා ඔහු ටික ටික මත්පැන් ගන්න හුරුවුණා. මා ගැන තිබූ සැකය තව තවත් වැඩි වුණා. මට දරුණු විදිහට පහර දෙන්නත් පටන් ගත්තා. සමහර දිනවල මාව නිර්වස්ත්‍ර කර ගෙදර ඉස්තෝප්පුවට ගෙනත් බිම දණ ගහගන්න කියලා මට බෙල්ට් එකකින් පහර දෙනවා. ඇත්ත කිව්වොත් මට සමාව දෙනවා කියලා ඔහු කියන්න පටන් ගත්තා. ඒත් ඉතින් නොකරපු වැරැද්දක් මම පිළිගන්නේ කොහොමද කියලා මගේ හෘද සාක්ෂිය මට කීවා. ඔහු ටිකෙන් ටික මත්පැන් බොන එක වැඩි වුණා. ඔහුගේ සැකය තව තවත් වැඩි වුණා. ඔහු බේබද්දෙක් බවට පත්වුණා. ඔහු බේබද්දෙක් බවට පත්වුණේ මම නිසා කියලා මට චෝදනාවක් ද එල්ල කළා. හැම තැනම අවුල්. මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. මම හරිම අසරණයි. මේ ළඟදී අපි දෙදෙනාගෙම හඳහන් දෙක අරගෙන නක්ෂත්‍රකරැවකු හමුවීමට ගියා. ඔහු කීවේ තව අවුරුදු 5ක් යන තුරු දෙදෙනාටම ලොකු අපලයක් තිබෙන බවයි. අපලෙන් මිදෙන්න කියලා රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා ලොකු යාගයක් ද කළා. කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ.”

මේ දෙදෙනාම අප සායනයට යොමු වුණේ මේ සියල්ලට මුහුණ දුන් පසුවයි. මත්පැනට ගොදුරු වූ නයෝමිගේ සැමියා රෝහලේ නතර කර විශානුහරණය නැමැති විශේෂ ප්‍රතිකාරය කරා. ජීවිතය දිහා විවෘතව බලන්නත්, පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් අවශ්‍ය උපදේශනයට දෙදෙනාව යොමු කළා. ඔහුගේ මනසට තිබුණ ලොකුම ගැටලුව කන්‍යාභාවයේ පිළිබඳ ගැටලුවයි. ඉන් ඔහුගේ මනස මුදාගැනීමට භාවිතා කළ උපදේශනයේ එක් කොටසක් ඔබගේ අවදානයට යොමු කරන්නම්.

1. ඔබ නයෝමිට ආදරේද?

ඔව්... මම හුඟාක් ආදරෙයි. ඒත් මට ඇය ගැන සැකයි. මොකද ඇයගේ ප්‍රථම එක්වීමේදී රුධිර වහනයක් සිදුවුණේ නෑ. කන්‍යාභාවය නැති ගැහැනියක් අපිරිසුදු ගැහැනියක් විදිහටයි මම පුංචි කාලෙ ඉඳලම අහලා තියෙන්නේ.

2. ඔබ හිතන්නේ සෑම ගැහැනියකටම ස්වාභාවිකවම මේ කන්‍යාභාවය පිහිටලා තියනවා කියලා ද?

ඔව්... මම අහලා තියෙන්නේ එහෙම තමයි. අපේ පවුලෙත් ඔහොම සිද්ධියක් වුණා. ඒ දෙන්නා දැන් දික්කසාද වෙලා.

3. නැහැ. ඔබ වැරදියි. හැම ගැහැනියකටම කන්‍යාභාවය එහෙම නැත්නම් කන්‍යාපටලය පිහිටන්නේ නෑ. කන්‍යාපටලය මොහොතකට අමතක කරොත් ඔබ නයෝමි ගැන කියන්න තියෙන්නේ මොනවා ද?

ඇය හරිම කඩිසර ආකර්ෂණීය කාන්තාවක්. මගේ දරුවො හොඳට බලාගන්නවා. මගේ හැම වැඩකටයුත්තක්ම කරලා දෙනවා. ඇත්තට කීවොත් ඇය නැතිව ජීවත් වෙන්න මට හරිම අමාරුයි.

මේ විදිහට කල්පනා කරන්න පුරුදු කළාම නයෝමිගේ සැමියාගේ වැරදි ආකල්ප හා මිත්‍යා විශ්වාස ක්‍රමයෙන් තුනිවී ගියා. ඔහු නයෝමිගේ වටිනාකම දකින්න පටන් ගත්තා. ජීවිතය සාර්ථක කර ගැනීමටත් විනාශ කර ගැනීමටත් අපගේ ආකල්ප ගතිපැවතුම් මොනතරම් බලපානවා කියලා මේ සිද්ධියෙන් ඔබට වැටහෙනවා ඇති.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00