2018 ජනවාරි 06 වන සෙනසුරාදා

විභාග උමතුව

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 544

විභාගය ආතතියක් වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ සිසුන් ගැන නිතර අසන්නට ලැබේ. මුළු ජීවිතයම විභාගය නොවන බව දරුවන්ට අවබෝධ කළ නොහැකි වන්නේ දෙමාපියන් සහ ගුරුවරු නිසාවෙනි. මනා පෞරුෂයක් දරුවා තුළ ගොඩනැගිය හැක්කේ විභාගයන් සමත් කරවීමෙන් ම නොව ජීවන කුසලතා දරුවන්ගේ ජීවිතයට එකතු කිරීමෙනි. නමුත් රට තුළ ඇත්තේ විභාග උමතුවකි. දෙමාපිය ගුරුවරුන්ට වැළඳෙන මේ උමතුව කරන විනාශය සුළුපටු නොවේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ O/L සහ A/L විභාග ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ඔවුන්ගේ අනාගතය තීරණය කරන්නේ මෙහි ප්‍රතිඵලය මගිනි. මෑතක සිට මෙම විභාගයන්ට මුහුණදෙන දරුවන් බොහෝ දෙනෙකු විභාගයන් අසමත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. උදාහරණයක් විදිහට ගතහොත් 2008 O/L විභාගයේ ගණිතය විෂය 49%ක ප්‍රමාණයක් අසමත් වී ඇත. මෙවැනි ඛේදවාචකයන්ට දරුවා පත් වෙන්නේ ඇයි? අපි මනෝ විද්‍යාත්මකව ඒ ගැන සිතමු.
පළමුවෙන්ම අපි දැනගත යුතු කරුණ වන්නේ O/L සහ A/L විභාගයන්ට මුහුණ දෙන දරුවාගේ වයස් සීමාවයි. ඔවුහු මේ අවස්ථාව වනවිට ගැටවර වියේ පසුවන්නෝය.

නූතන මනෝ විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ගැටවර වියේ දරුවාගේ මොළයේ වර්ධනය වීම විවිධය. ඒ අනුව ගැටවර වියේ මොළය තුළ හැඟීම් පාලන මධ්‍යස්ථානය හෙවත් ඇමිග්ඩලා (Amygdale) කොටස වර්ධිතව පවත්නේය. එහෙත් එකී වයස් කාණ්ඩයේ දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ෆී පොන්ටල් (Pre-Frontal) කොටස තවමත් වර්ධනය වන අවධියේ පසුවේ. Pre-Frontal යනු පුද්ගලයෙකුගේ සංවිධාන ශක්තිය, සැලසුම් සහගත බව, නිවැරදි තීරණ ගැනීමේ ශක්තිය ආදිය සිදුකරනු ලබන කොටසය. ෆ්‍රී පොන්ටල් මධ්‍යස්ථානය වර්ධන අවධියේ පැවැතීම හේතුකොටගෙන ගැටවරවියේ දරුවාගේ හැඟීම් පාලනයට ප්‍රබලව හේතු වන්නේ ඇමිග්ඩෙලා කොටසයි. ඒ නිසා මෙවැනි වයස් කාණ්ඩයේ දරුවා නිතරම සිය තීරණ ගැනීම සිදු කරන්නේ බුද්ධියට වඩා හැඟීමට වැඩි නැඹුරුතාවක් දක්වමිනි. මේ තත්ත්වය නිසා මෙවැනි වයස් කාණ්ඩවල දරුවෝ මානසික පීඩන සහ අවුල්සහගත තත්ත්වයන්ට ඉතා පහසුවෙන් ගොදුරු වේ.

වාසනා නදීශානි O/L විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවකි. ඇය ගම්පොළ ප්‍රදේශයේ කුඩා පාසලක අධ්‍යාපන ලබන්නීය. සිය පවුලේ වැඩිමහල් දරුවා වන  වාසනාගේ එකම බලාපොරොත්තුව O/L විභාගය ඉහළින්ම සමත් වීමයි. මේ නිසාම ඇය ඉතා වෙහෙස මහන්සි වී පාඩම් කළාය. එහෙත් මෑතකදී සිට වාසනා පාඩම් කිරීමට පටන් ගත් මොහොතේ සිට ඇගේ මනසට හෝ ගතට කිසිඳු සැහැල්ලු බවක් නොමැත. ඒ වගේම තමයි වාසනාට පාඩම් කරන දේවල් වෙනදා මෙන් මතකයේ නොරැඳෙයි. මේ හේතූන් නිසා වාසනාට නිතරම සිය දෙමාපියන්ගෙන් බැණුම් ඇසීමට සිදුවෙයි. විශේෂයෙන් වාසනාගේ මව ඇයට නිතර කියන්නේ විභාගයෙන් අසමත් වුවහොත් ජීවිතයම විනාශවන බවයි. මෙවැනි අවස්ථාවන්වලදී වාසනාට පාලනය කරගත නොහැකි තරහවක් ඇති වේ. ඇය සිය මව සමඟ නිතර රණ්ඩු වේ. මේ නිසා වාසනා පසුවන්නේ කනස්සල්ලෙනි.

මේ අනුව වාසනාට පවතින රෝග ලක්ෂණ කිහිපයකි.

නිතර නිතර පවතින ඇඟ පණ නැතිවීම

කරුණු අමතක වීම

තරහායාම

මව, පියා සමඟ නුරුස්සන ගතිය

වාසනාගේ රෝග ලක්ෂණ අනුව ඇය මානසික ආතතියට පත්ව ඇත. මානසික ආතතිය යම් තරමකට අප හට ප්‍රයෝජනවත් වේ. එහෙත් එය උපරිමයට පත්වීම තුළින් හැකියාවන් සියල්ල යටපත් වේ.

වාසනාගේ කතාව අනුව වාසනාගේ දෙමව්පියන් ඇය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් සිටිති. ඔවුහු නිතර සිතන්නේ වාසනාගේ අනාගතය රැඳී ඇත්තේ විභාගයන් පදනම්ව කියාය. වාසනා ද සිතන්නේ එයමය. වාසනා ඇය සතු අනෙක් හැකියාවන් පිළිබඳ කිසිත් නොසිතයි. ඇගේ දෙමාපියෝ ද වාසනා සතු අනෙක් හැකියාවන් පිළිබඳ  නොසිතති. ඒවා අගය නොකරති. මේ අනුව වාසනා විභාගය තුළ අතරමං කරන්නේ දෙමාපියන්ය. ගුරුවරු ද ඇගේ අනෙකුත් හැකියාවන්  හඳුනාගෙන නොමැති නිසා ඒ වරද ඔවුන් අතින් ද සිදුවේ. අපේ රටේ තරුණ සිසු දරුවන්  මුහුණ පා සිටින්නේ මේ අභාග්‍යයටය. මේ සඳහා වගකිව යුත්තේ දෙමාපිය, ගුරු දෙගුරු දෙකොටස පමණක්ද? නැත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික රටාව තුළ පාසල් හැර යන දරුවාට සුදුසු රැකියාවක් දීමට රජයට හැකියාවක් නොමැත. රැකියාවක් සැපයීමේ ඇති අවිධිමත් බව මේ තරැණ අසහනකාරී තත්ත්වයට පසුබිම් වේ. 

ශ්‍රී ලංකාවේ 2005 වසරේ කළ සමීක්ෂණයකට අනුව තරැණ පාසල් සිසුන්ට ඇති ප්‍රධානතම ආතතිය විභාග ආතතියයි. උතුරැ නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙන දරැවන් පමණක් කියා සිටින්නේ තමාට ඇති ප්‍රධානතම ප්‍රශ්නය ආර්ථිකය කියාය. 
මේ නිසා රටේ ප්‍රතිපත්ති සකසන්නන්ගේ මොළය අවදි වියයුතුය. එවිට විභාග අසමත් වීම, විභාගය තුළින් ඌණ සාමාර්ථ ගැනීම ආදියට නිසි විසඳුම් ලැබේවි.

තාරුණ්‍යයේ සිටින දරුවාට සමීප වීම ගැන දෙමව්පියන්ට ගැටලු පවතී. කුඩා කාලයේ තම දරුවා සමඟ සමීප සබඳතාවක් දක්වන දෙමාපියෝ ගැටවර වියට පා තබනවිට ඔවුන්ගෙන් ඈත් වෙති. මේ නිසා ගැටවර වියේ සිටින බොහෝ දරුවන් මානසික මෙන්ම සිතුවිලිවලින් ද හුදකලා වෙති. තාරැණ්‍යයට පිවිසෙන ඔබේ දරුවා ගැටලුවලින් බේරාගැනීම ඔහු/ ඇයගේ හොඳම මිතුරා වීම ඉතා වැදගත් කරුණකි. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00