2018 ජුනි 23 වන සෙනසුරාදා

කලින් හඳුනාගෙන අංශභාගයෙන් බේරෙමු!

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 926

ඔබත් අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් විශේෂයෙන්ම දුම්පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය ඉහළය.

අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය, චලනය, සංවේදනය, පෙනුම, කතාවල ඉරියව් පාලනය හැම එකක්ම පාලනය කරන්නේ මොළයෙන්. මොළයේ යම්කිසි තැනක ආබාධයක් ඇතිවුවහොත් මොළයේ එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාව නැත්තටම නැතිවී යනවා. එහෙම නැත්නම් අඩාල වෙනවා. බොහෝ විට මෙය නිරූපණය වෙන්නේ ශරීරයේ එක පැත්තක පණ නැතිවීමක් ලෙසයි. එහිදී වන්නේ ශරීරයේ ඒ පැත්තේ පේශිවල චලනය පාලනය කරන මධ්‍යස්ථානය පිහිටි මොළයේ අදාළ කොටස ක්‍රියාවිරහිත වීමයි.

එයට බොහෝ විට හේතුවන්නේ මොළයේ අනුරූප කොටසෙහි රුධිර සැපයුම අඩාල වීමයි. මෙය එම කොටසට සැපයෙන රුධිර නාලයක් පුපුරා යෑම නිසා හෝ සිහින් වී සිරවීම නිසා හෝ රැධිර කැටියක් වෙනත් තැනක සිට පාවී ඇවිත් හිරවීම නිසා හෝ සිදුවිය හැකියි. මීට අමතරව මොළයේ එම ස්ථානයට පිටතින් තුවාලයක් සිදුවුවහොත්, විෂබීජ පැමිණ ආසාදනයක් ඇතිවුවහොත්ම, එහෙමත් නැත්නම් ගෙඩියක්, අර්බුදයක් වැනි දෙයක් ඇතිවුවහොත් එම රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවනි.

අංශභාගයට ලෙහෙසියෙන් ගොදුරු විය හැකි අය

අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම්පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියි.

හෘද රෝගවලින් පෙළෙන්නන්ගේ රෝගී හෘදයේ හටගන්නා ලේ කැටි රුධිර නාල දිගේ පාවී ගොස් මොළයේ සිහින් වූ නාල තුළ සිර වී අංශභාගය හැදෙන්න පුළුවනි. ඒ නිසා මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගනිමින් රෝගී තත්ත්වය නිරතුරුව පාලනය කරගත්තොත් අංශභාගය නමැති සංකූලතාවය ඇතිවීම වළක්වාගත හැකියි.

ඇස්ප්‍රීන් ඉතා සුළු ප්‍රමාණයක් සහ ක්ලෙපිඩොග්‍රෙල් නැමැති ඖෂධය දිනපතා ගැනීම මගින් රුධිරය කැටිගැසීම වැළැක්විය හැකි නිසා ඒවා අංශභාගය වැළඳීමේ අවදානමට ලක්ව සිටින අයට නිතිපතා ගැනීමට නියම කරන ඖෂධයන්.

අංශභාගය හැදෙන එක කල්තියා දැනගන්න ක්‍රමයක්

අංශභාගය හැදුන රෝගීන්ගෙන් 25%කට පමණ කල්තියාම අනතුරැ අඟවන රෝග ලක්ෂණ මතුවෙනවා. ශරීරයේ තාවකාලිකව ඇතිවන පැය කිහිපයක් හෝ විනාඩි කිහිපයක් විය හැක. ඇඟේ පැත්තක හිරිය, පණ නැති ගතිය, ඇසේ පෙනුම තාවකාලිකව දුර්වල වීම ඉන් සමහරක්.

මෙවන් අනතුරු අඟවන ලක්ෂණ මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම නුවණට හුරුයි. අතීතයේ දී මොළයේ රැධිර නාල තුළ ඇති වූ අවහිරයන් නැති කිරීමට ශල්‍යකර්ම කළත් ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. මොළයට සැපයෙන විශාල රුධිර නාලයක සිහින් වීමක් තිබේ නම් ඒ සිහින් වූ කොටස ඉවත් කිරීම වැනි ශල්‍යකර්මවලින් අනාගතයේදී නැවත එය හිරවීම වැළැක්වීම තුළින් අංශභාගය වැළැක්වීමට හැකිවීම හැරෙන්නට අංශභාගය ඇතිවූ පසු සැත්කම් කිරීම සිදුකරන්නේ කලාතුරකින්.
අංශභාගයෙන් පසු බොහෝ අයට නැවත කතා කරන්න පුළුවන් වෙනවා. එකවරම නොවේ. ටිකෙන් ටික, සමහර විට දින කීපයක් හෝ සති කීපයක් නොවේවි. සමහර අයට නැවත කතාව පුරුදු කිරීම සඳහා කථන ප්‍රතිකාර කරන්නට සිදුවෙනවා.

හාට් ඇටෑක් හෙවත් හෘදයාබාධයකදී සිදුවන්නේ හෘදයේ කොටසක ලේ සැපයුම නතරවීම හේතුවෙන් එම කොටස අක්‍රීය වීමයි. එසේ අක්‍රීය වූ බිත්තිය සහිත හෘදය වස්තු කුහරය තුළ රුධිර ගමන නිසි අයුරින් සිදුනොවීමේ හේතුවෙන් රුධිරය කැටිගැසී අක්‍රීය බිත්ති මත රැඳෙන්නට පුළුවනි. එය පසුව ගැලවී රුධිරයේ පාවීගොස් මොළයේ රුධිර නාල තුළ හිරවී අංශභාගයද ඔහුට හැදෙන්නට පුළුවනි.

මේ හැම කරුණක්ම සාරාංශ කළොත් අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෙදකමට වඩා වැදගත් වන්නේ හෙදකමයි.

අංශභාගය මාරාන්තික විය හැකි රෝගයක් වුවත් බොහෝ දෙනෙක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් සුවය ලබනවා.

 Web MD