2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මොකද්ද මේ මේද අක්මාව?

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3081

ලංකාවේ අද වැඩියෙන්ම අසන්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේද තැන්පත්වීම, නැතිනම් fatty liver තත්ත්වය හැඳින්විය හැකිය. දැනට ලෝකයේ බෝ නොවන රෝග අතරින් ද මෙය  ප්‍රමුඛ ස්ථානයක් උසුලයි. මෙය අක්මා රෝග ඇතිකිරීමට මූලික ලෙස බලපාන අතර හෘදරෝග ඇතිකිරීමට ද බලපායි. මෙහිදී සිදුවන්නේ අක්මාවේ සෛල තුළ මේදය තැන්පත්වීම නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාලවීමයි. එවිට අක්මාව ඉදීමීමට ලක්ව අඩපණ වී අක්‍රියවීම සිදුවේ. 

ස්ථූල බව හා දියවැඩියාව ඇති අයට මෙය වැළඳීමේ අවදානම වැඩිය. විශේෂයෙන්ම ස්ථූල, පෘෂ්ඨිමත් මෙන්ම උදරය මහත උදවිය මේ ගණයට අයත් අය වේ. මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන කරුණු වන්නේ විෂ සහිත ආහාර, වැරදි පෝෂණ රටා සහ කායික ව්‍යායාම මඳ බවයි. වර්තමානයේ මිනිසා විසින් කැලරි වැයකොට කළ යුතු කාර්යයන් බාර දී ඇත්තේ යන්ත්‍ර සූත්‍රවලට නිසා මිනිසාටම සිදුව ඇති අවාසියක් ලෙස මෙය දැක්විය හැකිය.  

රෝග ලක්ෂණ :

මෙම රෝගයේ ඇති භයානක තත්ත්වය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් මුලින් පෙන්නුම් නොකිරීමයි. එබැවින් රෝගියා නොදැනුවත්වම අක්මාව අකර්මණ්‍ය වීමට ඉඩ ඇත. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නට ගිය අවස්ථාවකදී කරන උදරය අල්ට්‍රාසවුන්ඩ්   පරීක්ෂණයට භාජනකිරීමකදී Fatty Liver තත්ත්වය හඳුනාගත හැකි අතර  අක්මාවේ (liver – ලීවර්  එන්සයිම පරීක්ෂාවට ලක් කෙරෙන SGOT/ SGPT) පරීක්ෂණයේදී ලිවර් එන්සයිම ප්‍රමාණය වැඩිවීමෙන් ද මෙම රෝගය හඳුනාගත හැක.  

එමෙන්ම අක්මාවේ ඉතා කුඩා පටක කොටසක් පරීක්ෂාවට ලක් කිරීමෙන් ද රෝගය හඳුනාගත හැක.

සාමාන්‍යයෙන් ඇතිවිය හැකි නමුත් මෙම රෝගයට පමණක්ම විශේෂිත නොවන රෝග  ලක්ෂණ කිහිපයක් පහත වේ.

උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරක් (අක්මාව පිහිටි තැන) සුළු වේදනාවක් ඇතිවීම,  අක්මාව ඉදිමුම නිසා ඇතිවන උදරයේ අපහසුතාවය, බඩ පුරවා දැමුම, ඔක්කාරය,  මහන්සි ගතිය. ආහාර රැචිය අඩුවීම හා බර අඩුවීම.

ප්‍රතිකාර

Fatty Liver තත්ත්වය රෝගයක් නොවේ. ජීවන රටාවේ  වැරදි නිසා හටගන්නා  තත්ත්වයකි. එබැවින් එයට කළ යුත්තේ යහපත් ජීවන පුරැදු අනුගමනයයි. Fatty Liver  තත්ත්වය අවම නොකිරීමෙන් සිරෝසිස් තත්ත්වයත් අවසානයේදී අක්මාවේ පිළිකාමය තත්ත්වය දක්වා රෝගය ව්‍යාප්ත විය හැක.

කළ යුත්තේ කුමක්ද? 

මෙයින් මීදීම සඳහා ජීවන රටාව හා ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනසකට  භාජනය කළ යුතුය.

අක්මාවේ තැන්පත් වූ මේදය දහනය කිරීමට ව්‍යායාම කළ යුතුය. මෙහිදී සිරැරේ බර  අඩුකර ගැනුම අත්‍යවශ්‍ය සාධකයකි.

මත්පැන් පානය නතර කිරීම ඉතා වැදගත් වේ.

අතිරික්ත කැලරි දහනය කර ගැනුම සඳහා කය වෙහෙසා වැඩ කටයුතු කිරීමත්, දිනපතා ව්‍යායාම කිරීමත්, අධි කැලරි ප්‍රමාණයකින් යුතු ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමත් කළ යුතුය. 

වැඩිපුර ආහාර (සීනි, පිටි, තෙල් ගැනීම නවතා දැමුම)

හැකිතාක් තන්තුමය ආහාර, එනම් එළවළු වර්ග පළතුරු වර්ග වැඩිපුර ඇති සමබල  පෝෂ්‍යදායී  ආහාරවේලක් ලබාගැනීම.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය 
 බවන්ත ගමගේ