දරුවකු ලැබීම මවකට තිබෙන සිහිනයකි. එම දරුවා රැකබලා ගැනීම, හොඳ අධ්‍යාපනයක් දීම, හොඳ ගති ගුණ ඔහු තුළට ඇතුළු කිරීම එම සිහිනයේ තවත් කොටසක්. මෙම සිහිනය තුළට යාමට මවක් යහපත් මානසික හා ශාරීරික සෞඛ්‍යයකින් හෙබි විය යුතුයි. ගමේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගර්භනී කාලය තුළ පසුවන මවකට අවශ්‍ය පෝෂණය, ශරීරයේ බර, එන්නත් කිරීම් යනාදිය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙයි. නමුත් මේ දැනුමට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුම් කාණ්ඩය ඇතුළත් වෙන්නේ නෑ. දරු ප්‍රසූතියෙන් පසු මවක් සාමාන්‍යයෙන් ප්‍රධාන මානසික ගැටලු තුනකට මුහුණ දෙන්න පුළුවන්.
1. ප්‍රසූතියෙන් පසු ඇති වන දැඩි ආතතිය
(Postpartum blues)
2. ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි මානසික අවපීඩනය
(Postpartum Depression)
3. ප්‍රසූතියෙන් පසු ඇතිවන සයිකෝසියාව
(Postpartum Psychosis)
ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි ආතතිය
(Postpartum blues)
ඕනෑම මවක් දරු ප්‍රසූතියෙන් පසු යම් ආකාරයක ආතතියකට ගොදුරැ වේ. මව්වරු 100ක් ගතහොත් 80ක් මේ තත්ත්වයට ගොදුරු වන බව වෛද්‍යවරැ පවසනවා. මෙය අසනීප හෝ රෝගී තත්ත්වයක් නොවේ. ප්‍රසූතියෙන් පසු ඇතිවන විඩාව මෙන්ම මවගේ ආකල්ප ද මෙයට බලපාන්න පුළුවන්. මේ ලක්ෂණ මොනවාදැයි අපි බලමු.
නින්ද නොයාම හෝ කෑම අරුචිය.
අධික තෙහෙට්ටුව හෝ වැඩ කිරීමට ඇති අපහසුව.
කිසිම හේතුවක් නැතිව ඇඬීම.
තමාට දරුවා බලාගැනීමට අපහසු යැයි සිතීම.
මීට ප්‍රධානම හේතුව ලෙස සොයාගෙන ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන හෝමෝනවල වෙනස් වීමයි. ගර්භාෂය තුළ ඇති වැදෑමහ ශරීරයෙන් ගැලවීමත් සමඟ ක්ෂණිකව ඊස්ට්‍රජන් (Estrogen) පොජෙස්ටරෝන් (Progesterone) සහ එන්ඩොෆින් (Endorphin) යන හෝමෝනවල අසමතුලිතතාවයන් ඇති වේ. මවගේ ශරීරය තුළ මෙම හෝමෝන නැවත යථා තත්ත්වයට පත්වීමට මාස 6ක පමණ කාලයක් ගතවේ. නමුත් මව තුළ ඇතිවන මෙම වෙනස්කම් සති දෙකක පමණ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වේ.
ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනය
(Postpartum Depression)
මව්වරුන් 100ක් ගත්තොත් 12ක් හෝ 13 දෙනකුට මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. මෙහිදී මවකට ඇතිවෙන ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ,
නුරුස්නා බව සහ කිපෙනසුළු බව
ශරීරයට දැනෙන අප්‍රාණික බව සහ තමාට දරැවා බලා ගැනීමට නොහැකි යැයි නිතර සිතීම.
කෑම අරුචිය.
ජීවිතය එපා වීම, කලකිරීම හෝ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි.
නින්ද නොයාම හෝ උදෑසන නින්දෙන් අවදි වීම.
දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනයට හේතු
දරු ප්‍රසූතියට පෙර සිටම මේ තත්ත්වය තිබීම.
මීට ඉහත දරු ප්‍රසූතියකදී මානසික අවපීඩනයට ගොදුරැ වී තිබේ නම් ඊළඟ ප්‍රසූතියේදී නැවත අවපීඩනයට යාමේ හැකියාව 60%කි.
ගර්භනී සමයේදී CRH (Corticotrophin Releasing Hormone) නම් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම.
දරු ප්‍රසූතියෙන් පසු මොළය තුළ ක්ෂණික ස්නායු උත්තේජකවල ඇතිවන අසමතුලිතතාවය. (Neuraadoptine Dysregulation)
දරු ප්‍රසූතියෙන් පසු මවට ලැබෙන සහයෝගය අඩු වීම හෝ නැති වීම හෝ දැඩි මානසික පීඩනයකට ගොදුරු වීම.
Ex - දරුවා රැකබලා ගැනීමේදී උපකාරක පරිසරයක් නොමැති වීම. (Poor Supporting Environment)
ප්‍රසූතියෙන් පසු සයිකෝසියාව
මව්වරුන් දහසක් ගතහොත් තුන්දෙනකු පමණ සයිකෝසියාව (Postpartum Psychosis) නැමති ඉතා දරුණු මානසික තත්ත්වයට ගොදුරු විය හැක. මෙහිදී මව දරුවාට හානි කිරීමට ඇති හැකියාව ඉතා වැඩිය. තම දරුවා කරදරකාරයකු ලෙස හෝ විකෘති දරුවකු ලෙස හෝ යක්ෂයකු ලෙස හෝ අසාමාන්‍ය දරුවකු ලෙස පෙනෙන්නට පුළුවන්. මේ නිසා දරුවාට හානි කිරීමට තිබෙන හැකියාව ඉතාම වැඩිය. මවගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර නින්ද නොයාම සමඟ ප්‍රචණ්ඩ සහ කලහකාරී තත්ත්වයට පත්විය හැකිය. මෙහිදී මව තමාගේ ජීවිතයට හානිකර ගැනීමේ අවදානම වැඩි වේ. මෙහිදී මව දරුවාගෙන් වෙන්කර තැබිය යුතුය. ඉතා ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය. නමුත් බොහෝ විට සිදුවන්නේ භූත දෝෂයක් යැයි සිතා ගොඩ වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට යොමු වීමයි. මින් ඔබේ කාලය සහ ධනය දෙකම නැති වන අතර දරුවා සහ මව යන දෙදෙනාම දැඩි අවදානමකට ලක්වේ.
මවට ඇතිවන මෙම සයිකෝසියාව නැමති තත්ත්වය ප්‍රජාව තුළ වැදූගෙයි සන්නිය ලෙස කටවහරේ ප්‍රචලිතය. මනෝ විශේෂඥයන් පවසන පරිදි මෙම රෝගී තත්ත්වය දිවිද්‍රැව රෝගයේම (Bipolar Disorder) අවස්ථාවක් බව පෙන්වා දෙයි. දිවිද්‍රැව රෝගය යනු කාලයක් අධික දුක හෝ ජීවිතය කලකිරීම හෝ තවත් කාලයක් අධික සතුට හෝ අසාමාන්‍ය ජවය සහිත එකිනෙකට වෙනස් හැසිරීම් රටාවන් දෙකකින් යුතු අසනීපයකි. මෙම රෝගයට ගොදුරු වන මවකගේ පවුල් ඉතිහාසය තුළද මෙවැනි දිවිද්‍රැව රෝගීන් සිටිය හැකිය. මෙම රෝගයට දැඩි ජානමය සම්බන්ධතාවයක් පවතී.
අපේ සංස්කෘතිය සහ සමාජ වටපිටාව තුළ මවකට විශේෂයෙන්ම ගර්භනී කාලය තුළ සහ දරු ප්‍රසූතියෙන් පසු ලැබෙන සහයෝගය ඉතාමත්ම විශාලයි. මවට උදව් වීමට සියලුම නෑදෑ හිතමිතුරන් එකතු වේ. නිසි වෙලාවට සායනයට යොමු කිරීමට, හොඳ ආහාර පාන ලබා දීමට, දරුවා බලාගැනීමට මුළු පවුලේම සහයෝගය ලැබේ. නමුත් ඒ ඉපැරණි සමාජය යම් ප්‍රමාණයකට දෙදරා ගොස් ඇත. සමහර මව්වරු හුදකලාව සහ අසරණභාවයට පත්ව ඇත. මීට අමතරව සැමියා රට යාම, මත්පැන් සහිත පරිසරය, මත්ද්‍රව්‍යවලට ගොදුරැ වීම, ඊර්ෂ්‍යාව සහ කුහකකම්වලට ගොදුරු වීම දැන් බොහෝවිට දක්නට ඇත. මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික ගැටලු නිසි ලෙස හඳුනා නොගෙන නොයෙකුත් බලි, තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්ති කර්ම පිටුපස යාම ද සෞඛ්‍යට ප්‍රබල තර්ජනයක් වී ඇත.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක