2018 ජුනි 30 වන සෙනසුරාදා

වකුගඩු රෝගීන්ට නුසුදුසු කෑම බීම

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 18957

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් බවට වකුගඩු රෝගය පත්ව ඇත. උතුරු මැද පළාතේ මෙන්ම සෙසු කෘෂි කාර්මික ශුෂ්ක ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය  (CKD) එක් පසෙකිනි. වැරදි අහාර පරිභෝජනය ඇතුළු අයහපත් ජීවන රටාව හේතු කොට ඉහළ ගොස් ඇති බෝ නොවන රෝග වන   දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි ඇතුළු හේතු පදනම් කරගෙන සෙසු ප්‍රදේශවලින් වාර්තාවන   සැලකිය යුතු මට්ටමේ වකුගඩු රෝගීන් ප්‍රමාණය ද තවත් පසෙකිනි. මේ බොහෝදෙනා ඔවුන්ට ලබාගත යුතු නිසි පෝෂණය පිළිබඳ නිසි ආකාර දැනුමක් ලබා තිබෙනවා ද යන්න සැක සහිතය. වකුගඩු රෝගී වූ විට ගැනීමට සුදුසු සහ නුසුදුසු නැත්නම්, පාලනයකට ලක් කළ යුතු ආහාර පවති. මේ කතා කරන්නට යන්නෙ එබඳු අහාර ගැනය. 

වකුගඩු සහ ප්‍රෝටීන් 

වකුගඩු රෝගීන්ගේ සිරුරේ පැවැත්ම පවත්වා ගෙන යාම සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. එහෙත් ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ශරීරගත වුවහොත් වකුගඩු තවදුරටත් හානි වීම වැළැක්විය නොහැක්කකි. එබැවින් ප්‍රෝටීන් මෙන්ම අනිකුත් පෝෂණ ද්‍රව්‍ය ද සිරුරට ලබාගත යුත්තෙ පාලනයකින් යුතුවය. 

වකුගඩු රෝගය අදියර 5කින් යුක්ත බව වෛද්‍ය පැහැදිලි කිරීමයි. මෙයින් පළමුවැනි අදියරේ සිට 3 වැනි අදියර දක්වා එනම් :වකුගඩු රෝගය මුල් අවදියේ පවතින රෝගින් හට - දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.75 කිලෝ ග්‍රෑමයට :සිරැරේ බර අනුව - ලබාගත යුතු වේ. මේ කියමන පැහැදිලි කළොත්, මෙයින් අදහස් වෙන්නේ සිරුරේ බර කිලෝ 40ක් වන අයෙක් හට දිනකට ලබා දිය යුත්තේ (0.75 වැඩි කිරීම 40 = 30) ප්‍රෝටීන් ග්‍රෑම් 30කි. 

අදියර 4 හෝ අදියර 5 යනු රෝගයේ බරපතළ තත්ත්වයයි. මේ අවස්ථාව වනවිට රෝගියා රුධිර කාන්දුකරණය හෙවත් ඩයලයිසීස් - තත්ත්වයට හෝ නොකරන තත්ත්වයට පත්ව සිටිය හැකිය. මේ අනුව ලබාදෙන ප්‍රෝටින ප්‍රමාණය ශරීර  බර අනුව පාලනය කළ යුතුය.

රුධිර කාන්දුකරණය නොකරන රෝගීන් හට ප්‍රෝටීන් ලබාදිය යුතු ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රෑ. 0.6  කිග්‍රෑ :දේහ බර  අනුව රුධිර කාන්දුකරණය ක්‍රම දෙකකි. ඒ සාමාන්‍ය රුධිර කාන්දුකරණය සහ පරිතාණ කාන්දුකරණය යන ක්‍රම දෙකයි. විශේෂයෙන්ම රුධිර කාන්දුකරණයේදී ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වේ. එබැවින් වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් රෝගියාට ලබා දිය යුතුව ඇත. නිර්දේශිත ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රෑම් 1.2 සිට 1.4 දක්වා ප්‍රමාණයකි. 

ලේ පිරිසිදු කරනා රෝගීන්

මේ අයට දිනකට ග්‍රෑම් 1.2 – 1.3 අතර  ප්‍රමාණයක් දේහ බර අනුව ප්‍රෝටීන් ලබාදිය යුතුය.

වකුගඩු රෝගයේ තිබෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ප්‍රෝටීන් වැඩිපුර ලබා දීමේදී වකුගඩුවලට හානි සිදුවන අතර ප්‍රෝටීන් අඩු වීමේදී සිරුරේ තිබෙන මාංශ පේශී දියවී රෝගියා දුර්වල වීමට ලක්වීමයි. එවිට ප්‍රතිශක්තිකරණය ද අඩු වේ. මේ හේතුව නිසා වෙනත් රෝග වැළඳීමට ද ඉඩ ඇත.

වකුගඩු අදියර 4 -5 සිටින රෝගීන්ගේ පොටෑසියම් අධික ආහාර සීමා කිරීම.
මුල් අවස්ථාවේ අදියර 1 -3 දක්වා :සමහර රෝගීන්ගේ - ආහාර පාලනය කළ යුතුය.

පොස්පරස් පාලනය කිරීම

සංතෘප්ත මේදය සීමා කිරීම - ලුණු ප්‍රමාණය අවම කිරීම. ලුණු දිනකට නිර්දේශිත ප්‍රමාණය නොඉක්ම වීම.

ජලය නිසි ප්‍රමාණයට පානය කිරීම හා පානීය ජලයට අමතරව පාන වර්ගවලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් වීම.

අවශ්‍ය පමණට විටමින් ඛනිජ ලවන (SUPPLIMENT) වර්ග ලබා ගැනීම.

විශේෂයෙන්ම රෝගියාගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අධික වේ නම් පොටෑසියම් අධික ආහාර අවම කළ යුතුය. ලුණු සහිත ආහාරවලින් වැළකිය යුතුය. වෙළඳපොළේ ඇති පොටෑසියම් සහිත ලුණු ආදේශක ද්‍රව්‍ය මෙන්ම හර්බල් සප්ලිමන්ට් වර්ග සහ ඖෂධ වර්ග ගැනීම ද නැවැත්විය යුතුය.

ඇතැම් පලතුරු එළවළු වර්ගවල ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් ඇත. සමහරවිට පොටෑසියම් අඩු ආහාර ඇතැම් රෝගීන් වැඩිපුර භාවිතා කිරීම නිසා ද සිරුරට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය අධික විය හැකිය.

පොටෑසියම් යනු ජලයේ දියවන ලවණයකි. එබැවින් පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමේදී එළවළු කුඩා කැබලිවලට කපා දස ගුණයක් පමණ ජලය දමා පැය 2ක් පමණ කාලයක් තැබිය යුතුය. පොටෑසියම් ජලයේ දියවන බැවින් මෙලෙස කිරීමේදී පොටෑසියම් ප්‍රමාණය දියවී යයි. පොටෑසියම් වැඩියෙන් පවතින එළවළු වේ නම් කුඩා කැබලිවලට කපා මිනිත්තු 5 -10 පමණ වේලාවක් තම්බා වතුර පෙරා ඉවත් කර ආහාරයට ගත හැකිය.

පොටෑසියම් අඩු එළවළු වර්ග

ගෝවා, ගෝවා මල්, කැකිරි, පිපිඤ්ඤා, රවුම් වම්බටු, බෝංචි, රතුළූණු, සුදුළූණු, පතෝල, වැටකොලු, ඇඹරුල්ලා (අමුවෙන් හොඳ නැත) පිසින ලද අඹරැල්ලා, කැරට් (අමුවෙන් හොඳ නැත) පිසින ලද කැරට්.

පොටෑසියම් අඩු පලතුරු

කොළ පැහැති ඇපල්, පෙයාස්, කිලෝ පේර, මිදි ගෙඩි 3ක් දිනකට අන්නාසි කෑල්ලක් දිනකට- වෙළඳපොළේ මිලදී ගත හැකි ඇපල් යුෂ හොඳ නැත. නමුත් නැවුම්ව නිවසේදී පිළියෙල කර ගන්නා ඇපල් යුෂ භාවිතය හොඳයි.

පොටෑසියම් බහුල පලතුරු

පැපොල්, කෙසෙල්, අඹ, රටඉඳි, අල, බතල, අලු කෙසෙල්, නිවිති, තක්කාලි, වට්ටක්කා ආදියේ පොටෑසියම් වැඩි බැවින් ඒවා අගුණ වේ.

පලා වර්ග

පලා වර්ගවල පොටෑසියම් බහුලව තිබෙන බැවින් රෝගීන්ට පලා වර්ග ද සුදුසු නොවේ.

පොස්පරස්

රෝගීන්ගේ සිරුරේ පොස්පරස් ප්‍රමාණය වැඩි වූ විට රුධිරයේ පොස්පරස් ප්‍රමාණය වැඩි වී හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා අස්ථිවලින් කැල්සියම් රුධිරයට ඇතුළුවීම සිදු වී අස්ථි දුර්වල වීමට පටන් ගන්නා අතර රුධිරයේ කැල්සියම් වැඩි වීම නිසා කැල්සියම් හෘද වස්තුවේ සහ වකුගඩුවල තැන්පත් විය හැකිය.

පොස්පරස්, ඕගනික් සහ ඉන්ඕගනික් යනුවෙන් වර්ග දෙකකට අයත් වේ. විශේෂයෙන් පළතුරු යුෂ කල් තබා පවත්වා ගැනීමට කල්තබා ගැනීමේ ද්‍රව්‍යය යොදා තිබේ. විශේෂයෙන් මෙවැනි කල් පවත්නා යුෂවල ඉන්ඕගනික් පොස්පරස් අඩංගුව ඇත. මේවා පානය කිරීමේ අවාසිය වන්නේ ලේවලට පොස්පරස් 90%ක්ම උරා ගැනීමයි. තවද ධාන්‍ය වර්ගවල නිවුඩ්ඩ සහිත හාල්වල ද පොස්පරස් ප්‍රමාණයක් ඇත. නමුත් නිවුඩ්ඩ සහිත හාල් අනුභව කළ විට ඉන්ඕගනික් පොස්පරස් රුධිරයට උරා ගන්නේ 40% - 60% දක්වා පමණි. වකුගඩු රෝගීන් ආහාරයට ගත යුත්තේ තම්බපු හාල්ය. හාල් තැම්බූ විට පොස්පරස් කොටස ඉවත් වේ.

සෝයා මීට්, සොසේජස්, මීට්බෝල්ස්, හතු වර්ග, කෙරන්බීෆ්, කූනිස්සෝ, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් ආදියේ පොස්පරස් ප්‍රමාණය වැඩි බැවින් ආහාරයට නුසුදුසුය.
බියර් සහ සියලුම මත්පැන්වල පොස්පරස් අඩංගු බැවින් භාවිතය සුදුසු නොවේ.

කිරි

කිරි වර්ග ආහාරයට ගන්නේ නම් නන්ෆැට් හා ලෝෆැට් කිරි ආහාරයට ගත යුතුයි. වකුගඩු රෝගීන්ට විශේෂිත වූ කිරි වර්ග වෙළඳපොළෙන් මිලදී ගත හැක.

ලුණු

වකුගඩු රෝගීන්ට ලුණු භාවිතය සුදුසු නොවේ. ලුණු සිරුරෙන් ඉවත් කෙරෙනුයේ වකුගඩුවලිනි. නමුත් ලුණු ප්‍රමාණය ඉක්මවා ගත්විට සෝඩියම් ප්‍රමාණය වැඩි වේ. එවිට සිරුර ඉදිමීම, රුධිර පීඩනය වැඩිවීම මෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වය අවම වීම ද සිදු වේ.

පළමු හා තුන්වැනි අදියරේ සිටින වකුගඩු රෝගීන්ට ලුණු තේ හැන්දක් සෑහෙන අතර අදියර 4-5 සිටින රෝගීන්ට ලුණු භාවිතා කළ යුත්තේ තේ හැඳි 1, 2කි. සෝස්, මාමයිට්, සේවරි බිස්කට්, ක්ෂණික ආහාර නවතා දැමිය යුතුය. එසේම අච්චාරු, පොටේටෝ චිප්ස් වැනි ආහාර නුසුදුසුය.

ජලය

කාමර උෂ්ණත්වයේ දියවන සෑම ආහාරයකම දියර ජලය පවතී. නිද: ජෙලි, අයිස් ක්‍රීම්- එසේම ආහාර පිසින විට සාදන හොඳිවල - ජලය සහිත බැවින් ඒවායින්ද ජලය සිරුරට ලැබෙන බැවින් පානය කරන අමතර ජලය පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුය.

►සුගත්

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00