ඔබට ඔබේ ළමා කාලය කියන්නේ අභිමානයක්. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ළඟ දුවලා පැනලා සෙල්ලම් කරපු කාලය ඔබට තවමත් මතක ඇති. ඒ කාලය නැවතත් අත් විඳින්න පුළුවන් නම් ජීවිතය මොන තරම් සුන්දර ද කියලා ඔබට තවමත් හිතෙනවත් ඇති. ළමා කාලය ගැන මෙසේ ඔබ සිහින මැව්වත් තවත් පිරිසකට මේ මතකයන් අමිහිරි අත්දැකීම් වෙන්නත් පුළුවන්.
ළමා ලිංගික අපයෝජනය අපි හිතනවාට වඩා පැතිරී ගිය ඛේදවාචකයක්. සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මසකට ළමුන් 100 දෙනකු පමණ ලිංගික අතවරවලට ගොදුරු වී රෝහල් ගත වන බව වාර්තා වේ. මේ බොහෝ දැරියන් අවු.15ට අඩු බවද වාර්තා වෙනවා. අපේ රට තුළ අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක් වෙන කුඩා දැරියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ වී තිබෙනවා. නමුත් බොහෝ ලිංගික අපයෝජන බිය හෝ ලජ්ජාව නිසා අදාළ දරුවාගේ දෙමාපියන් හෝ නෑදෑයින් විසින් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට නොගොස් සඟවාගෙන සිටිනවා. මෙම හේතුව නිසා නිවැරදි සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු වෙනවා.
ළඟම ඥාතීන් අතර සිදුවන ලිංගික සබඳතා හෝ අපයෝජනයන් අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ 364 A යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සැළකෙනවා. මීටත් වඩා වැදගත් වනුයේ කුඩා දරැවකු ලිංගික අපයෝජනයකට ලක් වූවිට ඉන් මනසට වන බලපෑම මුලු ජීවිතයම අඳුරු වීමට හේතු වීමයි.
ඇගේ නම නයෝමි. වයස අවු. 25යි. ඇය දැන් විවාහ වී අවුරුදු දෙකයි. ඇගේ ස්වාමියා ඇයට හමු වුණේ යෝජනාවකින්. ඇය විවාහයකට ඇතුල් වුණේ ඇයට තිබුණු ආශාවටත් වඩා දෙමාපියන්ගේ බලපෑම මතයි. නයෝමි විවාහයකට කැමැත්තක් නොදැක්වූ බවත් ලිංගික ආශාව ඇයගෙන් ඈත් වී තිබෙන බවත් දෙමාපියන් දැනගෙන හිටියේ නෑ. නයෝමි මනෝ වෛද්‍ය සායනයට යොමු කළේ ඉංජිනේරුවරයකු වන ඇගේ ස්වාමියායි. ඔහු නයෝමිගේ ගැටලුව ඉදිරිපත් කළේ මෙසේය.
නයෝමි මට හමුවුණේ යෝජනාවකින්. නමුත් දැන් ඇය සමඟ ජීවත් වීම මට එපා වෙලා. ඇය මා සමඟ ලිංගිකව එකතු වෙන්නේ කිසිම ආශාවකින් නෙවෙයි. ඇය කියනවා ලිංගික සංසර්ගයෙන් හෝ ස්පර්ශයෙන් ඇයට කිසිම ආශ්වාදයක් නොලැබෙනවා කියලා. ඇය හරිම බයකින් හා චකිතයකින් තමයි ලිංගික කාර්යයට ඇතුළු වන්නේ. ඇයට හරියට තරහා යනවා. කිසිම දේක හොඳක් දකින්නෑ. හැමදේකම වැරදි හොයනවා. සමාජෙට යන්න බයයි. ගෙදරට කොටු වී සැඟවී ඉන්න තමයි කැමති. මට හිතෙන්නේ ඇය අවුල් වූ චරිතයක්. කොතනක හෝ සැඟවුණු දෙයක් තියෙනවා. මට ඒක හිතා ගන්න බෑ.
ඔහුගේ කතාව අවසන් කළ පසු නයෝමි ඇයට හිතෙන දේ මෙසේ පැවසුවා.
මගේ ස්වාමියා හරිම හොඳයි. ඔහු මට හරිම ආදරෙයි. ඒක මම දන්නවා. මේක ඔහුගේ වරදක් නෙවෙයි. මට කිසිම දේකින් සතුටක් ලබන්න බැහැ. ඒ වගේම සෑහීමකට පත් වෙන්නත් බෑ. මට ලිංගික සිහින හෝ ආශාවක් නෑ. මම ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්නේ ඔහුට ඕන නිසා. ආශ්වාදයකට වඩා මට දැනෙන්නේ වේදනාවක් පිළිකුලක්.
තව දුරටත් ඇගේ කුඩා කාලය ගැන අපි විමසුවා. ඇය සැමගෙන්ම සඟවාගෙන සිටි අපූරු රහසක් මෙසේ හෙළි කළා.
එතකොට මගේ වයස අවු. 10යි. අපේ අම්මා රට යනකොට මට වයස අවු. 9යි. රට ගියේ අපිට ලස්සන ගෙයක් හදන්න ඕන නිසා. අපේ තාත්තා කළේ වඩු වැඩ. මට තව අයියා කෙනෙක් හිටියා. එතකොට ඔහුගේ වයස අවු. 15යි. අම්මා රට ගියාට පස්සේ අයියාගේ ජීවිතෙත් හුඟක් අවුල් වුණා. සමහරදාට ඉස්කෝලේ යන්නේ නැතුව යාළුවොත් එක්ක සිගරට් බොන්න, කට්ටි පනින්න ඔහු පුරුදු වුණා. එදා දිනේ තාමත් මට හොඳට මතකයි. එදා අයියා ගෙදර හිටියේ නෑ. තාත්තා ගෙදර හිටියේ. මගේ හිසේ කැක්කුමක් හැදිලා මම ඉස්කෝලේ ගියේ නෑ. මම ඇඳේ හාන්සි වෙලා හිටියේ. තාත්තා පැනඩෝල් දෙකකුයි, වතුර එකකුයි අරගෙන මගේ ළඟට ආවා. හිමින් හිමින් ඔහු මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා. මට ලොකු බයක් ඇති වුණා. ඒත් බැහැ කියන්න මම බය වුණා.
දවසක් ඔහු මොනවද කරා. මට ලොකු පිළිකුලක් දැනුණා. මම ඔහුව තල්ලු කරලා දැම්මා. අම්මට හරි අයියාට හරි කිව්වොත් මාව මරනවා කීවා. මේ බයටම බොහෝ දිනවල මේ ලිංගික එකතු වීමට මම ඔහුට ඉඩ දුන්නා. අදටත් මගේ පියා ජීවත්ව සිටිනවා. මම ඔහුව දකින්න ආස නෑ. සමහර දිනවල ඔහු අපේ ගෙදර එනවා. එතකොට මට ලොකු බයක් දැනිලා හුඟක් දාඩිය දානවා. ඔහුට මූණ නොදී ඉන්න බලනවා. කමරේ හැංඟෙනවා.
ළමා ලිංගික අපයෝජන ඔබගේ ජීවිතය අඳුරු කරන ඛේදවාචකයක්. ඔවුන්ගේ ජීවිත මානසික ගැටලු රාශියකින් කෙළවර වෙන්න පුළුවන්. ඉහත නයෝමි කුඩා කළ අපයෝජනයට ලක් වීම නිසා ප්‍රධාන මානසික ගැටලු රුසකට ගොදුරු වී සිටිනවා. ඒවා නම් ලිංගික සිහින නැති වීම සහ ආශාව අඩු වීම. (Hypoactive sexual desire) මානසික අවපීඩනය හෙවත් විශාදිය නැමති මානසික රෝගයේ ලක්ෂණ පහළ වීම.
උදා –
ස්වාමියා සමඟ හොඳ සබඳතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම.
නිතර කිපෙන සුළු බව.
ආදරණීය බවක් නොමැති වීම.
කිසිම දෙයකින් ආශ්වාදයක් හෝ සතුටක් නොලැබීම.
සෑම දෙයකම වැරදි සෙවීම සහ දැකීම.
දරුවකු ලිංගික අපයෝජනයට ලක් වීමේදී මොළයට සියුම් ලෙස හානි සිදුවන අතර සංකීර්ණ රසායනික හෝමෝන ප්‍රතික්‍රියා රාශියක් සිදු වෙනවා.
නයෝමි සහ ඇගේ සැමියාගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට දෙදෙනාම මනෝ උපදේශනයට යොමු කළේය. මෙහිදී සිතුවිලි ප්‍රතිකාරය (Lognitive Therapy) සහ ලිංගික ප්‍රතිකාර (Sex Therapy) ක්‍රම භාවිතා කිරීමෙන් විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් දෙදෙනාගේම ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වුණි.
ළමා කාලය තුළ දරුවකු රුක ගැනීම ඔබගේ, දෙමාපියන්ගේ සහ රජයේ ද යුතුකමකි. ළමා රක්ෂක අධිකාරියට මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. ඔවුන් විසින් දැනට ක්‍රියාත්මක කරන බොහෝ වැඩසටහන් වඩා විද්‍යාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීමෙන් සැබෑ ප්‍රයෝජනයක් ගත හැකි වෙනවා.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක