ලංකාවේ පොලිස් වාර්තා අනුව ගංජා හෙවත් මරුවානා (කැනබීස්) පාවිච්චිය වේගයෙන් ඉහළ යමින් පවතී. මීට ප්‍රධානම හේතුවක් වන්නේ ගංජා හෙවත් කැනබීස් ගැන තිබෙන මිත්‍යා විශ්වාසයි. අපි මේ මිත්‍යා විශ්වාස කිහිපයක් බලමු. ලිංගික ශක්තිය වැඩිකිරීම, කෑම රුචිය වැඩිවීම, ඇඟ ශක්තිමත් වීම හා පිරිමින්ගේ ක්ෂණික මෝචනයට හොඳ ප්‍රතිකාරයක් සේ සිතීම නිසා පුරාණයේ සිට ආයුර්වේද ඖෂධයක් ලෙස මේවා භාවිත කර තිබේ. නමුත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මේ සියල්ල මිත්‍යාවක් බවයි. සැබැවින්ම ගංජා තහනම් උත්තේජකයක් විදිහට වර්ග කර පවතී. ලංකාවේ මෙම ගංජා පැළෑටිය නොයෙකුත් ප්‍රදේශවල රහසිගතව වගාකරන අතර මෙම ගංජා අද ලංකාවට වැඩිපුර එන්නේ ඉන්දියාවෙනි. පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් හොරෙන් ගෙනෙන ලද මත්ද්‍රව්‍ය සමගින් ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙක් හා ඉන්දීය ජාතිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ වර්ෂයේ දී දැනටමත් ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී හසුවී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ ගංජා පැළෑටිය වැඩිපුරම වගාකරනුයේ අන්ද්‍රා සහ ඕදිෂාන් ප්‍රදේශවලයි. ඉන්දියාවේ නිපදවන ගංජාවලින් 80%ක් නිපදවන්නේ මේ ප්‍රදේශවලයි.
මරැවානා හෙවත් ගංජා පිළිබඳ බටහිර රටවල ආකල්ප මෙය ව්‍යාප්ත වීමට තවත් හේතුවකි. අමෙරිකාවේ ප්‍රාන්ත 23ක ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස මෙය අනුමත කර තිබේ. අද වනවිට ගංජා ඖෂධයක් ලෙස නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට අමෙරිකාව මාන බලමින් සිටී. 1961 අන්තරාදායක ඖෂධ පිළිබඳ ලෝක සමුළුව ගංජා නැමැති මෙම මත්ද්‍රව්‍ය භයානක මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් විශාල විප්ලවයක් ඇතිකරනු ලැබීය. මෙම සමුළුවෙන් පසු ඉන්දියාවේ අවුරැදු 25කට ගංජා හෙවත් මරුවානා තහනම් ඖෂධයක් බවට ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම නීතිය අමෙරිකාවේ බලපෑම නිසා 1985 දී ලිහිල් කරනු ලැබීය. මෙම ලිහිල් කිරීම නිසා ඉන්දියාව තුළ ගංජා භාවිතය ඉහළ යාමක් පෙන්නුම් කෙරුණි.
මරැවානා හෙවත් ගංජාවලට ගොදුරුවුණු තරුණයකුගේ කතාව
එදා බදාදා දිනයකි. ඇය රෝහල් සායනයට යොමුවෙලා තිබුණේ හමුදාවේ සිටින තම පුතා ගැන කතා කිරීමටය. ඇගේ මුහුණේ දුක, පීඩනය හා පරාජිත බව ගැබ්වෙලා තිබුණි. ඇය මෙසේ පැවසීය.
Dr, මම ආවේ මම ගැන කතා කරන්න නෙමෙයි. මගේ සැමියා නැතිවෙලා දැන් අවුරුදු 5කට වැඩියි. මට ඉන්නෙ එකම දරුවයි. ඔහු හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහු විවාහවෙලා අවුරුදු 5ක දරැවෙකුත් ඉන්නවා. පුතයි, ලේලියි අපි කවුරුත් ජීවත් වෙන්නෙ එකම ගෙදර. දැන් මාස 5ක් පමණ වෙනවා, පුතා පිළිවෙලකට රස්සාවට යන්නෙත් නෑ. නිතරම කාලය ගත කරන්නෙ පුදුම කම්මැලිකමකින්. නිතරම නිදාගන්නවා. සමහර වෙලාවලට තනියම හිනාවෙනවා. තනියම කතා කරන ස්වභාවයකුත් දකින්න ලැබෙනවා. කිසිම හේතුවක් නැතුව බිරිඳත් එක්ක රණ්ඩු වෙනවා. මොකක්හරි ලොකු ගැටලුවක් තියෙනවා. ඔහු කිසිම දෙයක් මට කියන්නෙ නෑ. මෙහෙම ගියොත් ඔහුගේ රස්සාවත් නැතිවෙලා යයි. මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න පුදුම උත්සාහයක් ගත්තෙ. ඔහු කියනවා මට පිස්සු නැහැ, අම්මට පිස්සු නම් ගිහින් බෙහෙත් ගන්න කියලා.
තම පුතා සායනයට ගෙන්වාගැනීමේ අපහසුව ඇය පැවසීය. ඔහුට සායනයට පැමිණෙන ලෙස අපි විශේෂ ලිපියක් මව මගින් ඔහුට ඉදිරිපත් කළෙමු. මෙලෙස පැමිණි මේ හමුදා නිලධාරියා ඔහුගේ කතාව අපට පැවසීය.
Dr. මේක අම්මට කියන්න එපා. අම්මවත් මගේ බිරිඳවත් මේ ගැන දන්නෙ නැහැ. මම ගංජා බොනවා. දැන් මේ පුරුද්ද අවුරුදු 4කට වැඩියි. මේක අතහැරගන්න හරිම අමාරුයි. මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. ඇඟට මහ කම්මැලි මූසල ගතියක් දැනෙනවා. හැමදාම වගේ ගංජා බොන්න හිතෙනවා. නොබී හිටියොත් කිසිම වැඩක් කරන්න බැහැ. සමහර දවසට ඇඟපත රිදෙනවා. නින්ද යන්නෙත් නෑ. නිතරම හිතේ තියෙන්නෙ ඊළඟට ගංජා ගන්න වෙලාව ගැනයි.
වෛද්‍යවරයා :-
කොහොමද ඔබ මේකට යොමුවුණේ?
ඔව්. ඒකත් හරිම ලස්සන කතාවක්. මගේ යාළුවෝ හුඟදෙනෙක් කිව්වා කැනබිස් ගත්තම හුඟක් වෙලාවක් හොඳට ලිංගිකව එකතුවෙන්න පුළුවන් කියලා. අපේ යාළුවෝ හුඟක් දෙනා කැනබිස්වලට පුරුදු වුණේ මේ විශ්වාසයත් සමඟ. ඒත් අද මට තියෙන ප්‍රශ්නය sex නෙමෙයි. මට හිතෙනවා මගේ මුළු ජීවිතේම අවුල්වෙලා කියලා.
වෛද්‍යවරයා :-
ඔබේ මව කියනවා, ඔබ තනියම හිනාවෙනවා, කතා කරනවා කියලා. ඔබට කවුරුහරි කතා කරනවා වගේ, නැත්නම් කවුරැහරි පාලනය කරනවා වගේ යමක් දැනෙනවද?
ඔව්. මට එහෙම දැනෙනවා. සමහර වෙලාවට වටේ ඉන්න අය මට විරැද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මට දැනෙනවා. මාව පාලනය කරනවා වගේ මට දැනෙනවා. තවත් වෙලාවකට කීපදෙනෙක් මගේ ගැන කතාවෙනවා වගේ මට ඇහෙනවා. ඒත් හැරිලා බැලුවම කවුරුවත් නෑ.
ලංකාවේ වාර්තාවන ආකාරයට ගංජාවලට ඇබ්බැහි වී සිටින්නේ ළමාවියේ සහ ගැටවර වියේ පසුවන අයයි. මෙම බොහෝ දෙනෙක් අවුරුදු 11ත් 16ත් අතර සිටින අයයි. මේ අය දරැණු ලෙස ගංජාවලට ඇබ්බැහි වෙන්නෙ අවුරුදු 16ත් 25ත් අතර කාලය තුළය. මෙම තත්ත්වය ඉතාම භයානක ප්‍රවණතාවයක් ලෙස හඳුනාගන්න පුළුවන. අවුරුදු 17ට ප්‍රථම ගංජා හෝ කැනබීස්වලට ඇබ්බැහිවන දරුවන්ගේ මොළයේ බුද්ධි වර්ධනය පාලනය කරන කොටසට හානිවන බව විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබීය. (Pre. Frontal cortex) ඒ වගේම මොළයේ මස්තිෂ්කයේ (Cortical gray matter) පරිමාව අඩුවන බවද සොයාගෙන ඇත. මීටත් වඩා භයානක දේ නම් හින්නෝන්මාදය (schizophrenia) නැමැති මානසික රෝගයටද ගොදුරුවීමයි.
ගංජාවලට පුරැදු වූ අයගෙන් 75%ක් පමණ දුම්වැටිවලටද ඇබ්බැහි වූ අය වෙති. මේ දෙකටම ඇබ්බැහි වූ විට මින් ගැලවීමද අපහසුය. මීට හේතුව මෙය නැවැත්වූ විට ඇතිවන ශාරීරික අපහසුතාවයයි.
කැනබීස් ලිංගික උත්තේජකයක් ලෙස ඇති ප්‍රචාරය මහත් මිත්‍යාවකි. මෙය සැබැවින්ම ලිංගික උත්තේජකයක් නොවේ. කැනබීස්වලින් මත්වූවකුට දැනෙන්නේ සැබෑ ලිංගික ආස්වාදයක් නොව ලිංගික කාර්යයේදී කාලය පිළිබඳ නොදැනීමයි. එමෙන්ම දිගටම කැනබීස් ගන්න පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවලට හානි සිදුවේ. එමගින් එම පුද්ගලයාට දරැවෙක් සෑදීමට ඇති ලිංගික ශක්තිය හීනවී යයි.
මරැවානා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිද?
මරුවානා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. මෙහිදී වේදනානාශකයක් ලෙස කල් පවතින රෝගී තත්ත්වයන්වලදී (පිළිකා රෝගීන්, ස්නායු රෝගීන්) වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ භාවිත කළ හැකිය. මාංශපේෂීන්වල තද බව අඩුකොට ලිහිල් බව ඇතිකිරීමටද මරැවානා යොදාගන්නා අවස්ථා පවතී. පාකින්සන්ස් (Parkinson’s disease) නැමැති රෝගයේදී ඇතිවන වෙව්ලීම අවම කිරීමටද මරැවානා භාවිත කෙරේ. වෛද්‍යවරයකුගේ උපදේශයක් නොමැතිව මරැවානා භාවිත කිරීම ඉතා භයානක ප්‍රතිඵල ඇතිකරයි. විශේෂයෙන්ම ගැටවර වියේ හෝ තාරුණ්‍යයේ සිටින ඔබගේ ඉගෙනීම් හැකියාව සහ අවධානය බිඳවැටීම, මතකය, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම මෙම මත්ද්‍රව්‍ය නිසා ඇතිවේ. තව නොබෝ දිනෙකින් මරුවානා පෙති වශයෙන් වෙළෙඳපොළට පැමිණීමට පුළුවන. වෛද්‍යවරයකුගේ අනුමැතියකින් තොරව තවමත් තාරැණ්‍යයේ සිටින දරුවන් මෙය පාවිච්චි කිරීමට පුරුදු වුවහොත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිවිය හැකිය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක