2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

අමතකවීමේ රෝගයට පිළියම්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1210

මතක තබාගැනීම කියන්නේ විධිමත් ක්‍රියාවලියක් බව පළමු ලිපියෙන් අපි පෙන්නුවා. ඕනෑම දෙයක් නිසි ලෙස මතක තබාගැනීමට ඔබේ පංචේන්ද්‍රිය උපයෝගී කරගෙන මොළය තුළට ඇතුළු කරගත යුතුයි. ඉන්පසු නිසි ලෙස ගබඩා කරගත යුතුයි. එලෙස ගබඩා කරගත් තොරතුරැ ඔබට අවශ්‍ය වූ විට යම් ක්‍රමවේදයකට නැවත මතකයට ගැනීමට පුළුවනි. අපි සුපුන්ගේ කතාව බලමු.

සුපුන් උසස්පෙළ ලියන දරුවෙක්. ඔහු පාඩම් කරන විට හොඳ අවබෝධයෙන් සහ ක්‍රමවේදයකට කරනවා. යම් පාඩමක් මතක තබාගැනීමට ඔහු එම පාඩම අවම වශයෙන් තුන් වතාවක්වත් කියවනවා. ඉන් පසු එම පාඩමේ ඇති වැදගත් තොරතුරු පරණ ප්‍රශ්නෝත්තර අරගෙන විමසා බලනවා. ඊළඟ පියවර වනුයේ එම තොරතුරැ අදාළ කරගෙන කෙටි සටහනක් Short notes නිර්මාණය කරගැනීමයි. සුපුන්ට වාර විභාගවලදී සියලුම විෂයන්ට ලකුණු 80කට වඩා තිබුණා. ඔහු අවබෝධයෙන් තම පාඩම් කටයුතු කරන දරැවෙක් බව මින් පෙනනවා.

අපි ඉතා සාර්ථක ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේද භාවිතා කළත් අමතක වීමට තවත් මනෝ විද්‍යාත්මක කරැණු රාශියක් බලපාන බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

1. මතකයේ රුඳුන කරුණු ක්ෂය වී යාම.

(Decay) 

අපේ මතකයේ රුඳුනු තොරතුරු කාලය සමඟ ක්‍රමයෙන් ක්ෂය වී යාහැකිය. මීට ප්‍රධානම හේතුව අලුත් කරුණු මනසට ඇතුළත් වීමයි. මෙය හරියට පුස්තකාලයක පොත් ගබඩා කර තැබීම හා සමානය. පුස්තකාලයේ පොත් රාක්කවල ඉඩ මදි වූ විට පරණ පොත් අයින් කර අලුත් පොත් ඒ අතරට රිංගවයි. අපේ මතකයන් ඒ හා සමානයි.

2. මතක ගබඩාවේ ඇති තොරතුරු එක හා සමාන ස්වරෑපයක් ගන්නා විට නැවත මතකයට ගැනීමේදී අවුල් හෝ පැටලිලි සහිත ස්භාවයක් ඇති වීම. 

(Interference)

මොළය තුළ තොරතුරු ගබඩා කිරීමේදී එක හා සමාන තොරතුරැවල තිබෙන සමාන ස්වරූප නිසා ඒවා නැවත මතකයට ගැනීමේදී නිසි ලෙස වෙන් කර ගැනීමට අපහසු වේ. අපි මෙහෙම හිතමු. පුස්තකාලයේ ගබඩා කර ඇති පොත් දෙකක නම් එක හා සමාන ස්වරූපයක් ගන්නා අවස්ථාවක්. එක පොතක නම ගණිත ගැටළු විසඳීම අනෙක් පොතේ නම “ගණිත ගැටලු අවබෝධ කරගැනීම. පුස්තකාලයේ රාක්කවලින් ඔබට අවශ්‍ය පොත තෝරා ගැනීමේදී මේ පොත් දෙක නම සමාන නිසා පැටලිලි සහගත විය හැකිය.

3. යම් තොරතුරක් මතක ගබඩාවෙන් එළියට ගැනීමට ආසන්න සලකුණක් (Land marks) නොමැති වීම.

(Cue – dependent forgetting)

අපි මෙහෙම හිතමු. ඔබේ වාහනයේ යතුර තිබූ තැන ඔබට මතක නෑ. ඔබ හැම තැනම හොයනවා ඔබට හොයාගැනීමට අපහසු වෙනවා. මීට හේතුව ඔබ සොයන ක්‍රමයේ වරදයි. මෙහිදී උදේ කාලයේ සිට ඔබේ කාල සටහන හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ සාමාන්‍යයෙන් යතුර තියන තැන යතුර අවශ්‍ය වුණු අවස්ථා ඒ වෙලාවන්හීදී ඔබ හිටිය තැන්. මේවා ඔබට යතුර හොයාගැනීමට උදව් වන සලකුණුයි අපේ මතකය තුළ ගබඩා කර ඇති තොරතුරැ එළියට ගැනීමේදී ද වැදගත් තොරතුරුවලට අදාළ සලකුණු අර මතකයේ තබාගෙන ඇත් නම් පහසුවෙන් ඊට අදාළ තොරතුරු කාණ්ඩය මනසින් එළියට ගැනීමට පුළුවන.

අමතක වීමට අදාළ විශේෂ රෝගී තත්ත්වයන් ද ඇත. ඇල්ෂයිමර් (Alzheimer’s Disease) නැමති ඩිමෙන්ෂියා (Dementia) රෝගය මින් ප්‍රධාන තැනක් ගනී. මෙහිදී සිදුවන්නේ ඇමිලොයිඩ් (Amyliod) නැමති අසාමාන්‍ය ප්‍රෝටීනයක් මොළයේ ශෛල තුළ තැන්පත් වී ටිකෙන් ටික දිරාපත් වීමයි. ප්‍රජාව තුළ අවු. 65 වනවිට 5%ක් ද අවු. 80 වනවිට 20%ක්ද ඇල්ෂයිමර් නැමති ඩිමෙන්ෂියාවෙන් පෙලෙන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. මෙම රෝගී තත්ත්වයේදී මුල් අවු. 3 තුළදී ක්‍රම ක්‍රමයෙන් අමතක වීම වැඩි වී යයි.

මුල් අවදියේ දී දක්නට ලැබෙන ලක්ෂණ

• තමාට අයිති දේවල් තැබුවේ කොහේදැයි අමතක වීම නිසා ඒවා සෙවීමට දැඩි වෙහෙසක් ගනී. • ආහාර ගත් බව අමතක වී නැවත ඉල්ලීම. • හුරුපුරුදු වටපිටාවේ වුවත් හරියට මඟසොයාගත නොහැකි වීම. • ක්‍රම ක්‍රමයෙන් කථාවේ පැහැදිලි නැති ස්භාවයක් දක්නට ලැබීම. • තමාගේ දේවල් සොරකම් කරාවි යැයි සැකයක් ඇතිවීම. • තමාගේ සනීපාරක්ෂාව පිළිබඳ සැලකිල්ල අඩු වීම. • හේතුවක් නැතිව අඬන්නට සිනාසෙන්නට හෝ කේන්ති ගැනීමට පෙළඹීම.

රෝගයේ අවසාන අවදියට ළඟාවන විට ඉතාම ළඟ ඥාතීන් පවා හඳුනාගැනීමට නොහැකි වීම සේම සමහර විට මලමුත්‍රා පිළිබඳ පාලනය ද නැතුව යයි.

යම් සිද්ධියකට පසු එම සිදුවීමට ප්‍රථම සියලු මතකයන් අමතක වීම.

(Retrograde amnesia) නැමති අසනීප තත්ත්වයයි. අපි මෙහෙම හිතමු ඔබගේ හිසට කබලට පොලු පහරක් වැදුණේ යැයි කියා මේ සිද්ධියෙන් පසු ඊට ප්‍රථම සියලු මතකයන් සමහර විට සිහියට නැගීමට අපහසු වේ. ඔබගේ මව පියා කවුද? යහළුවන් කවුද? නිවස පිහිටියේ කොහෙද? යන මේවා අමතක විය හැකියි. නමුත් අලුත් මතකයන් (New memoirs) මොළය තුළ ගබඩා කිරීමට සහ ඒවා එළියට ගැනීමට අපහසුතාවයන් නැත.

ඇන්ටරොග්‍රේට් ඇම්නීසියා (Anterograde Amnesia) තවත් අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙහිදී යම් සිද්ධියකට පසු සියලු දේ ඔබට අමතක වේ. අපි හිතමු ඔබ රිය අනතුරකට මුහුණ දුන්නා යැයි කියා එම රිය අනතුරට පසු එම අනතුර සිදුවුණු අයුරැ අතුළුව සියලු දේ ඔබට අමතකය. මීට හේතුව මේ සිදුවීම අතරේදී කෙටි කාලීන මතකයෙන් දිගුකාලීන මතකයට කරුණු ඇතුළු කිරීමට නොහැකි වීමය.

හොඳ මතකයක් තබාගැනීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න.

1. යමක් පිළිබඳ වැඩිපුර ඉගනීම
(Overlearning)

මින් අදහස් කරනුයේ ඔබ ඉගන ගත යුතු දැනුම් කාණ්ඩය පිළිබඳ ලැබිය යුතු දැනුමට වඩා ඉගනීමයි. අපි මෙහෙම හිතමු. ඔබට ඉගන ගැනීමට අවශ්‍ය මිනිසාගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය කියලා. එවිට කළ යුත්තේ ඔබ පොතේ හෘදය වස්තුව පිළිබඳ තිබෙන දැනුමට වඩා වැඩි දැනුමක් එකතු කිරීමට වෙනත් පොත් කිහිපයක් පරිශීලනය කිරිමයි.

2. ඔබගේ දැනුම නිසි ලෙස සංවිධානය කර මතකයට ඇතුළු කර ගැනීම.
(Rely on Organization Cues)

ඔබ මොළයට එකතු කරගන්නා දැනුම අසංවිධානාත්මක වුණ තරමට පහසුවෙන් මතකයෙන් ගිලිහී යයි. යම් දැනුම් කාණ්ඩයක් සංවිධානාත්මක ලෙස මනසට දමා ගැනීමට එහි තිබෙන ඇතැම් කරුණු සංසංදනාත්මකව සංවිධාන කළ යුතුයි. අපි මෙහෙම හිතමු ඔබට බල්ලෙකුගේ ස්වරූපය හොඳින් මතක තබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මෙයට කළහැකි දෙය නම් බල්ලාගේ ස්වරෑපය පූසාගේ ස්වරෑපයෙන් වෙනස් වන ආකාරය සංසංදනාත්මකව මනසින් අධ්‍යයනය කරන්න.

3. සාර්ථක ලෙස සටහන් තබා ගැනීම. 
(Take Effective Note)

ඔබ දේශනයකට ඇහුම්කන් දීමේදී ඉතාම වැදගත් කරුණු පමණක් සටහන් තබාගන්න. සියලුම දේ ලිවීමට යාම අසාර්ථක ක්‍රමයකි. හොඳින් අසා සිටීම ලීවීමට වඩා සාර්ථක ලෙස මතකයට යයි. මේ නිසාම යමෙකුගේ සටහනක් පසුව කියවීම එතරම් හොඳ ක්‍රමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

4. හඬ නගා කියවීම.
(Talk To Your Self)

කියවා අවසන් කර ඔබේ පාඩම් නැවත හඬ නගා කියවීම මතක තබා ගැනීමේ සාර්ථක ක්‍රමයකි. මීට හේතුව නම් මෙම මතකය මොළයේ වෙනත් ස්ථානයක ගබඩා වීමයි.

5. ව්‍යායාම ගැනීම.
(To Do Exercise) 

ඉගන ගැනීමේදී නිසි ලෙස ව්‍යායාම කිරීම මතකය වැඩි කිරීමට බලපාන ප්‍රධාන සාධයකි. මීට හේතුව දැඩි ආතතිය වැඩ කිරීමට අවශ්‍ය මතකයට (Working Memory) බාධා පමුණුවන නිසයි. සාර්ථක ලෙස ව්‍යායාමවල යෙදී විභාගවලට මුහුණ දෙන දරුවකු හොඳ ප්‍රථිඵල අත්කර ගන්න බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00