ආතතිය කියන්නේ හොඳ දෙයක්. යම් කාලයකදී ප්‍රමාණවත් ආතතියක් මනසට සහ ශරීරයට ප්‍රබෝධයක් සහ අවදි වීමක් ඇති කරනවා. එම අවදි වීම තුළ අප කරන කාර්යයන් බොහෝ සෙයින් සාර්ථකත්වයට පත් වෙනවා. නමුත් දැඩි ආතතිය හෙවත් කල් පවතින ආතතිය අපගේ මනස සහ ශරීරය දෙකම ඉක්මනින් දිරාපත් වීමට හා විඩාවට පත් කෙරෙනවා.
කල් පවතින ආතතිය මානසික අවපීඩනය හෙවත් විශාදිය ඇති වීමට ප්‍රධානම හේතුවයි. අද වෙනකොට විශාදිය සියලුම අසනීපවලින් දෙවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මිනිසාගේ ජීවිතය අවුල් කිරීමට මෙන්ම පරිහානියට පත් වීමට ප්‍රධානම හේතුවක් ලෙස විශාදිය හෙවත් මානසික අවපීඩනය හොයාගෙන තියෙනවා.
ලිංගිකත්වය කියන්නේ ස්වාභාවික ආශාවක්. එය ආහාරයට තියන ආශාව වගේම මිනිසා තෘප්තිමත් වන ආශ්වාදයක්. එය ව්‍යයාමයක්. එක ලිංගික එකතුවීමකදී ශරීරය තුළ එකතු වන අනවශ්‍ය ශක්තියෙන් කැලරි 200ක් පමණ වැය වන බව සමීක්ෂණවලින් සොයාගෙන තියෙනවා. ලිංගික එකතු වීමකදී සතුට ගෙන දෙන රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වීම වැඩි වෙනවා. අනවශ්‍ය ලෙස කෝටිසෝල් කියන හෝමෝනය ස්‍රාවය වීමද අඩු වෙනවා. බොහෝවිට අපේ මනසේ ඇතිවන විඩාව ශරීරය තුළ ඇති වන දිරාපත් වීම හෙවත් බොහෝ අසනීපවලට ගොදුරු වීම ආරම්භ වන්නේ කෝටිසෝල් වැඩි වීමත් සමඟ කියලා විශේෂඥයන් පවසනවා. වැඩිපුර කෝටිසෝල් හෝමෝනය ශ්‍රාවය වනවිට එය ලිංගික ආශාව අඩු වීමටද බලපාන බව විද්‍යාත්මක මතයයි. කල් පවතින ආතතියේදී මේ ඇතිවන හෝමෝන සහ රසායනික වෙනස්වීම් සමඟ ඔබ කලබල පුද්ගලයකු බවට පත් වෙනවා. ක්‍රමානුකූලව ඔබගේ ලිංගික ආශාවද අඩු වී යනවා.
දැඩි ආතතියකදී ඔබගේ මනසේ ඇති වන විඩාවත් සමඟ ලිංගික ආශාව අඩු වීමට තවත් ප්‍රධාන හේතු දෙකක් මුල් වෙනවා. ඒවා නම් කාන්තාවකගේ යෝනි මාර්ගය හොඳින් තෙත් නොවීම සහ පිරිමියකුගේ ශිෂ්ණය හොඳින් ප්‍රාණවත් නොවීම. ඔබගේ ජීවිතය සංකීර්ණ වන තරමට ඒ සමාන වේගයෙන් ආතතිය ද ඔබ පිටුපස හඹා එනවා. ආතතිය නිසි ලෙස කළමණාකරණය නොකළොත් විඳිනවාට වඩා වෙන්නේ ජීවිතය විඳවන්න. අපි කුමුදුගේ කතාව බලමු.
කුමුදු අපගේ සායනයට යොමු වුණු තවත් කාන්තාවක්. ඇයගේ මුහුණින් විඩාබර බව හොඳින් පිළිබිඹු වුණා. ඇයගේ කතාව මෙසේ ඇය පැවසුවා.
මම බැංකුවේ වැඩ කරන්නේ. බැඳලා අවු. 5ක් වෙනවා. මගේ මහත්තයත් බැංකුවේ. අපි අවු. 5ක් ආදරය කරලා තමයි විවාහ වුණේ. අපිට අවු. 1ක පුතෙකුත් ඉන්නවා. පළමු අවු. 2ක අපි හරිම සතුටින් හිටියා. දැන් අපි දෙන්නා හුඟක් වෙනස් වෙලා. අපි දෙන්නම වැඩට යනවනේ. හස්බන්ඩ්ගෙන් මට කිසිම support එකක් නෑ. ඔහුගෙන් කිසිම ආදරයක් මට ලැබෙන්නේ නෑ. අවු. 2ක ඉඳලා අපි දෙන්නා අතර sex life එකක් නෑ. මුලදිනම් මට ඕන වුණත් එයාට අවශ්‍ය වුණේ නෑ. මම සෙක්ස් කරන්න ඕන කිව්වත් කිසිම දෙයක් කියන්නැතුව එහා පැත්ත හැරිලා නිදාගන්න දවස් තිබුණා. දැන්නම් මටත් සෙක්ස්වලට ආශාවක් නෑ. ඔහු මාව touch කරත් මගේ යෝනි මාර්ගය තෙත් වෙන්නෑ. මට එහෙම ආශාවක් නැත්නම් mood එකක් එන්නෑ. වැඩට ගිහින් ඇවිත් ගෙදර වැඩ ටික සේරම ඉවර කරලා තනියම බබාගේ වැඩ ටිකත් කරලා ඉවර වුණාම මට පුදුම තෙහෙට්ටුවක් දැනෙනවා. ඉතින් මම කැමති හැමදේම පැත්තක තියලා නිදාගන්න විතරයි.
ඉතින් ඔබ කීවේ හස්බන්ඩ්ගෙන් කිසිම support එකක් නෑ කියලා. ඒ ඇයි?
එයා ගෙදර එනවා. මාත් එක්ක කතාවකුත් නෑ. මූණ හෝදගන්නවා. මහ රෑ වෙනකල්ම T.V බලනවා. ඊට පස්සේ ෆෝන් එක අරගෙන Facebook යනවා. අඩුමගානේ මට kiss එකක්වත් දුන්න දවසක්වත් මතක නෑ. ඔහු ඉන්නේ ඔහුගේ ලෝකේ. මට හිතෙන්නේ ඔහුගේ ආතතිය අඩු කරගන්න ඔහුත් T.V එකට ඇබ්බැහි වෙලා කියලා. එයාගෙන් ප්‍රශ්නයක් අහන්නත් බෑ. හරියට තරහා යනවා. මට දැන් මේ ජීවිතය මොකටද කියලා හිතෙනවා.
කුමුදු දැඩි ආතතියට ගොදුරු වී ඇති බව පේනවා. ලිංගික ආශාව අඩු වීමක් ආතතියේම කොටසක්. කුමුදු සහ ඇගේ ස්වාමියා මෙම ආතතියෙන් එළියට ගැනීමට පහත සඳහන් විද්‍යාත්මක ක්‍රමවේදවලට යොමු කළා. ඔවුන් කොහුවල LIFE ආයතනයේ උපදේශනයට යොමු කළා. උපදේශනයේ ප්‍රධාන අවස්ථා පහතින් කියවා බලමු.
දෙදෙනා අතර සන්නිවේදනය සහ ලිංගික සන්නිවේදනය දියුණු කිරීමට දෙබස් උපයෝගී කර ගැනීම.
මනස සහ ශරීරය සැහැල්ලු කරන වායාමවලට දෙදෙනාම පුරැදු කිරීම.
ශරීරය මෘදු ලෙස ස්පර්ශ කිරීම මගින් ලිංගික ආශාව වැඩි කිරීම. (Sensate focus Therapy)
ලිංගික එකතු වීමකදී ශරීරයට සහ මනසට ඇති වන තිලාභ ගැන කෙටි චිතපටි උපයෝගී කරගෙන සාකච්ඡා කිරීම.
කල් පවතින ආතතිය නිසා මනස සහ ශරීරය දිරාපත් වන ආකාරය විදාත්මක ලෙස සාකච්ඡා කිරීම.
දෙදෙනාම සාර්ථක ලෙස උපදේශන වාරවලට සහභාගී වූ අතර දැනට ඔවුන් දෙදෙනා සතුටින් කල් ගෙවයි. මෙහිදී ඔබට මතක් කළ යුතු ඉතාම වැදගත් රහසක් ද පවතී. මෙවැනි ගැටලුවක් ඇති වුණුවිට බලි, තොවිල්, ශාන්තිකර්ම හෝ මෝහනය කිරීමට යාම විසඳුමක් නොවන බව අවබෝධ කර ගැනීම. අද බොහෝ මාධ්‍ය මෝහනය ඉතා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පෙන්වා මිනිසුන් මුලා කරයි. හොරු සහ තක්කඩියන් මාධ්‍ය තුළ වෛද්‍යවරැ ලෙස පෙනී සිටිමින් ප්‍රජාවගේ මනස විකෘති කරමින් සිටීම ඛේදනීයයි. මෙවන් ගැටලුවක් ඇති වූවිට මනෝ වෛද්‍යවරයකු හමුවීමයි කළ යුතුම දෙය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක