2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ළදරුවන්ගේ මොළේ වර්ධනය අඩුවන්න හේතු

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 823

කුඩා දරුවකුගේ මොළයේ වර්ධනය ආරම්භ වන්නේ කළල අවස්ථාවේදීයි. උපත වනවිට සාමාන්‍ය දුරට වර්ධනය වන දරුවාගේ මොළය මුල් වසර පහ තුළ සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉන්පසුව දරුවාට වයස 10-12 පමණ වනතුරැම මොළය වර්ධනය වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් ඇතැම් දරුවන්ගේ මොළයේ වර්ධනය පිළිබඳ ගැටලු පවතිනවා. මේවා මුල් අවස්ථාවන්වලදීම හඳුනාගැනීම තුළින් දරුවාගේ අනාගතය ඛේදවාචකයක් නොවීමෙන් වළක්වා ගැනීමට පුළුවන්. 


ඒ නිසා නිසි ලෙස මොළය වර්ධනය නොවීම සඳහා බලපාන හේතු සහ ඒ නිසා ඇතිවන ලක්ෂණ පිලිබඳ මූලික දැනුමක් ලබා තිබීම සෑම මවුපියෙකුටම අතිශය වැදගත්. 

මවගේ සෞඛ්‍ය තත්ත්වය

දරුවාගේ මොළයේ වර්ධන සිදුවන අවධියේදී කුඩා මොළයට හානි සිදු වුවහොත් වර්ධනය අඩාල විය හැකියි. ප්‍රධාන වශයෙන්ම කළල අවස්ථාවේදී මවට ඇතිවන අසනීප තත්ත්වයන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතු වෙනවා. විශේෂයෙන් වෛරස් ආසාදන නිසා එන පැපොල, හර්පීස්, සමේ පළු දැමීම මෙන්ම උණ රෝගය, මෙන්ම දියවැඩියාව හේතු කරගෙනත් මොළයේ වර්ධනය අඩාල විය හැකිය.

මව ලබාගන්නා ඖෂධ හේතුකරගෙනත් දරුවාගේ මොළයේ වර්ධනය අඩාලවන අවස්ථා දැකිය හැකියි. වලිප්පුව වැනි රෝග සඳහා ගන්නා ඖෂධ, දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ මෙලෙස දරැවාගේ වර්ධනය අඩාලවීමට බලපානවා. එසේම මවට යම් යම් අත්‍යවශ්‍ය විටමින් වර්ග හිඟවීම. එනම් උදාහරණ ලෙස ෆෝලික් අම්ලය හිඟවීම ද දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතුවක්.

දරුවා බිහිවන අවස්ථාව

ඒ හැරුණුවිට දරුවා බිහිවන අවස්ථාවේදී ඔක්සිජන් සැපයුම මදිවීම, දරුවාගේ හිස එළියට එනවිට යෝනී මාර්ගයේ දරුවා සිරවීම, ගෙල වටා පෙකණිවැල එතීම නිසා රුධිර ගමනාගමනය මන්දගාමී වීමෙන් මොළයට අවශ්‍ය ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුම අඩාලවීම, මළ හා මුත්‍රා පෙවීම ආදිය හේතු කරගෙනත් දරුවා ඉපදෙන අවස්ථාවේ දරැවාගේ මොළයට හානි සිදුවෙනවා.

දරුවා ඉපදීමෙන් පසුව ඇතිවන තත්ත්වයන්

දරුවා ඉපදුණ පසුවත් ඕනෑම අවස්ථාවකදී මොළයේ වර්ධනය අඩාල විය හැකියි. දරුවාගේ රැධිරය හරහා විසබීජ ඇතුළුවීමෙන් මොළයේ පටල ආශ්‍රිතව හටගන්නා මෙනින්ජයිටිස් සහ එන්කෙපලයිටිස් ඇතිවීමෙන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වනවා.

වැදීමක් හෝ වැටීමක් හේතු කරගෙන මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම ජානමය ගැටලු හෙවත් විශේෂයෙන් ලේ නෑයන් අතර සිදුවන විවාහය, තයිරොයිඩ් ඌනතාව වැනි හේතු මතද දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වන බව වෛද්‍ය මතයයි.
දරුවා උපදින මොහොතේ රෝස පැහැයෙන් යුතුව හඬමින් සිටිනවා නම් උපතේදී දරුවාට ගැටලුවක් ඇතිවී නැතැයි සිතිය හැකියි. නමුත් දරුවා නිල් පැහැයෙන් වගේම හඬන්නේ නැතිව ඉපදේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳ ගැටලුවක් පවතිනවා.

දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන විට..

මව හඳුනාගෙන සිනාසීම, හිස එසවීම, අවුරුද්දක් පමණ වනවිට ඇවිදීම, අවුරුද්දයි මාස 3ක් පමණ වනවිට තනි වචන කීම හොඳින් මොළයේ වර්දනය සිදුවූ දරුවකුගේ ලක්ෂණයි. ඔළුව කෙළින් කරගත නොහැකි වීම, ඔළුව දෙපසට වැනීම, වචන කතාකළ නොහැකිවීම ඇවිදීම පමාවීම ආදී ලක්ෂණ තිබේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳව ගැටලුවක් පවතින බව සිතිය හැකියි.

කථන පුහුණුව සහ ව්‍යායාම ක්‍රම මඟින් දරුවාට නිසි ප්‍රතිඵල ළඟාකර දිය හැකි බැවින් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. එසේම සෑම ගර්භණී මවක්ම දරු ගැබේ ආරක්ෂාව ගැන සිතීම පිරිසුදු බව සහ ආරක්ෂිතව රෝහල් ගතවීම තුළින් නිරෝගී දරැවකු බිහිවීමට මඟ පාදනවා.
 
Child Care

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00