2017 ජූනි මස 30 වන දිනෙන් අවසන් වූ 2017/2018 ප්‍රථම කාර්තුව තුළදී බදුවලට පෙර ලාභය රු. බිලියන 1.7 ක් ලෙස වාර්තා කිරීමට එල්.බී. ෆිනෑන්ස් සමාගම සමත් විය. එම සමාගමට ආදායම් ගෙනෙන මූලික ව්‍යාපාරික අංශ සාර්ථක වීම නිසා මෙම පැහැදිලි වර්ධනය අත්පත් කරගැනීමට හැකියාව ලැබී තිබේ. මේ හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව 4% ක වර්ධනයක් සමගින් රු. මිලියන 957.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබී ඇත.
සමාගමේ ආදායම පෙර වසරට සාපේක්ෂව 28% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 5.5 ක් ලෙස දැක්වුණු අතර පොලී ආදායම රු. බිලියන 5.2 ක් ලෙස දැක්වුණේ පෙර වසරට සාපේක්ෂව 29% ක වර්ධනයක් අත්පත් කරගනිමිනි. ශුද්ධ පොලී ආදායම මෙම කාලය තුළ 10% කින් ඉහළ ගොස් රු. බිලියන 2.6 ක් ලෙස වාර්තා විය. සමාගමේ ගාස්තු හා කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව 13% කින් වර්ධනය වී රු. මිලියන 299.8 මට්ටමට පැමිණ තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාගමේ සමස්ත මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව 11% කින් වර්ධනය වී රු. බිලියන 2.9 ක් බවට පත්විය.
බාහිර අභියෝග මැද පවා දිගින් දිගටම පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට එල්.බී. ෆිනෑන්ස් සමාගම සමත් වී තිබෙනවා. ප්‍රථම කාර්තුව තුළ අපගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් සුභදායක බවත්, එය ක්ෂේත්රයේ සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් පවතින බවත් මෙම දත්ත අනුව පැහැදිලියි. තවදුරටත් විශිෂ්ට ක්රමෝපායන් අනුගමනය කරමින් සහ අපගේ මූලික ශක්තීන්ගෙන් පන්නරය ලබමින්, පසුගිය වසරේදී අත්පත් කරගත් විශිෂ්ට ප්‍රගතියටත් වඩා ඉහළ ප්‍රගතියක් මෙම වසරේදී අත්පත් කරගැනීම අපගේ ඉලක්කයයි.” එල්.බී. ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා පැවසී ය.
සමාගම විසින් භාවිතා කරන ලද ණය අවදානම් කළමනාකරණ ක්රමෝපායන් නිසා බොල් ණය සඳහා වෙන් කිරීම් පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමට අඩු වී රු. මිලියන 68.6 ක් බවට පත්වී ඇත. එමෙන්ම කාර්යක්ෂමතාව කෙරෙහි දක්වන ලද අඛණ්ඩ සැලකිල්ල හේතුවෙන් මෙහෙයුම් වියදම් පාලනය වූ අතර එමගින් පෙර වසරට සාපේක්ෂව 5% ක වර්ධනයක් සමග රු. බිලියන 1.7 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට හැකි වී තිබේ. සමාගමේ සමස්ත වත්කම් වටිනාකම 2017 ජූනි 30 වනවිට රු. බිලියන 108.6 මට්ටමේ පැවතිණි.
බදුවලට පෙර ලාභය ස්ථාවර මට්ටමින් රු. බිලියන 1.4 ක් ලෙස වාර්තා වූ අතර බදුවලට පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 3% කින් වර්ධනය වී රු. මිලියන 940 ක් ලෙස වාර්තා විය. කොටසක ඉපැයුම පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. 6.58 ක් වූ අතර මෙම වසරේ එය වාර්තා වූයේ රු. 6.79 ක් ලෙසිනි.
එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය, අවම ව්‍යවස්ථාපිත අගය වන 10% ට සාපේක්ෂව ප්‍රථම කාර්තුව අවසානයේ 16.22% ලෙස වාර්තා විය. එමෙන්ම මූල්‍යමය ගෙවීම් සම්බන්ධ වගකීම් ඉටුකිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඇති බව සනිටුහන් කරමින් ෆිච් රේටිංස් ලංකා සමාගම වෙතින් A-(lka) ශ්‍රේණිය හිමිකරගැනීමටද එල්. බී. ෆිනෑන්ස් සමත් වී ඇත.