2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ජීවිතයම බිලිගත් මිත්‍යාව

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 332

ආසියානු රටවල වැසියන් වන අප බොහෝ විට ලිංගික ගැටලු හෝ ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්ඡාවට නොගනිති. මේවා පවුල තුළ හෝ අඹු සැමියන් අතර රහසකි. මීට ප්‍රධානම හේතුව පාසැල් අධ්‍යාපනය තුළ වයසට අනුකූලව ලිංගික කරැණු සාකච්ඡා නොකිරීමත්, කුඩා කල සිටම දරුවාගේ මනසට ඕනෑවට වඩා ලජ්ජාව හා භීතිය ඇතුළු කිරීමත්ය. ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලබන දරැවා ඒවා ගැන තොරතුරු එකතු කිරීමට අන්තර්ජාලය, මුහුණු පොත සහ සම වයසේ මිත්‍රයන්ට ළංවේ. මෙහි වාසිදායක මෙන්ම අවාසි සහගත පැත්තක්ද ඇත. මාධ්‍ය සහ මිත්‍රයන් මගින් වැරදි තොරතුරු මනසට ඇතැළු වීම ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිතයම අවුල් වීමට හේතුවේ.

සුපුන්ගේ කතාව මීට කදිම නිදසුනකි. සුපුන් අවු.18ක් වයසැති උසස් පෙළ ලියන දරුවෙකි. සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වී උසස් පෙළ කිරීමට කොළඹ පාසලකට වරප්‍රසාද හිමි වූවෙකි. සුපුන් නැවතී සිටියේ ඔහුගේ නැන්දාගේ ගෙදරය. සුපුන්ගේ පියා කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. සුපුන් ඔවුන්ට සිටි එකම දරුවා ද වේ. සුපුන්ගේ ගැටලුව ඔහුගේ පියා මෙසේ පැවසුවේය.

සුපුන් හොඳට ඉගෙනගත්තා. එයා කොළඹට ආවේ O/L පාස් වෙලා. එයා නතර වුණේ නැන්දගේ ගෙදර. ගෙදර එන්නේ මාසෙකට සැරයක්. පසුගිය මාස 6 තුළ සුපුන්ගේ හැසිරීම වෙනස් කියලා නතරවෙලා හිටිය ගෙදර නැන්දත් මට කීවා. රෑ වෙලා ගෙදර එනවා. නිතරම Phone එකේ සිටිනවා, අඳුරන්නේ නැති නොයෙකුත් පුද්ගලයන් සුපුන් හමුවීමට එනවා, ගෙදර සල්ලි හිටපු ගමන් නැතිවෙනවා, පාසල් යනවත් අඩුයි වගේ දේවල්. 

පියා තවදුරටත් මෙහෙම පැවසුවා. සුපුන් දවසක් ගෙදර ආවා. හිටිහැටියේ වමනේ දාන්න පටන් ගත්තා. ඇඟපත රිදෙනවා කියලා කෑගහන්න ගත්තා. නහයෙන් ඇස්වලින් වතුර වගේ ගලන්න පටන් ගත්තා. ඒ වගේම පාචනයත් තිබුණා. අපි ඉක්මනටම කුරුණෑගල රෝහලට ඇතුළු කළා. රෝහලේ වෛද්‍යවරු කීවා ඇඟට කිසිම විෂබීජයක් නම් ගිහින් නෑ කියලා. ඔවුන් සැක කරා සුපුන් කුමක් හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වෙලා ඇති කියලා. වෛද්‍යවරැ දිගටම සුපුන්ගෙන් මේ ගැන ඇහැව්වා. සුපුන් අන්තිමට එයා හෙරොයින් ගන්නවා කියලා කීවා

අපි සුපුන්ගෙන් මේ ගැන තවත් විමසුවා. සුපුන් මෙහෙම කීවා.

මම හොඳට ඉගෙනගත්තා. මම කුරුණෑගල තමයි ඉස්කෝලේ ගියේ. O/Lවලට A9ක් ගත්තා. ඊට පස්සේ තමයි කොළඹ පාසලකට ආවේ. මට සමාජේ අත්දැකීම් තිබුණ කෙනෙක් නෙවෙයි. කොළඹට ආවම ඒ පරිසරය හුඟක් වෙනස් කියලා මට දැනුණා. නැන්දලාගේ ගෙදර හිටියත් අම්මගෙනුයි, තාත්තාගෙනුයි ඈත් වුණ පරිසරය තුළ මට ලොකු පාලුවක් දැනුණා. මම හුඟක් යාළුවන්ට සමීප වුණා. සමාජේ ගැන ඉගෙනගන්න පටන් ගත්තේ මම යාළුවන්ගෙන්. මට මේ අතරේදී Girlfriend කෙනෙක් හම්බවුණා. ඇයත් සමඟ ලිංගික සබඳතාවයකුත් ඇති වුණා. අපි අතරේ හෙරොයින් ගන්න යාළුවෝ දෙන්නෙක් හිටියා. එක යාළුවෙක් මට කීවා හෙරොයින් ගත්තම හොඳට sex කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ලිංගික කාර්යයේ යෙදෙන්න පුළුවන් කියලා. මෙහෙම තමයි මම හෙරොයින්වලට පුරුදු වුණේ. හෙරොයින් ගත්ත පළවෙනි දවසෙනම් හරිම අප්‍රසන්නයි. මගේ ඔළුව කැරකැවුණා. හොඳටම වමනේ ගියා. ඒත් මගේ යාළුවෝ කීවා නියම ත්‍රිල් එක එන්න සති කීපයක් යනවා කියලා. පාඩම් කරන එක මට එපා වුණා. හෙරොයින් හොයාගෙනම යන්න මට හිතුණා. මීට හේතු දෙකක් මට දැනෙනවා. හෙරොයින් ගත්තම අමුතුම සතුටක් දැනෙනවා. ඇඟ සේරම ලිහිල් වෙනවා වගේ දැනෙනවා. දැන්නම් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නෙවෙයි. දැන් මට නවත්තගන්න බෑ. නැවැත්තුවොත් කියන්න බැරි තරම් ඇඟපත රිදෙනවා. වමනේ යනවා. නින්ද යන්නේ නෑ. සල්ලි කොහොම හරි හොයාගෙන හෙරොයින් බොනවා. මට මේක නවත්තගන්න ඕන. මගේ ජීවිතේම අවුල් වෙලා. මේක මහ පාපයක්. මේවා ගෙන්නන, බිස්නස් කරන පුද්ගලයන් එක්කත් මට තියෙන්නේ පුදුම වෛරයක්.

මොනවද මේ හෙරොයින් කියන්නේ? 

හෙරොයින් යනු මෝෆින්වලින් හදන ලද මත්ද්‍රව්‍යයක්. පොපි ශාඛයෙන් තමයි මෙය ගන්නේ. එය අග්නිදිග හා නිරිතදිග ආසියාව, මෙක්සිකෝව හා කොළොම්බියාව පොපි ශාඛයෙන් විශාල ලෙස නිපදවනවා. හෙරොයින් සුදු හෝ දුඹුරු කුඩු හෝ කළු තාර ලෙස දක්නට ලැබෙනවා. මෙය නොයෙකුත් නම්වලින් වෙළඳපොළ තුළ හඳුන්වනවා.

හෙරොයින්වලට ඇබ්බැහි වෙන්නේ ඇයි?

හෙරොයින්වලට අදාළ විශේෂ ප්‍රතිග්‍රාහක මොළයේ තිබෙනවා. හෙරොයින් එම ප්‍රතිග්‍රාහකවලට සම්බන්ධ වූ විට ඩෝපමීන් නැමති සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. එවිට සතුට හා ලිහිල්භාවය දැනෙනවා. හෙරොයින් නැතුව ඉන්න බැරි හේතුව එහි තිබෙන භයානක ඇබ්බැහි වීමේ ස්වභාවයයි. මෙයත් මොළය තුළ සිදුවන ගැඹුරු රසායන ප්‍රතික්‍රියාවක්. නමුත් මනෝ වෛද්‍යවරයකුගෙන් නිසිලෙස ප්‍රතිකාර ලබාගෙන ඉන් ඔබට ගැලවෙන්න පුළුවන්.

සුපුන් මින් ගලවාගත් ආකාරය 

හෙරොයින් මොළය තුළ භයානක ලෙස ඇබ්බැහි වීමක් සිදුකරනවා. විෂානුහරණය නැමති ප්‍රතිකාරයට ඔහු භාජනය කළා. ඉන්පසු ආශාව අඩු කරන නැල්ට්‍රෙක්සෝන් (Naltrexone) නැමති ඖෂධය ලබාදෙනවා. මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සුපුන්ට ජීවිතය පිළිබඳ අවබෝධය ලබාදීමට කොහුවල Life ආයතනයට යොමු කළා. මෙම උපදේශන පංතිවලට ඔහු සහභාගී වීමෙන් පහත දැනුම ඔහුගේ මනස වෙනස් කරා. හෙරොයින් යනු භයානක මත් ද්‍රව්‍යයක් බවත් එය ලිංගික ආශාව වැඩි කරන මත් ද්‍රව්‍යයක් ලෙස පවතින විශ්වාසය මිත්‍යාවක් ඉවත් ඉන් ක්‍රමානුකූලව විනාශයට පත්වන බවත් සුපුන් ක්‍රමයෙන් අවබෝධ කරගෙන මුළු ජීවිතයම අලුත් මගකට යොමු කර ගත්තා.

දරුවාට  ජීවන කුසලතා කුඩා කල සිටම පැසල් අධ්‍යාපනය තුළ ලබා දිය යුතුය. විෂය පමණක් ඔළුවට ගිල්වන මෙම අධ්‍යාපන ක්‍රමය නිසා දරුවාගේ මනස නොයෙකුත් විනාශකාරී ප්‍රවණතාවයන්ට ගොදුරු වීම පුදුමයක් නොවේ. දවසකට පැය 6ක් හෝ 7ක් ටියුෂන්වලට ඔළුව මෙහෙයවන මනස උත්තේජනය කරන වින්දනය ඇති කරන සියලුම ක්‍රියාකාරකම්වලින් ඈත් වුණු දැඩි ආතතියට ගොදුරු වුණු පරිසරයක ජීවත් වන අද දරුවන්ගේ හෙට  අනාගතය කුමක් වේද?

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක