ජීවිතය ලස්සන වෙන්න මනෝවිද්‍යාව හොඳ විෂයයක්. දරුවාගේ මනසට ගැලපෙන විදිහට පංති කාමරයට ගැලපෙන විදිහට මනෝ විද්‍යාව දරුවන්ට උගන්වන්න පුළුවන් නම් ජීවිතයේ එන බොහෝ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ඔවුන්ට සොයාගන්නට පුළුවන් වෙනවා.
බොහෝ මනෝ විද්‍යා පොත් සිංහලෙන් ලියවිලා තියෙනවා. ඒවායේ භාෂාමය ස්වභාවය, අප්‍රභංස කරුණු, ප්‍රායෝගිකත්වයෙන් ඈත්වුනු උදාහරණ නිසා මෙම විෂය සංකීර්ණ වී අපගෙන් ඈත් වී තිබෙනවා. ජීවිතයට මනෝ විද්‍යාවේ ඇති වැදගත්කම පහත සඳහන් සුමාලිගේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා.
සුමාලිගේ වයස අවුරුදු 35යි. දරැවො දෙන්නෙක් සිටිනවා. මාස 4 වන පුංචි දරුවත් අතේ තියාගෙන සුමාලි අපගේ සායනයට යොමුවුණේ ඇගේ ස්වාමියාගේ සහෝදරියක සමගයි. සුමාලි මෙසේ ඇගේ කතාව පටන් ගත්තා. ඇගේ කතාව කියාගෙන යන අතරේ ඇස්වල කඳුළු පිරිල තිබුණා. දුක සහ ශෝකය මුහුණින් ප්‍රකාශ වුණා.
මට හැමදේම එපාවෙලා ඇඟට පණ නෑ. ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි නිතරම එනවා. නින්ද අඩුයි. ප්‍රධානම ගැටලුව මට හරියට තරහ යනවා. මගේ මහත්තයගෙ නම සුමිත්. ඔහු ආයතනයක විධායක නිලධාරියෙක්. පසුගිය අවුරුදු 8 තුළම මම ඔහු සමග නිතරම රණ්ඩු වුණා. හැබැයි මට මේ තරහ ඒම පටන් ගත්තෙ පළවෙනි දරුවා හම්බවෙලා මාස 4කට පස්සෙ. ඉස්සර මට එහෙම තරහ ගියේ නෑ. අපි දෙන්න හරිම සතුටින් හිටියෙ. මුල් කාලෙ පටන් අද වෙනකම් ජීවිතය එපා වීම, කලකිරීම දිගටම වගේ තිබුණා. මට සුමිත් නිතරම කීවෙ තමුසෙත් එක්ක මට ඉන්න බෑ. මම වෙන කවුරු හරි හොයාගන්නවා කියලා. එහෙම කියන විට මම තව තවත් රණ්ඩු වුණා. ඒත් මම එක දවසක් කීවා මාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්ක යන්න කියලා. එතකොට ඔහු මෙහෙම කීවා. ඕවා උඹලගෙ ජානවලින් එන ඒවා. ඕවා සනීප කරන්න පුළුවන් ඒවා නෙවෙයි.
මෙසේ කියාගෙන යන අතර සුමාලි තදින්ම හඬන්න පටන් ගත්තා. මාස 4ක් වෙන පුංචි දරැවා අතේ තියාගෙන හිටියේ සුමිත්ගෙ නංගි. ඇය මෙසේ කීවා.
ඩොක්ටර්, දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මගේ අයියට දැන් වෙන සම්බන්ධයක් තියෙනවා. ඒකටත් අවුරුද්දක් වෙනවා. ඔහු ඒ සම්බන්ධතාවය අතහරින්න කිසිම අදහසක් නෑ. එයා දැන් සුමාලිගෙන් දික්කසාදය ඉල්ලනවා. බැරිම තැන දැන් සුමාලි දික්කසාද වෙන්න තීරණය කරලා. ඒත් අපිට බයයි පුංචි දරැවගෙ වයස මාස 4යි. අනිත් දරැවට අවුරැදු 8යි. සුමාලි නිතරම ජීවිතේ නැති කර ගන්නවා කියලා කියනවා. එහෙම වුණොත් මෙතන මහ විනාශයක් සිදුවෙනවා.
සුමාලිගේ ස්වාමියා හෙවත් සුමිත් අපි සායනයට ගෙන්වා ගත්තා. ඔහු මෙසේ පැවසුවා.
ඇයට තිබුණු ලොකුම ගැටලුව අසාමාන්‍ය ලෙස තරහ යාම සහ පිළිවෙලක් නැතිකම. ඇගේ හැසිරීම නම් වෙනස් වුණේ පළවෙනි බබා හම්බවෙලා මාස හතරකට පසුවයි. මට නිවස හා පරිසරය හැමදේම එපාවෙලා හිටියේ. ඊට පස්සේ තමයි මම අලුත් සම්බන්ධතාවයක් ඇතිකර ගත්තේ. දැන් මම ඇයව බඳින්න තීරණය කරලා තියෙන්නෙ. සුමාලි දික්කසාද වෙන්නත් කැමති වුණා. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මම හුඟක් ඉවසුවා.
සුමාලිට සහ සුමිත්ට වැරදුනු තැන කොතැනද? සුමිත් සුමාලිව විවාහ කරගෙන තිබුණෙ අවු. 3ක් ආදරය කරලා. සැබැවින්ම සුමිත්ට සුමාලිව එපා වුණේ ඇගේ අධික කෝපය සහ අපිළිවෙළ වැනි දේ සමගයි. ඇත්තටම සුමාලි ගොදුරුවෙලා තිබුණෙ දරුවා ලැබීමෙන් පසු කාන්තාවන්ගෙන් 10%ක් පමණ ගොදුරු වන මානසික අවපීඩනය හෙවත් විශාදය නැමති තත්ත්වයටයි. සාමාන්‍යයෙන් දරුවා ලැබී පළමු මාස 6 තුළ කාන්තාවක් මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.
මානසික අවපීඩන ලක්ෂණ
• නිතර තරහ යාම හා කෝපය.
• ජීවිතය කලකිරීම හා එපා වීම.
• එදිනෙදා දරුවාගේ සහ ගෙදර වැඩ කිරීමට ඇති ශක්තිය හීන වී යාම.
• ලිංගික ආශාව අඩුවීම.
• නින්දේ සහ කෑම රුචියේ නොයෙකුත් වෙනස්කම් ඇතිවීම.
• සමහර විට දරැවා බලා ගැනීමට නොහැකි වීම හෝ දරුවාට බය වීම.
සුමාලි ප්‍රතිකාරවලට යොමුවිය යුතුව තිබුණේ පළමු දරුවා හමු වී මානසික අවපීඩන ලක්ෂන මතුවීමත් සමගයි. අවාසනාවකට කිසිවෙකුට එය පෙනුණේ හෝ දැනුණේ නැත. කිසිවෙකුත් මෙය අසනීපයක් ලෙස හඳුනාගෙන තිබුණේ නැත. ප්‍රතිකාර සහ උපදේශනයට එදා යොමුවූවා නම් අවුරුදු 3ක් ආදරය කර විවාහ වුණු සුමාලි සහ සුමිත් තවමත් ආදරයෙන් සිටිනවා විය හැකිය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක