ශ්‍රී ලංකාව තුළ හදවත් රෝග අවදානම දැන් ඇත්තේ ඉහළ මට්ටමකය. අපි පුරුදු වී පවතින අයහපත් ඇවැතුම් පැවැතුම් සහිත කඩිමුඩි ජීවන රටාවත්, ඒ හේතුවෙන් ඇතිවන මානසික ආතතිය නිදන්ගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමත් හෘදයාබාධ ඉහළ යාම සඳහා මූලික හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙති. ලංකාවේ මේ වනවිට සිදුවන මරණ සංඛ්‍යාවෙන් 4න් එකක්ම එනම් සියයයට 22.52ක්ම සිදුව ඇත්තේ හෘදයාබාධ නිසාය. කොටින්ම පසුගිය වසරේ වාර්තාවකට අනුව ඒ වනවිට හදවත් රෝග නිසා මරණ 28,554ක් සිදුව තිබේ. මේ තරම් භයානක මාරකයක් වුවද හදවත් රෝග කලින්ම හඳුනාගතහොත් ඒවායේ මාරාන්තික බව පාලනය කර ගැනීමේ පහසුකම් අපේ සුවසේවාව සතුය. මේ නිසා කලින්ම හදවත් රෝග ගැන හොඳින්ම අනතුරු අඟවන, පහසුවෙන්ම සිදුකර ගත හැකි අපි කවුරැත් නමින් අසා ඇති ඊ.සී.ජී. පරීක්ෂණය ගැන දේශය පාඨක ඔබට අවබෝධයක් ලබාදෙන්නටයි අපේ අදහස.
ECG හෙවත් විද්‍යුත් කන්තු රේඛා පරීක්ෂණය, අපේ හදවතේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අර්ථ දක්වන සරල පරීක්ෂණයකි. අපේ හෘදයවස්තුව ක්‍රියාකාරී වන්නේ නිරන්තරව එහි තුළ ස්වයංක්‍රීයව නිපදවන කුඩා විද්‍යුත් ධාරා ආධාරයෙනි. මෙම විදුලි ධාරා ECG උපකරණය ආධාරයෙන්, කඩදාසියක් මත රටාවක් ලෙස මුද්‍රණය කෙරේ. මේ රටාව තුළ හදවතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතාව ලියැවී තිබේ.
හදවතේ මේ ඊසීජී රටාව ලබා ගන්නා මොහොතේ තත්ත්වය, මෙන්ම නුදුරු අනාගතයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් ගැන මේ සටහන් පරීක්ෂාවෙන් වෛද්‍යවරුන්ට අවබෝධ කරගන්නට හැකිය. හෘද රෝගයක මූලික ලක්ෂණ ලෙස පහළවන පපුවේ වේදනාව, අධික තෙරපුමක් හෝ පීඩනයක් දැනීම, හෘද ස්පන්දනයේ කල් පවත්නා වේගවත් වීම වැනි රෝග ලක්ෂණයකදී වෛද්‍යවරයා විසින් මෙම පරීක්ෂණය ඔබට නියම කරනු ඇත.
ඔබ ශල්‍යකර්මයකට සූදානම් වන්නේ නම්, ඊට ප්‍රථමයෙන් නිර්වින්දන කටයුතු සඳහා ද ඔබට ECG පරීක්ෂණය සිදු කරනු ලබයි. මෙහිදී කිසිසේත් විදුලි සැර වැදීමක් හෝ එවැනි අතුරු ආබාධ ඇති නොවේ. මෙය ශරීරයට කිසිදු වේදනාවක් නොදැනෙන පරීක්ෂණයකි. අසාමාන්‍ය හෘද ස්ඵන්දන රටා – මෙහිදී ඉතා සෙමින් හෝ ඉතා වේගයෙන් මෙන්ම අක්රමික ලෙස සිදුවන රටා සහිත හෘද ස්ඵන්දන දැක්වෙනු ඇත. හෘදයාබාධ – ආසන්නවම ඇතිවූ හෘදයාබාධ මෙන්ම කල්ගිය හෘදයාබාධ ද මෙමගින් හඳුනාගත හැකිය. හෘද කුටීරවල අසාමාන්‍යතා ද හදුනා ගෙන ඒවාට නිසි ප්‍රතිකාර ලබාදීමට හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති තවත් වැදගත්කමකි.
පරීක්ෂණය කරන අයුරු...
ඔබගේ දෑත් හා පාද වලට ECG උපකරණයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩ සවිකර හෘදයෙන් නිකුත්වන විද්‍යුත් ධාරා වැඩිදියුණු කර කඩදාසියක් හෝ තිරයක් මතට එම රටාව ලබාගැනේ. මේ සම්පූර්ණ පරීක්ෂණය සදහා ගත වන්නේ මිනිත්තු 5ක පමණ කාලයකි.
පරීක්ෂණයේ සීමාවන්...
ECG පරීක්ෂණය හෘද රෝග විනිශ්චය සදහා ඉතා ප්‍රයෝජනවත් පරීක්ෂණයකි. නමුත් ඇතැම් හෘදය සම්බන්ධ රෝගී තත්වයන්වලදී ECG පරීක්ෂණ වාර්තා සාමාන්‍ය විය හැකිය. එයට හේතුව ECG පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එම රෝගි තත්වය සිරැරේ සැඟව තිබීමය.ඒ සඳහා විශේෂ ඊසිජී පරීක්ෂණ යොදාගත හැකිය.
විශේෂ ECG පරීක්ෂණ වර්ග...
Exercise ECG – මෙය යොදාගන්නේ අවහිර වූ කිරීටක ධමනි සහිතව හෘද ක්‍රියාකාරීත්වය අඩු වූ රෝගීන් සඳහායි. Ambulatory ECG – මෙහිදී දෛනික වැඩවල යෙදෙන අතරම කුඩා මොනිටරයක් මගින් හෘද ක්‍රියාකාරීත්වය පටිගත කෙරේ. මෙය විටින්විට ඇතිවන අක්‍රමවත් ස්පන්දන තත්ත්වයන්හිදී සිදු කෙරේ. මේ පරීක්ෂා මගින් හදවතට විනකරන ලෙඩ කලින්ම හඳුනාගන ඒවා මාරක බවට පත්වීම වළක්වා ගත හැකිය.
- සුගත්