2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

අපි නොදන්න ඇස්ප්‍රින්!

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1952

කාලයකට ඉහත ඇස්ප්‍රින් භාවිත කළේ වේදනානාශකයක් හැටියටයි. වේදනානාශක ගුණයක් වගේම ලේ කැටිගැසීම අඩුකරන හැකියාවකුත් මෙයට තිබෙනවා. මෙයින් වේදනානාශක හැකියාව සඳහා අද මේ ඖෂධය භාවිත නොවන තරම්. නමුත් දෙවන හැකියාව එනම් ලේ කැටි ඇතිවීම අඩුකරන හැකියාව නිසා, සමහර අයට දිනපතා ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 75ක් ගන්න කියල වෛද්‍ය නිර්දේශය ලැබෙන්න පුළුවන්.

දිගුකාලීනව ඇස්ප්‍රින් නිර්දේශ කරන්නෙ කාටද? 

හෘදය ආශ්‍රිත ශල්‍යකර්මවලට භාජනය වූ අයට. හෘද පේෂියට රුධිර සැපයීම අඩුවීම සිදුවූ (Ischemic heart disease) සහ ඒ ඔස්සේ හෘදයාබාධයක අවදානම ඇති අයට සහ මීට පෙර හෘදයාබාධයක් ඇතිවූ අයට එය දෙවැනි වර ඇතිවීම පාලනයට. හෘදය ක්‍රියාකාරීත්වයේ යම් විෂමතා ඇති අයට (නහර තුළ කැටිති ඇතිවීම Atrial fibrillation වැනි) මීට පෙර Stroke, එහෙම නැත්නම් ආඝාතය හෝ තාවකාලික ආඝාත තත්ත්වයක් (මොළයේ ලේ කැටි හිරවීමක්) සිදුවූ හෝ එම අවදානම ඇති අයට. හෘදයාබාධයකට හෝ ආඝාත තත්ත්වයකට ඉහළ අවදානමක් ඇති අයට.

මීට අමතරව තවත් සන්ධි ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වවලදීත් වෙනත් අවස්ථා කිහිපයකදීත් වෛද්‍යවරයා දෛනික ඇස්ප්‍රින් මාත්‍රාවක් නියම කරන්නට පුළුවන්.

කෙසේ වෙතත් මෙලෙස දිනපතා ඇස්ප්‍රින් 75mg-81mg ගැනීම ඉහත කී අවදානම් අඩු කරනවා වගේම සමහර පිළිකා වර්ග ඇතිවීම අඩු කරන්නටත් දායකවන බව පර්යේෂකයන් පවසනවා.

අතුරු ආබාධ

නමුත් මෙය හොඳ වගේම ඇස්ප්‍රින් මඟින් සිදුවන අවදානම් කිහිපයකුත් තිබෙනවා. ප්‍රධානතම දෙයක් ආමාශය සහ අන්ත්‍ර ආශ්‍රිතව ඇතිවන තුවාල. සමහරවිට මේ තුවාල සහ ඒ ඔස්සේ සිදුවන ලේ වහනයන් (මේ වෙනකොට ලේ කැටිගැසීමේ හැකියාව අඩු බැවින්) නිසා ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.

මේ නිසා ඔබ ඇස්ප්‍රින් ගන්නවා නම්, දිගින් දිගටම බඩ දැවිල්ල තිබෙනවා නම් මළපහ කරද්දී “කළු පැහැයට“ හුරු ලේ පිටවීමක් වෙනවා නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න. එවිට අදාළ තත්ත්වයට ප්‍රතිකාරයක් වගේම අවශ්‍ය නම් මෙම ක්‍රියාවම කෙරෙන වෙනත් ඖෂධයකට මාරු කරගන්නත් පුළුවන් වේවි (Clopidogrel වැනි ඖෂධයකට)

මේ අවදානම අඩුකරගන්නට ඔබට කරන්න පුළුවන් දෙයක් මුලදීම ඔබේ වෛද්‍යවරයා පවසන්න ඇති. ඒ තමයි මේ බෙහෙත “කෑමට පස්සේ ගන්න” කියල කියන එක. ඇස්ප්‍රින් පෙත්තේ ක්‍රියාකාරීත්වය වඩාත් ඉහළට යන්නෙ රෑට ගත්තොත් කියන හඳුනාගැනීම නිසා වෛද්‍ය නිර්දේශය අනුව රෑට (හෝ නිර්දේශ කරන ආකාරය අනුව) කෑමෙන් පස්සෙ, හොඳ වතුර කෝප්පයක් එක්ක මේ පෙත්ත ගැනීම ඉතා සුදුසුයි. ඒ වගේම පසුව අඩුම තරමේ පැය දෙකක්වත් යනතුරැ බඩ දැවිල්ලට බොන, කන පෙති සුදුසු නැහැ. විශේෂයෙන්ම එන්ටරික් කෝටඩ් Enteric Coated කළ ඇස්පිරින් පෙති ගත්තට පස්සෙ. (බෙහෙත් පෙති කවරේ මුද්‍රණය කරල තියනවා. එය Enteric coated ද කියන වග)

අනෙක් වැදගත් දේ, ටිකක් සැලකිල්ලෙන් බලන්න සමේ, දත්වලින් අසාමාන්‍ය විදියට ලේ පැල්ලම් මතුවෙලාද කියල. එහෙම නම් ඒකත් වෛද්‍යවරයාට දැනුම් දිය යුතු වෙනසක්. එමෙන්ම කණ ඇතුලෙන් අසාමාන්‍ය ශබ්ද ඇහෙන්න පටන් ගත්තොත් හෝ ඇසීම අඩුවෙලා වගේ දැනෙනව නම් ඒකත් තව එකක්.

මේ ඇස්පිරින් ගනිද්දි ඇදුම වගේ හුස්මගැනීමේ අපහසුතා තියෙන අයට ඒ තත්ත්වය වැඩිවීමේ අවදානමක් තිබෙන නිසා, බෙහෙත් ගන්නට ප්‍රථම එය වෛද්‍යවරයාට පවසන්න.

වැදගත්ම දේ ඇස්ප්‍රින් පෙත්ත වෛද්‍ය උපදෙසක් නැතිව හිතුමනාපෙට ගන්න එක නතර කරන්න එපා. එය තිබෙනවාට වඩා ලොකු අවදානමක් ඇතිකරගැනීමක් වෙන්නට පුළුවන්. ඒ නිසා ගන්න එක වගේම නතර කරන එකටත් සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙසක් අවශ්‍යමයි.

වෛද්‍ය චන්දන ධර්මරත්න 
කළුබෝවිල ශික්ෂණ රෝහල