හිසරදය යනු මහ එපා කරපු අපි කාටත් හැදෙන වේදනාකාරී සෞඛ්‍යය ගැටලුවක්. අප කාටත් හිසරදයක් ඇති වූ විට වේදනාවකට වඩා ඇතිවන්නේ නොරිස්සීමක්. වෛද්‍ය විද්‍යාවට අනුව නම් මොළය විසින් සෘජුවම හිසරදය ඇතිවන්නට සංඥා නිකුත් කරනු ලබන්නේ නෑ. හිසරදය ඇතිවන්නේ ස්නායු, මොළයේ ඇති රසායනික ද්‍රව්‍ය, රුධිර නාල සහ පටක විසින් නිකුත් කරනු ලබන සංඥා අනුවයි. ඒ වගේම, වෛද්‍යවරුන් පවසන්නේ හිසරදය ඇතිවීමට විවිධ හේතු බලපාන බවයි. අපි අද දේශය පාඨක ඔබ, ලිපිය මගින් දැනුවත් කිරීමට සූදානම් වන්නේ එකිනෙකට වෙනස් වූ හිසරදයේ වර්ග කිහිපයක් පිළිබඳවයි.
01. නැවත නැවත ඇතිවන හිසරදය “Rebound Headaches”
මෙවන් හිසරදයක් ඇතිවන්නේ සමහර ඖෂධ වර්ග වැඩි වශයෙන් පානය කිරීම නිසයි. උදාහරණයක් ලෙස “Ibuprofen (Advil, Motrin)”, “Aspirin” සහ “Acetaminophen (Tylenol)” වැනි ඖෂධ වර්ග වැඩිවශයෙන් පානය කිරීම නිසා සතියක කාලයක් නොනවත්වා හෝ අතරින් පතර හිසරදය ඇතිවනවා. ඉරුවාරදය (මිග්‍රේන්) වැනි තත්වයන් සඳහා පානය කරන “Triptans” වැනි ඖෂධ මසක් ඇතුළත දින දහයකට වඩා පානය කිරීම නිසාත් “Rebound headaches” ලෙස හඳුන්වන නැවත ඇතිවන හිසරදය ඇතිවනවා. නාසයට අල්ලනු ලබන බෙහෙත් වර්ග දිනපතා භාවිතා කිරීමත් මේ හිසරදය ඇතිවන්නට පුළුවන්. මෙවන් විටෙක මෙම බෙහෙත් වෛද්‍ය උපදෙස් මත වෙනස් කරගත යුතුයි.
02. ආතතිය නිසා ඇතිවන හිසරදය “Tension Headaches”
මෙවන් හිසරදයක් ඇතිවන්නේ නළලේ දෙපැත්තෙන්, බෙල්ල පිටුපසින් සහ උරහිස් පෙදෙසින්ය. මේ තත්වය ඇතිවන්නේ කාංසාව පාලනය කළ නොහැකි මානසික ආතතිය වැනි තත්වයන් නිසයි. මෙවන් හිසරදයක් ඇති වූ විට ඉහත සඳහන් කළ ස්ථාන සියල්ලෙන්ම වේදනාව ඇතිවනවා. මිනිස් මොළය තුළ සිදුවන රසායනික මට්ටම්වල විවිධ විපර්යාස මෙවන් හිසරදයකට බලපාන බව තමයි කියන්නේ. ඒ වගේම, හිසරදය ඇති වූ අවස්ථාවේ මොළයේ ස්නායු විසින් එවනු ලබන සංඥා නිසාත් මෙවන් හිසරදයක් උත්සන්න වන බව වෛද්‍යවරුන් පවසනවා. සාමාන්‍යයෙන් මෙවන් හිසරදයක් ඇතිවූ විට “Ibuprofen”, “Aspirin” සහ “Acetaminophen” වැනි වේදනා නාශකයක් ලබාගෙන වේදනාව සමනය කරගන්නට පුළුවන්.
03. දත් කැක්කුමත් සමඟ එන හිසරදය “Dental Headaches”
දත් කැක්කුම නිසා ඇතිවන හිසරදයත් වේදනාකාරී හිසරද වර්ගවලින් තවත් එක් හිසරදයක්. දත්වල ඇතිවන විවිධ සංකූලතා නිසයි මේ හිසරදය ඇතිවන්නේ. මේ හිසරදය නිසා මුහුණේ ඇතිවන වේදනා බරිත තත්වය සාමාන්‍ය වෛද්‍ය ව්‍යවහාරයේදී “Bruxism” ලෙස හඳුන්වනවා. ඒ වගේම, මේ හිසරදය “TMJ නැතිනම් Temporomandibular සන්ධි ආබාධය” ලෙස හඳුන්වන සෞඛ්‍යය ගැටලුවක් නිසාත් ඇතිවනවා. මෙහිදී සිදුවන්නේ ඔළු කට්ට හක්කට සම්බන්ධ වන සන්ධියේ ආබාධයක් ඇතිවීමයි. “Temporomandibular සන්ධි ආබාධය” හක්කේ හැඩය වෙනස් වීම, අධික මානසික ආතතිය, හක්කේ මාංශ පේශීවල දුර්වලතාවයන් නිසා ඇති වනවා. හක්ක ප්‍රදේශය මඳ උණු ජලයෙන් තවා මේ වේදනාවට සුළු සහනයක් සලසාගන්නට පුළුවන්. මෙවන් තත්වයකදී දන්ත වෛද්‍යවරයෙකු මුණගැසීම ඉතා වැදගත් වනවා.
04. එක තැනකට රොක්වන හිසරදය “Cluster Headache”
එක තැනකට රොක්වන හිසරදය සියදිවි නසාගැනීමේ හිසරදය “Suicide Headaches” ලෙසත් හඳුන්වනු ලබනවා. මෙවන් හිසරදයක් ඇතිවූ විට එය ක්‍ෂණිකයෙන් ඇතිවී, දැඩිවී, නැතිවී යනවා. මෙවන් හිසරදයක් ඇතිවී තිබෙන උපරිම කාලය වන්නේ විනාඩි 15 ත් පැය 3 ත් අතර කාලයක්ය.
මේ හිසරදය දිනපතා ඇතිවීමක් ගැන සහ හිසරදය ඇතිවන නිශ්චිත කාලයක් ගැනවත් නිශ්චිතව සඳහන් වන්නේ නෑ.“Cluster” හිසරදය ඇති වූ විට ඇස් රතු පැහැවී එක් ඇසකින් හෝ ඇස් දෙකෙන්ම කඳුළු ගැලීමක් සිදුවනවා. මේ හිසරදය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින්ට ඇතිවනවා. “Cluster” හිසරදය ඇතිවන්නට විවිධ හේතු බලපාන අතර ප්‍රධානතම හේතු ලෙස දුම්පානය, ශරීරය වඩාත් උසවීම සහ හිසරදය වැඩිවීමට හේතුවන විවිධ ආහාර පරිභෝජනය කිරීම හඳුන්වා දෙන්නට පුළුවන්. මෙවන් හිසරදයක් “OTC” වේදනා නාශක ලබාගෙන සුවකළ නොහැකි අතර “Triptans” ඖෂධය සහ ඔක්සිජන් ලබාගැනීම මගින් මේ හිසරදය සුවකර ගන්නට පුළුවන්. ඒවා කළ යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේ බව සිහි තබාගන්න.
05. ඉරුවාරදය “Migraines”
හිසරදයන් අතරින් දරුණුතම හිසරදය වන්නේ ඉරුවාරදයයි. කාන්තාවන්ට ඉරුවාරදය ඇතිවීමේ අවදානම පිරිමි පුද්ගලයින්ට වඩා තුන්ගුණයකින් වැඩිවනවා. හෝමෝනවල සිදුවන වෙනස්වීම්, මානසික ආතතිය වැඩිවීම, ආහාර ගැනීමේ සහ නිදා ගැනීමේ අහිතකර හුරුපුරුදු නිසා ඉරුවාරදය ඇතිවනවා. ඇතැම් විට ඉරුවාරදය රෝගීන්ට වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ තමාට ඉරුවාරදය ඇතිවීමට බලපාන හේතුව තමා විසින්ම නිරීක්ෂණය කර ඒවායින් වැළකෙන ලෙසයි. උදාහරණයක් ලෙස යම් අයෙක් ආහාර වේලක් මගහරින නිසා ඉරැවාරදය ඇතිවනවා නම් ඒ පුද්ගලයා කිසි විටකවත් ආහාර වේලක් මගහැරිය යුතු වන්නේ නෑ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක් තමා මේ.
06. කැෆේන් නිසා ඇතිවන හිසරදය “Caffeine Headaches”
මේ හිසරදය ඇතිවන්නේ කැෆේන් අඩංගු පානයන් නිතරම පානය කිරීමේ පුරුද්ද නිසයි. උදාහරණයක් ලෙස උදෑසන කෝපි කෝප්ප දෙක බැගින් දිනකට පානය කරන පුද්ගලයෙක් ගමු. සෑම දිනකම සිදුකරන මේ පුරුද්ද නිසා දිනපතා මේ කෝපි කෝප්ප දෙක පානය නොකිරීමෙන් හිසරදය ඇතිවන්නට පුළුවන්. දිනකට කෝපි වැඩි වශයෙන් පානය කිරීමෙනුත් කැෆේන් හිසරදය ඇතිවනවා. කැෆේන් හිසරදය ඇතිවන රෝගීන්ට වෛද්‍යවරැන් පවසන්නේ මේ කැෆේන් පානය කිරීමේ පුරුද්ද දිනපතා සිදුකිරීම හෝ කැෆේන් පානය කිරීමේ පුරුද්ද සම්පූර්ණ වශයෙන් නතරකර දමන ලෙසයි.
07. සුරතාන්තයේදි ඇතිවන හිසරදය “Orgasm Headaches”
ලිංගික සංසර්ගයේදී කාන්තාවන්ට මෙන්ම පිරිමි පුද්ගලයින්ටද මේ හිසරදය ඇතිවනවා. නිතරම වාගේ මේ හිසරදය ඇතිවන්නේ ලිංගික සංසර්ගය ආරම්භ කළ සැනින්ම සහ සංසර්ගය අවසන් කළ අවස්ථාවේදීයි. මේ හිසරදය එතරම් වේදනාකාරී නොවෙන්නත් වඩාත් වේදනාකාරී වන්නත් පුළුවන්. හිසරදයේ තත්වය අනුව එක දිනක් හෝ දින කිහිපයක් මේ හිසදරය ඇතිවී තිබෙන්නට පුළුවන්. ඔබට ලිංගිකව එක්වන සෑම අවස්ථාවකදීම මේ හිසරදය ඇතිවනවා නම් ලිංගික සංසර්ගයට ප්‍රථමයෙන් වේදනා නාශකයක් ලබාගන්න.
08. උදෑසනම ඇතිවන හිසරදය “Early morning headaches”
ඔබටත් උදෑසන හිසරදයක් සමඟම අවදිවනවා නම් මෙයට හේතුව වන්නේ උදෑසන හටගන්නා ඉරුවාරදය හෝ ඔබ පසුදා රාත්‍රියේදී ලබාගත් ඖෂධ නිසා ඇතිවන “Rebound” හිසරදයයි. නින්දෙන් ගොර අදින පුද්ගලයින්ටද උදෑසන හිසරදය ඇතිවනවා. ඒ වගේම, උදෑසන ඇතිවන හිසරදය මොළයේ පිළිකාවේ රෝග ලක්‍ෂණයක් වන්නටත් පුළුවන්. ඔබටත් උදෑසන හිසරදය ඇතිවනවා නම් වෛද්‍ය පර්යේෂණයකට යොමුවන්න.
09. කෝටර හිසරදය “Sinus Headaches”
මිනිසුන් විශාල ප්‍රාමාණයක් කෝටර හිසරදය ඉරුවාරදය සමඟ පටලවා ගනු ලබනවා. මේ හිසරදය වර්ග දෙකෙහිම ඇතිවන රෝග ලක්‍ෂණ එකිනෙකට සමානයි. ඒ ඇස්වලින් කඳුළු ඒම, නාසය සිරවීම වැනි රෝග ලක්‍ෂණ. කෝටරයක් යනු මුහුණේ නාසය අවට අස්ථි අතර පිහිටි කුහර විශේෂයකි. මෙවන් කෝටරයක් තුළ සොටු දියර එකතුවී ඇතිවන ආසාදන තත්වයක් කෝටර දාහය නමින් හදුන්වනවා. කෝටරක ප්‍රදාහය ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මගින් සුවකරගන්නට පුළුවන්.
10. අයිස්ක්‍රීම් නිසා ඇතිවන හිසරදය “Ice Cream Headache”
ඉතා ශීත අයිස් ක්‍රීම් සහ ජූස් වර්ග පරිභෝජනය කිරීම නිසා මේ හිසරදය ඇතිවනවා. මේ වේදනාව හිස තුළ තදින්ම ඇතිවනවා. ඉරුවාරදය ඇතිවන පුද්ගලයින්ට විශේෂයෙන්ම මෙවන් ශීත ආහාරයක් අනුභව කිරීමේදී මේ හිසරදය බොහෝ සෙයින් ඇතිවනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මේ තත්ත්වය හඳුන්වනු ලබන්නේ “Sphenopalatine Ganglioneuralgia” ලෙසයි. මේ තත්ත්වය ඇතිවන්නේ ශීත කළ ආහාරයක් අනුභව කිරීමේදී උඩු තල්ල ශීත වීමෙන් මොළය තුළට රුධිරය සංසරණය කරන ධමනි වේගවත් වීම නිසයි. ඔබට මේ හිසරදය ඇති වූ විට ශීත ආහාර අනුභවයෙන් වැළකී ක්‍ෂණිකවම උණුජලය පානය කරන්න. මේ නිසා මොළය තුළ සිදුවන රැධිර සංසරණය සාමාන්‍ය තත්වයට හැරීමක් සිදුවනවා.
11. දිනපතා ඇතිවන නිදන්ගත හිසරදය “Chronic Daily Headaches”
ඇතැම් පුද්ගලයින්ට එක් මසකදී දින පහළොවකට වැඩි දින ගණනක් හිසරදය පැවතී තිබෙනවා. මෙවන් පුද්ගලයින්ට මේ හිසරදය අධිකව දිනපතා ඇතිවනවා. මෙවන් හිසරදයන් ඇතිවන්නට මුල්වන කාරණය තමයි හිසරදය දුරු කිරීමටම පානය කරන ඖෂධ සහ වෙනත් හිසේ ආබාධයකට පානය කරන ඖෂධ. මෙය මොළයේ පිළිකාව හෝ “meningitis” බැක්ටීරියා ආසාදනයේ රෝග ලක්‍ෂණයක් වන්නටත් පුළුවන්. ඔබටත් මේ ආකාරයේ හිසරදයක් ඇත්නම් ප්‍රති–විෂාද ඖෂධ, අධි රුධිර පීඩනය සහ පපුවේ වේදනාව සුවකරන ඖෂධ “Propanolol” සහ “Gabapentin”, “Topiramate” සහ “Aleve” වැනි වේදනා නාශක ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබාගෙන පානය කරන්නට පුළුවන්.
14. හදිසි හිසරදය “Emergency Headaches”
මේ හිසරදය ඇතිවන්නේ නොසිතු අවස්ථාවක ඉතා ක්‍ෂණිකවයි. එවිට හිස තුළ යම් දෙයක් පිපිරී ගියා මෙන් හැඟීමක් ඇතිවනවා. මෙවන් හිසරදයක් උණ ගැනීමත් සමග, අධි රුධිර පීඩනයේ දී සහ හිසේ යම් දෙයක් තදින් වැදීම නිසාත් ඇතිවනවා. හදිසි හිසරද තත්ත්වයේ රෝග ලක්‍ෂණ වන්නේ බෙල්ලේ තදගතිය, මාංශ පේශී දුර්වල වී සංවේදීතාවය නැතිවීම සහ ඇසීමේ සහ පෙනීමේ ඇතිවන වන වෙනස්කම්ය.
සුගත්